යම් පුද්ගලයෙකු උපන් මෙහොතේ දී, පුද්ගල නාමය ඉදිරියෙන් අපරාධකරුවෙකු හෝ වැරදිකරුවෙකු ලෙස යෙදීමේ සිදුවීම් ඔබට අසන්නට ලැබේ ද? නැතහොත් එසේ බිහි වන පුද්ගලයන් වැරදිකරුවන් ලෙසට සමාජය අන්වර්ථනය කරන අයුරු ඔබ දැක තිබේ ද? පිළිතුර නැත යන්නයි. එසේ නම් දිනෙන් දින සමාජය තුළ අපරාධ, අපරාධකරුවන් සම්බන්ධ කතිකාවත් ගොඩ නැගෙන්නේ කෙසේ ද? සියලු සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ලෙසට පොදු භාවිතයේ ව්‍යවහාර වුවත්, වර්තමානයේ සිරකරුවන් සම්බන්ධ කතිකාවතේ නව ප‍්‍රවේශයක් ගොඩ නැගෙන්නේ සිරකරුවන් සම්බන්ධයෙන් වාර්තා වන මනුෂ්‍ය ඝාතනයන් හා දඬුවම් සම්බන්ධ සිදුවීම් ආශ‍්‍රයෙනි. මෙම ලිපිය ඔස්සේ එලෙස ඇති වී තිබෙන කතිකාවතට අදාළව දෘෂ්ටිකෝණ කිහිපයකින් ඒ සම්බන්ධයෙන් විග‍්‍රහ කිරීමට බලාපොරොත්තු වේ.
සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය…….
United Nation Office on Drugs & Crime – සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කරන ලද සිරකරුවන්ට සැලකීම පිළිබඳව එක්සත් ජාතීන් විසින් පිළිගත් අවම සම්මත රීතින් යටතේ පළමු වගන්තිය ප‍්‍රකාරව සියලු සිරකරුවන් හට ගෞරවයෙන් සැලකිය යුතු අතර, කිසිදු සිරකරුවෙකු කිසිදු අයුරකින් අමානුෂික දඬුවමකට ලක් කිරිමේ හැකියාවක් නෛතිකව කිසිවෙකුට හිමි වන්නේ නැත. අනෙක් අතට ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රකාරව ජීවත් වීමේ අයිතිය තහවුරු කර තිබෙන අතර ලෝකයේ කිනම් හෝ රටකට අදාළව ජීවත්වීමේ අයිතියට අභියෝග කිරීමේ ශක්‍යතාවය හෝ වරප‍්‍රසාදයක් ලැබෙන්නේ නැත.
නමුත් ප‍්‍රායෝගිකව ශ‍්‍රී ලාංකීක සමාජයේ වැරදිකරුවන් හෝ අපරාධකරුවන් සම්බන්ධව පවතින්නේ සාධනීය දෘෂ්ටි කෝණයක් නොවේ. වර්තමානයේ ඇතැම් ප‍්‍රසිද්ධ අපරාධකරුවන් හැඳින්වීමට සමාජය විසින් උපයුක්ත කර ගෙන තිබෙන නාමයන් තුළින් මෙය තහවුරු වේ. අපරාධයක් සිදු කළ පුද්ගලයෙකු සම්බන්ධයෙන් නෛතික තත්ත්වයන් යටතේ සිර දඩුවමක් හෝ ඊට සමාන ක‍්‍රියාමාර්ගයක් ගැනීම සිදුවන්නේ සමාජ ආරක්ෂණය වෙනුවෙන් සහ යළි අපරාධ සිදු කිරීම අවම කිරීමේ පරමාර්ථයෙනි.
පැවැත්ම උදෙසා නඩත්තු වන සිරකරුවන්……
නෛතික ප‍්‍රතිපාදන යටතේ තහවුරු වන තෙක් කිසිදු පුද්ගලයෙක් අපරාධකරුවෙකු හෝ වැරදිකරුවෙකු ලෙස අර්ථකථනය කිරීමේ අවකාෂයක් නොමැත. යම් වැරදිකරුවෙකු හෝ අපරාධකරුවෙකු දිගින් දිගටම එවැනි ක‍්‍රියාවන්ට අනුගතව ජීවත් වීමට රුචිකත්වයක් දක්වන්නේ නම් එය හාස්‍යයට ලක් වන කරුණකි. ශ‍්‍රී ලංකාවේ සිරකරුවන් සම්බන්ධයෙන් දක්නට ලැබෙන ප‍්‍රවණතාවය වන්නේ ඔවුන්ව අනවශ්‍ය බලවේගයන් හරහා නඩත්තු වීම හෝ පාලනය වීමයි. මේ හරහා සිදු වන්නේ සිරකරුවන්ට උපරිම පහසුකම් යටතේ තම ක‍්‍රියාවන් ඉදිරියට ගෙන යාමේ හැකියාව හිමි වීමයි. එනම්, සිරමැදිරිය තම රැකියා ස්ථානය බවට පත් වීමයි.
අභියෝගයට ලක්වන සිරකරුවන්ගේ මානව හිමිකම්…….
2020 වසරේ දී මහර බන්ධනාගාරය තුළ සිදු වූ සිදුවීම, මාකඳුරේ මධූෂ්ගේ ඝාතනය, මාඹුලගේ දිනිත් මෙලන්ගේ ඝාතනය මෙන්ම නොබෝ දිනකට ඉහත දී වාර්තා වූ කොස්ගොඩ තාරකගේ ඝාතනය සම්බන්ධ සිදුවීම් ඔස්සේ, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිරූපය ජාත්‍යන්තර වශයෙන් මේ මොහොතේ යම් අර්බුදකාරී මාවතකට ප‍්‍රවේශ වී තිබෙන අයුරු පැහැදිලිය. මේ සම්බන්ධයෙන් ප‍්‍රධාන ප‍්‍රශ්න දෙකක් ඔස්සේ සාකච්ජා කළ හැකිය. පළමුවැන්න, මෙවන් අපරාධ සිදු කළ පුද්ගලයන් හට ලැබෙන මෙම දඩුවම සාධාරණ නොවේ ද යන්නයි. දෙවැන්න, සිරකරුවන්ගේ ජීවත්වීමේ අයිතිය අභියෝගයට ලක් කිරිමේ විභවතාවය කොතරම් දුරකට සාධාරණීකරණය කළ හැකි ද යන්නයි. සිරකරුවෙකුගේ යම් අපරාධ ක‍්‍රියාවන් සම්බන්ධව ලැබිය යුතු දඬුවම තීරණය විය යුත්තේ නෛතික ප‍්‍රතිපාදන වලට අනුගතවයි. එයට පටහැනිව ජීවත් වීමේ අයිතියට බාධා කිරීමට කිසිදු අයිතියක් නොමැත.
දේශපාලනමය හෝ වෙන යම් හේතූවක් මුල් කර ගනිමින් මේ අයුරින් අපරාධකරුවන්ගේ ජීවිත අභියෝගයට ලක්කිරීමෙන් සිදුවන්නේ අනාවරණය කර ගත නොහැකි කරුණු ගණනාවක් අළු යට ගිනි අඟුරු මෙන් සැගව යාමයි. එමෙන්ම, සමාජ ස්ථාවරත්වය හා ආරක්ෂණය ගොඩ නැගීමේ ක‍්‍රියා පිළිවෙතට ද යම් ආකාරයකින් එය බලපෑම් කළ හැකිය. අනෙක් පසින් බන්ධනාගාර තුළ පවතින අවශ්‍යතාවයන් හා අවකාශයන් පිළිබඳව ද විමසා බැලිය යුතු ය. මහර බන්ධනාගාර සිදුවීම පසුපස පවතින්නේ කොරෝනා ව්‍යසනයත් සමග ඇති වූ අවම පහසුකම් හා සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් මතු වූ ගැටලුවයි. දෙපාර්ශ්වයම මේ සම්බන්ධයෙන් දැක් වූ ප‍්‍රතිචාරයන්හි යම් ගැටලුකාරී තත්ත්වයන් පවතින නමුත්, මරණ බිය සහ ජීවත් වීමේ හැඟීම ඇති වූ මොහොතක හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් කිසිදු කොන්දේසියක් වලංගු වන්නේ නැත.
සමාජ ස්ථාවරත්වය ද? ජාත්‍යන්තර ප‍්‍රතිරූපය ද?
”දඟ ගෙයි දඬුවම් සියුමැලි වැඩි නම්, අළුගෝසුවනේ එල්ලාපන්…. කටු ඉඹුලේ අප එල්ලාපන්’’ යන ප‍්‍රසිද්ධ ගීතයට අනුව, සමාජයේ ස්ථාවරත්වය සහ ආරක්ෂණය වෙනුවෙන් දිගින් දිගටම ව්‍යාප්ත වන අපරාධයන් සහ එවැනි ක‍්‍රියාවන්ට යොමු වන පුද්ගලයන් සම්බන්ධයෙන් නෛතික ප‍්‍රතිපාදන යටතේ යම් යම් ක‍්‍රියාමාර්ගයන් අනුගමනය කිරීම ප‍්‍රතික්ෂේප කළ නොහැකිය. එසේ කිරීමෙන් අපරාධ සිදු වීම වැළකෙන්නේ නම් එය ද පිළිගත හැකිය. නමුත් ගැටලුව වන්නේ එවැනි පුද්ගලයන් සමාජයේ ව්‍යාප්ත වීම සඳහා අවශ්‍ය පූර්ණ අනුග‍්‍රහය දිනෙන් දින කොන්දේසි සහිතව හෝ රහිතව හිමි වීමයි.
මේ හරහා සමාජ ස්ථාවරවත්වය කෙසේ වුවත්, ජාත්‍යන්තර ප‍්‍රතිරූපය සම්බන්ධයෙන් අර්බුදකාරී ගැටලු කිහිපයක් පැන නැගේ. මින් ප‍්‍රමුඛතම ගැටලුව වන්නේ සිරකරුවන්ගේ හිමිකම් කඩ වීම සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ජීවිත සම්බන්ධයෙන් මතුවන තර්ජනයන් හේතූවෙන් ශ‍්‍රී ලංකාවේ කීර්තිය හා අනන්‍යතාවයන් ජාත්‍යන්තරය ඉදිරියේ අභියෝගයට ලක් වීමයි. එමෙන්ම සමාජයේ අපරාධ දිනෙන් දින වර්ධනය වීම ඔස්සේ ද ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිරූපය අභියෝගයට ලක් වීමේ හැකියාවක් පවතී. යම් ආකාරයකට මේ තුළින් පුද්ගලයන් තුළ වරදට පෙළඹීම සම්බන්ධයෙන් ද පවත්නා හිරි ඔත්තප්ප (ලැඡ්ජාව සහ බිය* වියැකී යා හැකිය. ඒ තුළින් සිදු වන්නේ සමාජයේ පවත්නා අපරාධ රැුල්ල දිනෙන් දින කැරැුල්ලක් ලෙස ඉදිරියට ගමන් කිරීමයි.
අවධානය තුළින් ගොඩ නැගෙන සමාජ ආරක්ෂණය……
මෙවන් ගැටලුකාරී තත්ත්වයක් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක‍්‍රියා පිළිවෙත් මොනවා ද? දැනට අනුගමනය කරනා ක‍්‍රියා පිළිවෙත් නිසැකයෙන්ම සාධාරණ විසඳුම් නොවන බව සමාජයම පිළිගන්නා කරුණකි. පවත්නා දේශපාලන පද්ධතියට හෝ වගකිවයුතු බලධාරීන්ගේ අවධානයට යොමු විය යුත්තේ මෙවන් සිරකරුවන් සිරගත කිරීම, සමාජයට අනාවරණය කිරීම හෝ අවසානයේ ඔවුන්ගේ ජීවිතවලට අභියෝග කිරීම නොව මෙවැනි තත්ත්වයන්ගේ මූල බීජය සොයා එය විනාශ කිරීමයි. නැතහොත් රූස්ස ගසක් බවට පත් කිරීම වෙනුවෙන් අවශ්‍ය පෝෂණය සපයා ඉන් අනතුරුව රුක්ෂය මුලින් කපා දැමීම සහ එය සාධාරණීකරණය කිරිීම ගැටලුවට විසඳුමක් නොවේ.
එමෙන්ම යම් වරදකට සිරගත වන පුද්ගලයෙකුගේ ජීවිතයට අභියෝග කිරීම කිසි විටකත් සාධාරණීකරණය කළ නොහැකි අතර, එසේ සිදු කළානම් කෙදිනකවත් අංගුලිමාල දමනය පිළිබඳ කතා පුවත බුදු දහම තුළින් මුණ නොගැසෙන බව ද සඳහන් කළ යුතුය. බල දේශපාලනයේ හවුල් කරුවන් ලෙස මෙවන් පිරිස් යොදා ගැනීම ඔස්සේ සිදු වන්නේ දිගින් දිගටම සමාජයේ ස්ථාවරත්වය, ආරක්ෂණය හා සුරක්ෂිතතාවය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අභියෝගයට ලක් වීමයි.
සචිනි උමාෂා ගීතාංජලී
සහය කථිකාචාර්ය
දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප‍්‍රතිපත්ති අධ්‍යයන අංශය
කොළඹ විශ්ව විද්‍යාලය