අද දවසේ වෙබ් මාධ්‍ය කිහිපයකම වාර්තා කර තිබූ එක් පුවතකින් කියවුනේ කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වීමට නම් ගන්නා ඖෂධවලට අමතරව දෛනිකව පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි.
එසේම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය රනිල් ජයවර්ධන පවසා ඇත්තේ වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ද සමබර ආහාර වේලක් ලබා ගැනීම වැදගත් බවයි.
එසේම තවත් ප්‍රවෘත්තියකින් වාර්තා කර තිබූ ආකාරයට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ චන්දිම වීරක්කොඩි පවසා ඇත්තේ ලෝකයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට අපහසුම රාජ්‍යයන් 5 අතරට ශ්‍රී ලංකාව පත්ව ඇති බවයි. ආණ්ඩුව විවේචනය කා ඇති ඔහු තමන් මෙවැනි අර්බුද කාලයක ඇමති ධූරයක්වත් බාරගැනීමට කැමති නැති බව ප්‍රකාශ කර තිබේ.
ඇමති ධූරයක් ලබා නොදීමේ සංකාවෙන් පෙළීම නිසා චන්දිම වීරක්කොඩි ආණ්ඩුව විවේචනය කරන බව පෙනෙන්නට තිබුණද අපේ රටේ ජනතාව ආහාර දරිද්‍රතාවයකින් පෙළෙන බව කරුණක් ලෙස නිවැරදි වේ.
පුද්ගලයකුට අවශ්‍ය මූලික ආහාර සපයා ගැනීමේදී වැඩිම දුෂ්කරතා ඇති රටවල් අතර 5 වැනි ස්ථානයේ පසුවන බව එක්සත් රාජධානිය පදනම් කරගත් ‘සංවර්ධන අධ්‍යයන ආයතනයේ’ (Institute of Development Studies) නවතම වාර්තාවක් අනාවරණය කර තිබුණි.
ලංකාවේ එක් පුද්ගලයෙකු සඳහා ආහාර සඳහා මාසික නිර්දේශිත අවම වියදම ඇමරිකානු ඩොලර් 161.23 ක් බවද, වැඩිහිටියෙකුගේ සාමාන්‍ය මාසික වැටුප එක්සත් ජනපද ඩොලර් 245.81 ක් බවද ගණන් බලා ඇත. ඒ අනුව, වැඩිහිටියකුට අවම නිර්දේශිත ආහාර ප්‍රමාණය සපයා ගැනීම සඳහා ලංකාවේදී එක් අයෙකුට හිමි සාමාන්‍ය වැටුපෙන් 66% ක් වැය කළ යුතු බව සමීක්ෂණ හරහා නිරූපණයවන බව එම ආයතනය පවසයි.
මෙම දර්ශකය වෙනුවෙන් අවම වශයෙන් නිර්දේශිත ආහාර ප්‍රමාණය සලකනු ලැබ ඇත්තේ මූලික අයිතමයන් 12-14 ක් පදනම් කරගෙනය. එමඟින් ප්‍රමිතිය ලෙස සළකා බලා ඇති කරුණ වන්නේ සාමාන්‍ය වැඩිහිටියෙකු සඳහා දිනකට කැලරි 2,100 ක් වැය වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ එක්සත් ජනපද ජාත්‍යන්තර පෝෂණය පිළිබඳ කමිටුව විසින් කර ඇති ලොව පිළිගත් නිර්දේශයන්ය.
නමුත් අප වැනි රටවල්වල සිදුවන්නේ ආහාර වියදම් කප්පදු කරමින් කරමින් අනෙකුත් වියදම් සපුරා ගැනීමයි.
වසර එකහමාරක් පැවති කොරෝනා වසංගතය හේතුවෙන් ලංකාවේ පෞද්ගලික අංශයේ සහ අවිධිමත් අංශයේ සේවකයන්ගේ සැබෑ වැටුප අඩුවී ඇත. ඇඳිරි නීති කාල සීමාව තුළ පෞද්ගලික අංශයේ සේවකයන්ට ලබාදුන්නේ වැටුපෙන් භාගයකි. තවද පසුගිය මාස කිහිපය තුළදී ශ‍්‍රී ලංකාවේ ආහාරවල මිල ඉහළ යමින් තිබුණි. මෙම තත්වයන්, ආදායම් විෂමතාවයට අමතරව, වැඩිහිටියන්ගේ ආහාර දරිද්‍රතාව සඳහා බලපා ඇති තවත් සාධක ලෙස සැළකිය හැකි බව ඉහත සමීක්ෂණයේදී අනාවරණය වී තිබුණි.
ඒ අනුව ජනතාවට සෞඛ්‍ය විශේෂඥයින් කියන ආකාරයේ පෝෂ්‍යදායි ආහාර වේලක් යනු අපේ රටේ බහුතර ජනතාවකට සිහිනයක් පමණි. ආණ්ඩුව ජනතාවට කැපකිරීම් කරන ලෙස පවසන්නේ එවැනි තත්ත්වයකදියි.