Breaking News

අරගලය දිනේවා!! මගේ රට සුවපත් වේවා!!

සුභාෂිණී චතුරිකා

මේ මොහොතේ රටේ ‍ බෙහෙත් හා වෛද්‍ය උපකරණ හිඟයක් ඇති වෙමින් පවතියි. එය පුරවැසියන් ලෙස අප සියලු දෙනාගේ අවධානය යොමු විය යුතු භයානක තත්වයකි.

තවත් කිසි ලෙසකින් මේ පාපතර පවුලත් උන්ගේ හොර නඩෙත් නිසා මේ රටේ ජනතාව මිය යා යුතු නැත. බෙහෙත් නැතිව පළමු මරණය සිදුවූ බවද සමාජ මාධ්‍ය ජලාතුළ පසුගිය දිනවල කසුකුසුවක් පැවතියත් දැන් එම පුවතට අදාළ ලින්ක් එකද අතුරුදහන් වී ඇත. එහි සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් පහුගිය දිනවල පාරේ උද්ඝෝෂණය කරපු වෛද්‍ය වෘත්තිකයන්ට අනුව මේ මොහොතේ රෝහල්වල දැඩි බෙහෙත් හිඟයක් පවතියි.
මෙය ඉතාමත් භයානක තත්වයකි. ආහාර නැතිව සාමාන්‍ය මනුෂයෙකුට දින කිහිපයක් හෝ ගත කළ හැකිය. එහෙත් අත්‍යවශ්‍ය බෙහෙත් ටික නැතිව එක් දිනක් හෝ ජීවත් විය නොහැකි රෝගීන් ‍ඕනෑ තරම් සිටින්නට ඉඩ ඇත. බෙහෙත් යනු රටක පුරවැසියන්ගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කරන අත්‍යවශ්‍ය අංගයකි. මේ තත්වය තවත් අවදානම් සහගත වන්නට මත්තෙන් අපි පුරවැසියන් ලෙස ක්‍රියාත්මක වෙමු.

ආදරණීය වෛද්‍යවෘත්තිකයිනි! මේ මොහොතේ ප‍ොදු මහජනතාවත් සමඟ පාරට බැස සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති ගැටළු හෙලිදරව් කළාට ස්තූතියි! එහෙත් මහපාර යනු මේ මොහොතේ ඔබලාගේ සටන් පෙරමුණ නොවෙයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තුළ දේවල් ක්‍රියාත්මක වෙන ආකාරය ඔබලා හොඳින්ම දනියි. ආණ්ඩුවට කිසිදු සම්බන්ධයක් නැති විනිවිදභාවයක් ඇති, මිනී ගොඩවල් උඩින් පොහොසත් වීමට උත්සාහ නොදරන ආයතන හෝ සමාගම් හරහා හෝ වෙන කුමන මාර්ගයකින් හෝ බෙහෙත් ගෙන්වා ගැනීම සඳහා ඔබලා සංවිධානය වෙන්න‍. ආණ්ඩුව පැත්තෙන් මේ සම්බන්ධයෙන් කිසිම දෙයක් නොකරන තත්වයක් තුළ වෛද්‍ය වෘත්තකයින් වන ඔබ‍ලා මේ වෙනුවෙන් සංවිධානය වීම රටට අවශ්‍යම කරන මොහොතක්.

ඔබලාගේ වෛද්‍ය සංගම් හරහා රට පුරා මේ මොහොත වන විට රෝහල් වල හිඟ වී ඇති අත්‍යවශ්‍යම බෙහෙත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන්න. එවිට එම බෙහෙත් විදෙස් රටවලින්ගෙන්වා දීමට කවුරුන් හෝ ඉදිරිපත් වේවි. සුනාමි ව්‍යසනය කාල‍ෙ අපේ රටට ආධාර විදියට විදේශ රටවලින් බෙහෙත් විශාල වශයෙන් ලැබුනා. ඒත් මේ ආණ්ඩුවේ හොරා කෑම් හොඳට දන්න ඒ රටවල් ආයේ ආණ්ඩුවට උදව් කරන එකක් නෑ. අපි එවැනි විදෙස් රටවලින් හෝ ආධාර කිරීමට ඉදිරිපත් වෙන ආයතන වලින් මොනයම් හෝ විනිවිදභාවයකින් යුතුව ආධාර ඉල්ලුවොත් උදව් නොකර ඉන්න එකක් නෑ. ඒත් ආයෙත් මිනිස් ජීවිත උගසට තබා සල්ලි ගැරීමට කිසිදු ආයතනයකට ඉඩ තබන්න එපා.

විදෙස් රටවල වෙසෙන මිතුරු මිතුරියනි!

මේ ඔබේ අවධානය ඔබගේ මව්බිමට අවශ්‍යම මොහොතකි. ඔබගේ මව්බිමේ මව්වරුන් පියවරුන් දූ පූතුන් බෙහෙත් නැතිව මිය යාමේ ඛේදවාචකයට මුහුණ දෙමින් සිටියි. ඒ නිසා කඩිනමින් මෙරටට බෙහෙත් යැවිය යැකි විදි සොයා බලන්න. එසේ උදව් කරන්න ඉදිරිපත් වෙන ආයතන වලට කතා කරන්න. මෙරටට වෛද්‍ය වෘත්තියකන් හා සබඳතා ඇත්නම් ඔවුන් හා කතා කරන්න. අව්‍යශම කරන බෙහෙත් ගැන දැන ගන්න. හැකි ඉක්මනින් ඒවා මෙරටට එවන්නට කටයුතු කරන්න.

මේ පිළිබඳව මෙය ලියන මටත් එය කෙසේ සිදු විය යුතු දැයි කිසිදු දැනීමක් නැත. මා මේ කරන්න‍ෙ ඒ පිළිබඳ ක්‍රියාත්මක විය හැකි අයගේ අවධානය යොමු කරනවා පමණි.

මන්දයත් තවත් මට පාපතර පවුලක් හා උන් හා එක්ව හොකරම් කරන නඩයක් නිසා තවත් මිනිසුන් මියැදීම බලා සිටින්නට බැරි නිසාය. මේ මොහොතේ මගේ පවුලේ කිසිවෙක් කිසිදු මාරාන්තික රෝගයකින් පෙළෙන්නේ නැත. එහෙත් මේ ඛේදවාදකයට මුහුණ දෙමින් සිටින්නේ ඔබගේත් මගෙත් මව්බිමේ ජනතාවයි. අද නිරෝගීව සිටින පුද්ගලයෙක් හෙට දින මාරාන්තික රොගයකින් පෙළෙන්නෙකැයි දැන ගැනීමට ඉඩ ඇත. හෙට දින එම අත්දැකීම මට හෝ ඔබට සමහර විට මුහුණ දීමට ඉඩ කඩ ඇත. බෙහෙත් යනු පුරවැසියෙකුගේ මුලික අයිතිවාසිකමකි. ඒ නිසා මෙය අප සියළු දෙනාගේම ප්‍රශ්නයකි.

එම නිසා මහපාරෙ අරගලය කෙරෙන අතරවාරෙ මේ අර්බූදයෙන් ගොඩඒමට අපි එකිනෙකා අපට හැකි සියළු දේ කරමු!!

අරගලය දිනේවා!! මගේ රට සුවපත් වේවා!!

leave a reply