Breaking News

ඊශ්‍රායලය පලස්තීනයට ගහද්දී ආතල්ද?

පලස්තීන ඊශ්‍රායල් ගැටුම මේ වන විට මුළු ලොවේම අවධානය දිනාගෙන ඇත. මැදපෙරදිග කලාපය තුළ අරාබි නොවන රාජ්‍යයක පැවැත්ම සහ එය ඉත්තෙකු ලෙස භාවිතා කරමින් ඛනිජ තෙල් සම්පත් ඇතුළු තම කලාපීය භූ දේශපාලනික, ආර්ථික උපාය මාර්ගය ක්‍රියාත්මක කරවා ගැනීමේ අටියෙන් ඇමෙරිකානු-යුරෝපා අධිරාජ්‍යවාදීන් විසින් අන්ත දක්ෂිණාංශික සියොන්වාදී ඊශ්‍රායලය සිදුකරන ජන ඝාතන වලට අනුබල දෙමින් සිටී. පසුගිය දින කිහිපයේ පමණක් පලස්තීනුවන් 139 ක් මිය ගොස් ඇත. එයින් 39 ක් කුඩා දරුවන් සහ 22 ක් කාන්තාවන් වේ. මේ තත්ත්වය පිළිබඳව ලංකාව තුළ සිදුවන සංවාදය, එහිදී ප්‍රකාශ වන සාවද්‍ය කරුණු දැක්වීම් සහ ඊශ්‍රායලය සිදුකරන ම්ලේච්ඡ ඝාතන වලට කරන ප්‍රශස්ති ගායනා කිරීම් සැබැවින්ම පිළිකුල දනවන සුළුය.

ලංකාවේ සමාජ මාධ්‍ය තුළ ඇතැම් ෆේස්බුක් පිටු හරහා ප්‍රචාරය වන අදහස් සත්‍ය තත්ත්වය සහ ඉතිහාසය පිළිබඳව විකෘති කරන ලද ඒකපාර්ශවික අදහස් වේ. ඔවුන් මේ අයුක්ති සහගත ක්‍රියාව වර්ණනා මුඛයෙන් කතා කරනුයේ එයින් අගතියට පත්ව ඇති පලස්තීනුවන් ගෙන් බහුතරය ඉස්ලාම් ආගම අදහන බැවිනි. මෙම බොහෝ ෆේස්බුක් පේජ් පසුගිය මැතිවරණ වලදී ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට සහය දුන් ඒවායි. නමුත් හාස්‍යයට කරුණ වන්නේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ විසින් 1976 සිට දශක තුනකට අධික කාලයක් ශ්‍රී ලංකා- පලස්තීන සහයෝගිතා කමිටුවේ සභාපති ධුරය හොබවා ඇති පසුබිමක මෙලෙස සිදුවීමයි. මේ අඳබාල ෆේස්බුක් පේජ් කරුවන් තරම් දේශප්‍රේමීන් ලොවෙත් නැත. නමුත් ඔවුන්ගේ තර්කන (මන්ද)බුද්ධිය පරස්පරතා වලින් බහුලය. ලංකාවට එල්ල වන අධිරාජ්‍යවාදී බලපෑම් වල දී ඔවුන්ට සතුරකු ලෙස චීනය නොපෙනේ. සතුරා වන්නේ ඇමරිකානු-යුරෝපා-ඉන්දියානු හවුලයි. යුරෝපා-ඇමරිකානු “විජාතික බලවේග වලින් මව්බිම බේරා ගනිමු” ලෙස හඬ තලන මොවුන්ට මැදපෙරදිග දී “විජාතික” ඇමරිකානු-ඊශ්‍රායල් හවුල ප්‍රගතිශීලී, ආදර්ශයට ගත යුතු ,ආස්වාදජනක කඳවුරක් වී තිබේ. ඔවුන් මේ සිදු කරන්නේ ඇමරිකානු න්‍යායපත්‍රයට සහය වීමකි. ඔවුන්ගේ ඊනියා දේශප්‍රේමය රෙද්ද පල්ලෙන් බේරෙන්නේ මෙවැනි අවස්ථාවලදී ය. 1948 මේ අර්බුදයේ ආරම්භයේ පටන් ම ලංකාවේ වැඩ කරන ජනතාව අඛණ්ඩව පලස්තීන ජනතාව වෙත තම සහයෝගය පළ කළහ. ලොව පුරා, පවතින වසංගත තත්වය නොසලකා බ්‍රිතාන්‍යයේ, ප්‍රංශයේ, ජර්මනියේ , ඉතාලියේ, ජෝර්දානයේ ,ග්‍රීසියේ, දකුණු අප්‍රිකාවේ ,බෙල්ජියමේ, ඉරාකයේ, පකිස්ථානයේ, ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන නගරවලට එක්වන ජනතාව පලස්තීන පීඩිත ජනතාවට තම සහෝදරත්වයත්, ම්ලේච්ඡ අධිරාජ්‍යවාදී ඇමෙරිකානු-යුරෝපා-ඊශ්‍රායල් හවුලට තම විරෝධයත් ප්‍රකාශ කරමින් සිටී.

මේ තත්ත්වය පිළිබඳවත්, මේ ගැටුමේ ඉතිහාසය පිළිබඳවත් ලංකාවේ සමාජ මාධ්‍ය තුළ පලවන සාවද්‍ය මත සහ ඒවායේ ඇති සත්‍ය තත්ත්වය මෙලෙස අපි ඔබවෙත ගෙන එන්නෙමු.

(1) සාවද්‍ය අදහස:- “පලස්තීනය රටක් ලෙස පිළිගන්න බැහැ! පලස්තීනුවන් තමයි ඊශ්‍රායල් භූමිය ආක්‍රමණය කරන්නේ. එය මුස්ලිම් ව්‍යාප්තවාදයේම කොටසක්”.
සත්‍ය තත්වය:-
අතීතයේ පටන් මේ භූමියේ වාසය කළ බහුතර ජනයා වූයේ පලස්තීනුවන් ය.ඇ.එ.ජ, එංගලන්තය ප්‍රංශය ප්‍රමුඛ ලෝක අධිරාජ්‍යවාදී බලවතුන් 2වන ලෝක යුද්ධයෙන් පසු තම රෑකඩ පාලනයක් ලෙස ඊශ්‍රායලය අටවනවා. ඒවන විටත් ඔවුන් පලමූ ලෝක යුද්ධයෙන් පසු සෞදි අරාබිය නමින් අලුත් රාජ්‍යයක්ද පිහිටවා තම රෑකඩ පාලනයක් පවත්වා ගෙන තිබුනා. මේ රාජ්‍ය දෙකම ඇ.එ.ජ. කඳවුර පාවිච්චි කලේ ඒ වන විට අරාබි කලාපයේ බලවත්ම රාජ්‍ය දෙකවූ තුර්කිය සහ ඊජිප්තූව සෝවියට් කඳවුරට සහය පලකරන පසුබිමක. එමෙන්ම සූවස් ඇලෙහි ලෝක ආර්ථිකයට වන වැදගත් කම මත එහි බලය ඊශ්‍රායලය හරහා අල්ලා ගැනීමට.

1918 වන විට පලස්තීනයේ විසූ ලක්ෂ 70ක් ජනගහනයෙන් 80% ක් මුස්ලිම්, 10%ක් අරාබි ක්‍රිස්තියානුවන් සහ 10% ක් යුදෙව් විය. බ්‍රිතාන්‍යයේ යටි සහය ඇතිව 1871 සිට තම ඓතිහාසික නිජබිම වන ඊශ්‍රායලය-පොරොන්දු දේශය යළි පිහිටුවීම උදෙසා සියොන්වාදී ව්‍යාපාර බිහි විය. ඒ වන විට පලස්තීන භූමිය බ්‍රිතාන්‍ය යටත් විජිතයක් විය. බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ආතර් බැෆ්ලර්ගේ මූලිකත්වයෙන් ඉදිරිපත් වූ කුප්‍රකට බැෆ්ලර් ප්‍රඥප්තියෙන් පලස්තීනය තුල යුදෙව් රාජ්‍යයක් බිහි කිරීමට බ්‍රිතාන්‍ය සහය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි. දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර්ගේ යුදෙව් සංහාරයන් හේතුවෙන් මේ මතවාදය වඩා තීව්‍ර වී පැතිර ගිය අතර බ්‍රිතාන්‍ය අනුග්‍රහය ඇතිව පලස්තීනය තුල යුදෙව් සරණාගතයින් පදිංචි කිරීම සිදු කෙරුණි. 1947 වන විට පලස්තීනයේ ලක්ෂ දෙසීයක ජනගහනයෙන් 35% ක් යුදෙව්වන් විය. මේ තත්ත්වය තුළ පලස්තීනය තුල යුදෙව්-අරාබි ගැටුම් උත්සන්න විය. 1947 සැප්තැම්බර් 3 දින එක්සත් ජාතීන්ගේ ප්‍රධාන සමුළුවට ඉදිරිපත් කළ UNSCOP කමිටු වාර්තාව මත පදනම්ව නිදහස් අරාබි රාජ්‍යයක්, නිදහස් යුදෙව් රාජ්‍යයක් සහ අන්තර්ජාතික භාරකාරීත්වයක් යටතේ පැවතිය යුතු ජෙරුසලම් නගරයක් යෝජනා කෙරුණි. ඒ අනුව අරාබි පලස්තීනයක්, යුදෙව් ඊශ්‍රායලයක් සහ එක්සත් ජාතීන් විසින් පාලනය කරන ජෙරුසලම බිහිවිය. භූමිය වෙන් කිරීමේදී ජනගහනයෙන් 35% ක් වූ යුදෙව්වන්ට භූමියෙන් 57%ක් අසාධාරණ ලෙස වෙන් කෙරුණි. 1948 මැයි 14 ඊශ්‍රායලය ප්‍රකාශයට පත් කෙරුණු අතර අරාබි හමුදා ඊට විරුද්ධව යුද වැදුණි. බ්‍රිතාන්‍යයේ ජේෂ්ඨ හමුදා නිලධාරීයෙක් වූ ඕඩ් වින්ගේට්ගෙන් විශේෂ හමුදා පුහුණුවක් ලැබූ සියෝන් හමුදා බලකායේ පිහිටෙන් ඊශ්‍රායලය එම සටන ජය ගත් අතර තම 57% ක භූමිය 77% ක් දක්වා ව්‍යාප්ත කර ගත්හ. පලස්තීනුවන් 700000 අධික ප්‍රමාණයක් සරණාගතයන් බවට පත්වුණා. 1967දී අවට රාජ්‍යය සමඟ දින හයේ යුද්ධයේදී ඔවුන් පරාජය කර බටහිර ඉවුර, ගාසා තීරය, සිරියාවේ ගෝලාන් සහ නැගෙනහිර ජෙරුසලම තුළ බලහත්කාරයෙන් යුද කඳවුරු ඉදි කරා. සියෝන් හමුදා කඳවුරු මේ ප්‍රදේශවලින් ඉවත් කර ගත්තේ 2005 තරම් මෑතදී ය. වර්තමානයේ පලස්තීනය ගාසා තීරයට සහ බටහිර ඉවුරට සීමාවී තිබේ. ගාසා තීරයේ බලය හමාස් සංවිධානය සතු ය. බටහිර ඉවුර ෆාටා සංවිධානය සතුය. නමුත් එයද නාමික ස්වභාවයක් ගනී. එහි බොහොමයක් ඇත්තේ ඊශ්‍රායෙල් ඉදිකිරීම් වේ. ඒ ඊශ්‍රායල් හමුදා මෙහෙයුම් මඟින් පලස්තීන ක්‍රියාකාරකම් මර්දනය කිරීම සහ සම්බාධක පැනවීම් නිසා මෙන්ම යුදෙව්වන් එහි පදිංචි කරවීම් නිසාය. බටහිර ඉවුර ද පලස්තීනුවන්ට අයත් නොවන බව ඊශ්‍රායලය පවසනවා. එදා මෙදා තුර 500000 අධික ඊශ්‍රායල් වැසියන් පිරිසක් බටහිර ඉවුරේ බලහත්කාරයෙන් පදිංචි කර ඇත. පලස්තීනය නියෝජනය කරන නිල නියෝජිතයා ලෙස ලොව පිළිගන්නේ “පලස්තීන විමුක්ති සංවිධානය” යි-(PLO). පලස්තීන ජාතික අධිකාරිය පවත්වාගෙන යන්නේ මේ සංවිධානය විසිනි. මෙම අධිකාරිය අර්ධ රජයක් ලෙස ක්‍රියා කරයි. සාම සාකච්ඡාවලදී, වෙනත් ගිවිසුම් වලදීත් පලස්තීන නියෝජිතයා ලෙස පිළිගන්නේ මේ අධිකාරියයි. මේ සංවිධාන දෙකම පාලනය කරන්නේ ෆාටා(Fatah) සංවිධානයයි.

“පලස්තීන භූමියේ ඇත්තෙන් ම පවතින්නේ මුස්ලිම් ව්‍යාප්තවාදයක් නොව අධිරාජ්‍යවාදීන්ගේ සහය ලබන අන්ත-දක්ෂිණාංශික සියෝන් ව්‍යාප්තවාදයකි.
(2) සාවද්‍ය අදහස:- “පලස්තීනුවන් තමයි ඉල්ලන් කන්නේ. හමාස් වැනි අන්තවාදී සංවිධාන තමා මේකට වගකියන්න ඕන”
සත්‍ය තත්වය:- හමාස් යනු ඇමරිකා එක්සත් ජනපදය විසින් PLO සංවිධානයට විරුද්ධව පලස්තීනය තුල ගොඩනැගුණු ඉස්ලාම් අන්තවාදී සංවිධානයකි. අල්කයිඩා, තලේබාන්, ISIS මෙන්ම මෙහිදී ද තමන් විසින් ගොඩනැගූ අන්තවාදී හමාස් සංවිධානය පසුව සතුරෙකු ලෙසින් නම්කර පලස්තීන ජනයාට එරෙහි අධිරාජ්‍යවාදී කඩා පැනීම සාධාරණීකරණය කිරීමයි ඇමෙරිකාව දැන් සිදු කරන්නේ. 2007දී PLO සංවිධානය සහ හමාස් සංවිධානය අතර සිදු වූ ගැටුමත් ඉන් ගාසා තීරයේ බලය හමාස් සංවිධානය අතට පත්වීමත් පිටුපස සිටියේ ඇමරිකානු CIA සහ මොසාඩ් ඔත්තු සේවා යි. ආසන්නතම ගැටුම ඇතිවූයේ ද විරෝධතාවේ යෙදුණු පලස්තීන සිවිල් වැසියන්ට විරුද්ධව ඊශ්‍රායල් පොලීසිය විසින් සිදුකළ පහරදීමත් සමගය. පලස්තීනුවන් තම අයිතිය වෙනුවෙන් සටන් වදී. ඉස්ලාම් අන්තවාදය මෙයට විසඳුම නොවන බව සැබෑය. නමුත් මැදපෙරදිග ඉස්ලාම් අන්තවාදය ඇමරිකානු මැදිහත් වීමෙන් සහ සියොන්වාදයේ බලපෑමෙන් නිර්මාණය වූවක් බව අමතක කලයුතු නොවේ.

(3)සාවද්‍ය අදහස:- “මේ භූමිය වසර 3000 කට පෙර යුදෙව්වන් සතු වුණා නේද?”
සත්‍යය තත්ත්වය:- එය පුරාණ මිත්‍යා ලේඛනයක එන්නකි. බයිබලයේ පරණ තෙස්තමේන්තුවට අනුව යුදෙව්වන් ව ක්‍රිස්තු පූර්ව 1250 දී පමණ මෝසස්, එනම් දෙවියන් ගේ නියෝජිතයා විසින් ඊජිප්තුවේ පාරාවෝවරුන් ගේ වහල් භාවයෙන් මුදවා ගෙන ඊශ්‍රායල් නම් භූමියේ පදිංචි කරවූ බවත්, පසුව රෝම අධිරාජ්‍ය විසින් ඊශ්‍රායලය අහෝසි කර යුදෙව්වන් ලොව පුරා විසුරුවා යැවූ බවත් පැවසේ. මේ විශ්වාසය පදනම් කරගෙන 1870 පමණ සිට සියෝන් මතවාද බිහිවිය.වත්මන් ඊශ්‍රායල් අධිපති පන්තියේ ඝාතන ලංකාවේ සිට සාධාරණීකරණය කරන අයගෙන් අප අසනුයේ වසර 3000කට පෙර සිදු වුණා කියන මේ සිදුවීම පදනම් කරගෙන ඔබලා වර්තමානය සාධාරණීකරණය කරයි නම් මේ තර්කය අනුව ලංකාවේ ද වර්තමානයේ වෙසෙන කිසිදු සිංහල, දෙමළ, මුස්ලිම් ජන ප්‍රජාවකට මෙරට භූමිය අයිති නොවේ. වසර 3000 කට පෙර ලංකාවේ විසූ ස්වදේශික ජනයාට ජානමය වශයෙන් නෑකම් කියන එකම පිරිස වන්නේ මෙරට වැදි ජනයා යි. එය මිත්‍යා,ආගමික මතයක් නොවේ. විද්‍යාත්මක සත්‍යයකි. එසේ නම් මෙරට සිංහල, තමිල්, මුස්ලිම් සියලු ජනයා මෙරටින් ඉවත් කර වැදි ජනතාවට මෙරට භාරදිය යුතු නොවේද?

(4) සාවද්‍ය අදහස:- “ඊශ්‍රායල් ජාතිකයින් දැන් ලබා ඇති ආර්ථික, යුධ තාක්ෂණික දියුණුවට හේතුව ඔවුන්ගේ ඉහළ බුද්ධි ඵලය යි.”
සත්‍ය තත්ත්වය:- නැත.ඊශ්‍රායලය ඇරඹි මොහොතේ සිට ඇමරිකා, යුරෝපා අධිරාජ්‍යවාදීන්ගේ නොමසුරු සහය ඒ රටට ලැබුණි. ඔවුන් ඒ වන විට තමන් සතුව තිබූ දියුණුතම යුධ අවි, යුධ තාක්ෂණය ඊශ්‍රායලයට ලබාදුන් අතර ඩොලර් බිලියන ගණන් එරට ආර්ථිකයට පොම්ප කෙරුණි. එමෙන්ම ඇමරිකා, යුරෝපා පාලක පන්තිය සෑම විටම ජාත්‍යන්තර දේශපාලනයේදී ඊශ්‍රායලය රකිමින්, ඊට අනුබල දෙමින් සිටී. එයයි ඔවුන්ගේ දියුණුවේ රහස. යුදෙව් සම්භවයක් ඇති ලොව ඉහළ පෙලේ බුද්ධිමතුන් සිටි අතර ඔවුන්ගෙන් කිසි කෙනෙකු ඊශ්‍රායලයේ මේ ක්‍රියාවන් අගය කළේ නැත. විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් හට ඊශ්‍රායලයේ නායකත්වය බාර ගන්නා ලෙසට ඔවුන් කළ ආරාධනය ඔහු විසින් ප්‍රතික්ෂේප කිරීම මෙයට ඇති හොඳ නිදසුනකි.

(5) සාවද්‍ය අදහස:- ” ඊශ්‍රායෙල් වැසියන් මේ ප්‍රහාර අනුමත කරනවා. එම රටේ සිටින අරාබි ජාතිකයින් පවා පලස්තීනයට විරුද්ධයි.”
සත්‍ය තත්වය:- මේය වැරදි අදහසකි. 2014 දී ගාසා යුද්ධයට එරෙහිව ඊශ්‍රායල් ජාතිකයින් විසින් සමස්ත වැඩ වර්ජනයක් කැඳවූ අතර එය එරට රජය විසින් දරුණු ලෙස මර්දනය කෙරුණි. යුද විරෝධී උද්ඝෝෂකයින් 1500 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගැනුණු අතර බොහෝ දෙනෙකු සේවයෙන් පහ කෙරුණි. එසේ සිදු උනේ එරට රජය විසින් රට තුළ තම වර්ගවාදී ප්‍රචාරණය බලවත්ව පවත්වාගෙන යන පසුබිමකයි. ආසන්න සිදුවීමේ දී ද ඊශ්‍රායලය තුළ මේ ප්‍රහාරයන්ට විරෝධය පාමින් විරෝධතා ව්‍යාපාර සංවිධානය වී තිබෙනු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. ඉරාන කොමියුනිස්ට් පක්ෂය, එරට ශිෂ්‍ය ව්‍යාපාරය මේ විරෝධතා සදහා මුලිකත්වය ගෙන ක්‍රියා කරයි.

(6) සාවද්‍ය අදහස:- ” ඊශ්‍රායලය හදන්නේ තමන්ගෙ රට රැකගන්න. ඔවුන් මානුෂීය යි. ගැටුම්වලදී තුවාල ලබන අරාබි ජාතිකයින්ට ප්‍රතිකාර කර නැවත මුදාහරිනවා. ඔවුන්ගේ ඉලක්කය අන්තවාදීන් පමණයි.”
සත්‍ය තත්වය:- ඔවුන් වැඩිපුරම තම ප්‍රහාර එල්ල කරන්නේ සිවිල් වැසියන් ඉලක්ක කර ගෙනයි. 2008-2021 කාලය තුළ පමණක් ඊශ්‍රායල් ප්‍රහාරවලින් මියගිය අයගෙන් 71.4% සිවිල් වැසියන් වේ. මියගිය සන්නද්ධ කණ්ඩායම් වල සාමාජිකයින් 28.6% කි. ආසන්නතම ගැටුමෙන් දැනට 139 දෙනකු මියගොස් සිටි. එයින් 39 ක් කුඩා දරුවන් සහ 22 ක් කාන්තාවන් වේ. අද වන විට මිලියන 7 කට අධික පලස්තීන ජනතාවක් අවතැන් වූවන් සහ සරණාගතයින් බවට පත්ව ඇත. ඊශ්‍රායලය ඔවුන් හට නැවත තම භූමින් වෙත පැමිණීමට ඇති අයිතිය මිලිටරි බලය යොදාගෙන අහිමි කර ඇත. ආසන්නතම ගැටුමෙන් මේ වන විට 10000 ආසන්න පලස්තීනුවන් පිරිසකට තම නිවෙස් අහිමි වී ඇත.

මේ තත්ත්වය තුළ අපගේ ස්ථාවරය මෙයයි.
පලස්තීනයට ජීවත් වීමට ඉඩ දෙනු! ගාසා තීරයේ ජනඝාතන හෙළා දකිමු!
පලස්තීන ජනතාව මත මර්දනය පටවන අධිරාජ්‍යවාදී වැඩපිළිවෙළට ප්‍රතිචාර දැක්වීම සඳහා ආගමික මූලධර්ම වාදය මත පදනම් වීම ප්‍රශ්නයට පිළිතුරක් නොව විනාශය උග්‍ර කරවන්නකි. මෙයට සැබෑ විසඳුමක් ලබාගත හැක්කේ දෙරටේ පාලක පන්තියේ ජාතිවාදී හා ආගම්වාදී වැඩපිළිවෙළ තුළ ගොනු වීමෙන් නොව වැඩකරන ජනතාවගේ පුළුල් සමගිය තුළිනි. මැදපෙරදිග කලාපයේ පීඩිත පලස්තීන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සෘජුව පෙනී සිටින Youth For CHEnge අපි , දෙරට වැඩකරන ජනතාවට ඉස්ලාම් සහ සියෝන් අන්තවාදීන්ගේ උගුලෙන් සහ දෙරටේම දක්ෂිණාංශික පාලන තන්ත්‍ර වල බලපෑමෙන් මිදී පලස්තීන ප්‍රශ්නයට වඩා සාධාරණ විසඳුමක් වෙනුවෙන් සමගි වන ලෙස ආයාචනා කරමු. ලේ පිපාසිත, සියලු අධිරාජ්‍යවාදී කඳවුරු වලට විරුද්ධව ලෝක පරිමාණයේ වැඩකරන ජනතාවගේ බලයක් ගොඩ නැගීමට එක් වන ලෙස ලෝකයේම ප්‍රගතිශීලී තරුණ ප්‍රජාව ගෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම මේ මර්දනය හමුවේ පලස්තීන ජනතාව වෙත ලාංකික ජනතාවගේ සහයෝගීතාව ප්‍රකාශ කර සිටිමු!

 

leave a reply