Breaking News

දේශපාලන මැරයෙකුගේ මුල්ම ප්‍රහාරය සියැසින් දුටුවෙමි

නන්දන වීරරත්න

ඒ 1983 සැප්තැම්බර් මාසයයි. ස්ථානය, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්ඨයේ ප්‍රධාන ශාලාවය. රටේ සියළුම දිශාවලින් පැමිණි තරුණ තරුණියෝ වසරකට වරක් පැවැත්වෙන ‘යෞවන සම්මාන උළෙලේ’ සම්මානයට පාත්‍ර වන ජයග්‍රාහකයන් දකින්නට නොඉවසිල්ලෙන් වේදිකාව දෙස බලා සිටියහ. එවර සම්මාන ප්‍රධානය කරන්නට ආරාධනා ලබ සිටියේ එම වසරේ ලෝකයේ ‘විවාහක රූ රැජිණ’ වූ රෝසී රාමනායක යි. වසරේ උසස්ම තරුණ කාව්‍ය රචනාවට ප්‍රථම ස්ථානය දිනා සිටියේ දේවාලේගම සුනන්දා රණසිංහය. සම්මානය ගැනීමට වේදිකාවට නැඟුනු සුනන්දා සම්මානය අතේ තබාගෙන සිටි රෝසී ට පිටුපා නරඹන්නන්ට ආයුබෝවන් කියා අචාර කළාය. පුදුමයකට මෙන් ඒ මොහොතේ දැල්වීමට නියමිත දුසිම් ගණනාවක් විය යුතු කැමරා සහායක ආලෝක ධාරා නොදැල් වුනේය. එ වෙනුවට එකම එක කැඹරාවක ආලෝක ධාරවක් මේ පාළුව නැති කළේය. සුනන්දා පුදුමයට පත් නරඹන්නන්ට සිනාවකින් සංග්‍රහ කරමින් වෙදිකාවෙන් බැස ගියාය. ඒ සමගම තරුණ කටයුතු ඇමති රනිල් වික්‍රමසිංහගේ හඬ ඇසුනේය.

“කවු ද වූ අල්ල ගන්නව ඌව. ෆිල්ම් රෝල ගලව ගන්නව”

රනිල්ගේ නියෝගයත් සමඟ හැඩිදැඩි මැර පිරිසක් කැමරාකරුවෙකු අල්ලා ගනු පෙනුනේය. ඒ සමඟම තරුණ නිළියක් විලාප දෙමින් සිටියාය. මේ ග්‍රන්ථය රචනා කරන බටලන්දේ ප්‍රධාන ගවේෂකයා එදින ඒ වේදිකාව ආසන්නයේ අසුන්ගෙන සිටියේ ඔහුට ද වසරේ උසස්ම කෙටිකතා වලට පිරිනැමෙන එක සම්මානයක් ලබා ගන්නටය. ඔහු සම්මාන පිස්සුව පසෙක ලා කැමරාකරු කුදලාගෙන යන මැරයන් පසුපසින් ගියේය. ඇමතිගේ මැරයෝ කැමරාකරු ශාලාවෙන් පිටතට ඇදගෙන ගොස් නොසෑහෙන්න පහර දුන්හ. අනතුරුව ඔහු අමාරුවෙන් තුරුළු කරගෙන සිටි කැඹරාව පොර බදා උදුරා ගත් හ. කැමරාකරු “එපා. එපා” කියා මොර ගසද්දීම එක මැරයෙක් කැබරාව විවර කර ෆිල්ම් රීලය එලියට ගෙන තව මැරයෙක් අතට දෙමින් මෙසේ කීවේය.

“ඕක ගිහිල්ල ඇමතිතුමාට පෙන්නපං. බඩු හරි කියපං”

මේ ජරමරය අවසන් වෙද්දී ප්‍රධාන ගවේෂකයා කලකිරීමෙන් කොරිඩෝවේ ඇවිද යන කැඹරාකරුට කතා කළේය.

“ඔයා මොන පත්තරේ ද? මොකක්ද නම ?”

“මම ලේක් හවුස් එකේ, මුංගෙම ආන්ඩුවේ පත්තරේ. ඒක ඓතිහාසික චායාරූපයක්. උන් ඒක විනාශ කරා. ඔහොම තමයි. මම ගාමිණි සිල්වා.”

ගාමිණි සිල්වා, 60 දශකයේ ප්‍රකට සටන්කාමී ගුරු සංගම් නායකයෙකු වූ දේ. පීටර් සිල්වාගේ පුත්‍රයෙකි. එකල ප්‍රකට දේශපාලන භික්ෂුවක් වූ පොහොවද්දරමුල්ලේ පේමාලෝක හිමියන්ගේ ඥාති පුත්‍රයෙකි. ජනප්‍රිය නිළි දීපානී සිල්වාගේ සොහොයුරාය. එසේ දේශපාලන වශයෙන් ශක්තිමත් පවුලකි පැවතෙන ජනමාධ්‍යකරුවෙකුට පහර දී ඔහුගේ කඹරාව උදුරා ගැනීමට නියෝග කළ ඇමති මැරයා ගැන ප්‍රධාන ගවේෂකයා විශේෂයෙන් තොරතුරු සොයන්නට ගත්තේමේ සිදුවීමෙන් පසුවය.

leave a reply