Breaking News

කවිය, රති කවිය සහ සූරිය – ශානක දිල්ශාන්

භරතමුනිගේ රසවාදයට අනුව රති භාවයෙන් උපදින රසය ‘ශෘංගාර රසය’ යි. රතිය, ශෘගාරය වගේ පද අද භාවිත කරන්නෙ, බොහෝ අය තරමක් ඈත් වෙලා. ඒ පද භාවිතය නොහොබිනා වැඩක් යැයි සිතන පිරිසක් වර්තමාන සමාජයේ වුව දැක ගන්න පුළුවන්. රතිය යන පදය තුළින් ජනනය වන්නේ ඇල්ම, කැමැත්ත, සතුට, ආලය, පස්කම් සැපෙහි ඇලීම වැනි අර්ථයන්. එහෙත් අද වන විට රතිය තුළින් මතුවන්නේ ලිංගිකත්වය පිළිබඳ හැඟීමක් පමණයි. එය ස්ත්‍රී පුරුෂ සම්බන්ධයක් පිළිබඳව කාමය ඇති කරවන ආකාරයේ පදයක් ලෙස හංවඩු ගැසී ඇති ආකාරයක් දැකගන්න පුළුවන්. එසේ නම් රති භාවයෙන් උපදින ශෘංගාර රසය විඳීම වූ කලී පුහුණු විය යුත්තක්.

කවියෙන් වර්ණනා කළ යුත්තේ බුදු සිරිත යැයි යන කියමනට දැනෙන ආකාරයේ පහරක් එල්ල වන්නේ පහතරට ප්‍රදේශවල පැවිදිව සිට පසුව උපැවිදිවී තම ජීවිතය රැක ගැනීම සඳහා කන්ද උඩරට වෙත පලා ගිය පුද්ගලයන්ගෙන් යැයි පැවසීමෙහි වුව වරදක් නොමැත. මන්ද එතෙක් කල් පැවිදි උගතුන් අත රැඳුණු පෑන උපැවිදි වූ ගිහි පුද්ගලයන් අතට පත් විය. ඉන් අනතුරුව එම උගත් ගිහි පිරිස තම කවිය සඳහා බුදු සිරිත අත හැර ගිහි ජීවිතය තුළ දකින්නට ලැබුණු ලෞකික සුවය කවි ලෙස පබඳින්නට විය. ගිහි ජීවිතය කවියට නැගෙන විට නිරායාසයෙන්ම එහි ශෘංගාර රසය ගැබ් වන්නට විය. ඒ අනුව කාලයක සිට ජන කවිය තුළ වුවද දැකගත හැකි වූ රති කවියට වැඩි උත්තෙජනයක් ලැබීම එකල සිදු වී ඇත. ඒ අනුව මාල කවි ලෙස වියෝගරත්න මාලය, පයෝදර රණහංස මාලය, කොණ්ඩ මාලය වැනි රති මාල කවිවල රති කවිය දැකගත හැකි ය.

රත ලවනත පුන් සඳ මඬලක් සේ
ගත පියයුරු දිලෙමින් රන් තැටි සේ
වත තුනු ඉඟ ඇඳි සිරි නලපත සේ
නැත කොතනත් ළඳ ලිය වෙන නුඹ සේ
( පයෝධර රණහංස මාලයේ කවියක්)

රණවැලි තලෙක යුරු පුළුලුකුළැතී ගතී
මනහර ඇග වටොර යුග සිලු ටැතී අතී
වෙනසත් ගඳැත් කර රඹ කද යෙතී නැතී
ගනරන් ටැම් යුවළක සිරි ගතී නිතී
( වියොවග රත්න මාලයේ කවියක්)

ඇලපාත මුදලි හා ගජමන් නෝනාගේ කවි සංවාද තුළද රති කවියේ ස්වරූප දැක ගත හැකිය. පසුව කොළඹ යුගයේ කවිය තුළද රති කවි දැකගත හැකි අතර මීමන ප්‍රේමතිලක යනු එවැනි කවියෙක් සඳහා මනා උදාහරණයකි.

තොල් දෙක නුඹගෙ මගෙ මුව තුළ ගියෙග තැලී
දෙවටොර තිබුණි මගෙ ඇඟටම තදව ඇලී
නුඹෙ අත් දෙකම මගෙ බඳ වට යටම වෙලී
මේ ටිකවත් හිතාපන් තනියට ම මිලී
( මීමන කවියාගේ රති සාගරයේ කවක්)

අතගා ටිකක්, මිරිකා පොඩිකර තදිනි
ඉරුවෙමි මුවට ගෙන ඉන්පසු මද මදිනී
හී සැරවල විසද ඉන් පිටතට ඇදිනී
අප දෙදෙනා හටම සතුටට වැඩ යෙදිනි
( මීමන කවියාගේ අනංග දමනයේ කවක්)

මීට අමතරව සේකරගේ කවි තුළද ශෘංගාර රසය දැක ගත හැකි කවි ඇත. උදාහරණ ලෙස,

මා
ඔබගේ රත් අදර උරන විට
තන පුඩුව
ඊර්ෂ්‍යාවෙන් බරව කලු පැහැව
උඩු හුරුව
එදෙස බලමින් සිටී
( හෙට ඉරක් පායයි, සේකර)
මෙවැනි කාව්‍ය නාම ලේඛනයක් සහ කවීන් නාම ලේඛනයක් මෙන්ම මහැදුරු සුනිල් ආරියරත්න ප්‍රමුඛ ගේය පද රචකයන් නාමාවලියක් ද රති කවියට උදාහරණ සැපයීම සඳහා දැක්විය හැකිය.එමෙන්ම නූතන කවීන් විශාල ප්‍රමාණයක්ද රති කවි නිර්මාණයට යොමු වී ඇති බව දැක ගත හැකි වුවද වත්මනේදී ෆේස්බුක් අවකාශය තම වේදිකාව කර ගනිමින් රති කවිය පිළිබඳ මනා අවබෝධයකින් යුතුව නිර්මාණකරණයෙහි යෙදෙන කවියෙක් ලෙස සූරිය සිංහබාහු කවියා හැඳින් විය හැකි ය.
රති භාවය තුළින් ශෘංගාර රසය ගෙන ඒම වූ කලී මානව ලිංගිකත්වය ඉස්මතුවන අයුරින් පද ටිකක් ඇමිණීම නොව ඉන් එහාට දිවෙන නිර්මාණාත්මක කාර්‍යක්ය. ස්ත්‍රියකගේ රූපය වර්ණනා කිරීම හෝ සම්භෝග ක්‍රියාවලිය සෘජුවම කවියට නැගීම හෝ සිදු කිරීමෙන් රති කවිය රස විඳිය නොහැකි වනු ඇත. අපූරු පරිකල්පනය තුළින් මතු කෙරෙන අපූර්ව භාෂා වික්‍රමයක් මතු විය යුතු ය.

ළමැදට – තුඩුව තදකර සීතලෙන් රැකී
මිහිකත් තොමෝ ඔය පියයුරු උරනු වැනී
පුන්සද ලෙසින් හෙළිකල සඳවගුර එරී
ඉන් ඔබ මැවුනු බව මෙී මම හොදට දනී

විනිවිද පෙනෙන මිණිමෙවුලක රස හුරුව
විලවුන් බිදක් පිරවිය හැකි නැඹ පළුව
ඇස් කොන් බැදෙයිදෝ මම බැලුවොත් හුරුව
වෙන කවුරුත් නැද්ද උබෙ මල් පෙති ඉරුව

මී සුණු කුසුම් කිති කැවෙනට කරුණු යෙදේ
ලාලන මුකුළු ගතියකි පිඬු කරපු තොලේ
දුල් පුල් ඉඟට සද මත්වී බිමට වැටෙී
දැන් අපි බලා ඉන්නේ මොනවට ද ළදේ ?

කොමළිය කා සමග ඔබ සිනහා වූයේ ?
වටපිට බලනකොට ඩිම්පල් පිබි දූවෙී
අයියෝ ! සැගව හිට සායම් රතු ගාලේ
හිමිහිට පෙරලගන්නෙමි මායම් කෝලේ

බිව් හැටි දෙතොල් රස ! කකියයි හදක කොන
හිමිහිට උරත් කිලිටක් නෑ නාඹි මුල
මෙතරම් සුනඛ රති පහසක බැදෙන කල
සැනැහෙමි පියේ ! සැනසෙමි රති දෙවුය උබ

තිගේ නැඹෙී හැඩ, හෝපළු වනක් වගේ
ස්වර්ගයේ කුඩා කැලෑ රොදක් වගේ
වසන්තයේ කදු වල ජල බුබුළු වගේ
අඟුන් මැවුම ලොකු රහසකි සඳක් වගේ
( සූරිය සිංහබාහු)

සූරියගේ කවිය තුළ දැකිය හැකි සුවිශේෂීත්වය වන්නේ ඔහු භාෂාව හසුරුවන බුහුටිකමය. ඔහුගේ කවියේ නිමිත්ත වන්නේ ස්ත්‍රීය ය. ස්ත්‍රිය විඳගන්නා පුරුෂයා ය. සැබැවින්ම එය සංයමයකින් කළ යුත්තකි. කාමය කලාවක් වන්නේ එවිටය. විද්‍යාවෙන් ඔබ්බට ගොස් ස්ත්‍රිය දෙස බැලීම වූ කලී කව්සිළුමිණ කවියාගේ සිට පැවත එන්නකි. සූරිය ඔහුගේ භාෂාව අපූරු අකාරයකට ඒ සඳහා යොදා ගෙන ඇත. ඔහු අවසනදී ස්ත්‍රියගේ නිර්මාණයම ලොකු රහසක් ලෙස දකී. සැබැවින්ම යමක් රහසක් ලෙස පැවතීමම රසයකි. ඒ තුළින් මතුවන්නේ කුතුහලය ය.

උත්පාද ම සමහර තැන් ගොළු වෙන්න
තනි ඇත් හඩ කවියක් ලග නවතන්න
ඉතිං හිතළු කියැවෙනවට මට මෙන්ම
පියුම් දහක විල් මියැදී නවතියිද ?

හිමි වල්ලභට මල් මඩුවෙන් ගුම් ගන්න
සජ්ඣායනා කදු ඔක්කොම මට දෙන්න
නාඹර කැලේ වතුසුද්දෙට පොබයන්න
සද වඟුරකට මහ පිරිතෙන් පණ දෙන්න

දවුල් වැලපුමක මිහිදන් ශෝ ගින්න
බඹර කොමුව පූදින මල් හැර යන්න
ඔබ මා නොමැති මුළු කොළඹම මිය දෙන්න
පිපුණු බුහුටි හතු මණ්ඩිය විස වෙන්න

ඇනුනු හීය කිඳුරු හදින් උදුරන්න
නිවුණු සපුන් දළගෙහි සිට ඇහැරන්න
සදෙන් ඉනූ රිදී පාට කෙඳි ගොන්න
නුබෙී ඉඟට තබා බලන රැය කොයිද ?

හිමකොත් අග, ඉර මදකට ගාවන්න
පවර තඹර පෙති දිය මත කිමිදෙන්න
නමුණුකුලට පෙම් ඔසරිය ඈදන්න
මටත් පුංචි කෙටි පටුනක් අමුණන්න
( සූරිය සිංහබාහු )

කවියකින් ගීයකින් නිරන්තරයෙන් අවවාද ලබා දීම හෝ ආදර්ශයක් ලබා දීම විය යුතු යැයි නියමයක් අවශ්‍ය නැත. කවිය මිනිසෙකුගේ මානසික සුවය සඳහා හේතු වේ නම් එයද සමාජයේ ප්‍රගමනය සඳහා හේතු වන බව පැහැදිලිය. කවියක යම් පද හරඹයක් තුළින් වුවද රසයක් ජනනය කළ හැකි ය. මීමම ප්‍රේමතිලක, පී. බී අල්විස් වැනි කොළඹ කවීන්ගේ යම් යම් කවිවල වුව දැකිය හැක්කේ එකී රසය ය. සූරියගේ ඉහත කවිය විඳ ගැනීම සඳහා ඒ තුළින් මතු කිරීමට ඔහු උත්සාහ ගන්නා යටි පෙළ විමසනවාට වඩා කවියේ පදවලින් ඔහු ගෙනෙන රසය තුළ කිමිදීම වඩා උචිත යැයි සිතේ. ඔහු සතු වන වාක්කෝෂය කවියට ආභරණයක් කර ගැනීමට දරණ උත්සාහය එහිදී හඳුනා ගත හැකි වනු ඇත.

සමාජය තුළ ප්‍රශ්න කළ යුතු කරුණු එහෙත් බොහෝ විට මගහැරී ඇති කරුණු තම කවියට අනුභූති කර ගැනීමට සූරිය උත්සාහ කළ අවස්ථා ඔහුගේ කවි අතරින් හඳුනා ගත හැකි ය.

පිරිමින්ට හැදෙනවා දරුණු මෙන්සස් එකක්

දුක මහන යන්තරේ නූල් පොට හිරවෙලා
සුදු පාට හිස් බැලුම් උදේ සිට පර වුණා
සුරලොවට ගිනි තියපු පතිනි සඬ වැහැරිලා
අනේ ප්‍රජනන මැෂිම රෙදි වනයි භව පුරා

අලුත් අයිටම් හදපු රොබෝට්ක්ස් හැට්ටයෙන්
දෙතන අල්ලන් බැදපු රිදී පටි ලිහුනදෙන්
උබට පුරපස ගන්න ඉඩක් නැති ලෝකයෙන්
වදන් අවලම් කරපු බණ බොහොයි ආදරෙන්

ඇහැල මල් උකුල ලග රිය සකම දිය කරන්
පුරුදු බිම උබ තනිව ලියයි වනපල රටා
මාසෙ අන්තිම වෙද්දි ටිකෙන් ටික මෙත් එලා
පිරිමින්ට හැදෙනවලු දරුණු මෙන්සස් නුරා

ලොවට කලියෙන් ඉපිද රස පොළොව කොණහලා
මව් කිරෙන්, ඉර රැසෙයි ඉපදුනද අම්මලා
වවුලෙක්ගෙ දිනපොතෙන් යසෝ කවි උගුලලා
හුගක් බෝසත්වරුන් තැබෑරුම් හොයනවා

ඉහත කවිය තුළින් පිරියා ගැන සංයමයකින් ලියා ඇති අයුරු ප්‍රශංසනීය ය. බොහෝ විට අමු කවි ලියන අමු කවියෙක් ගේය පද රචකයෙක් වන සූරිය අතින් ලියැවුණු එම කවිය ධ්වනිතාර්ථවත් ය. සංකේතවත් ය. ස්ත්‍රිය ගැනම ස්ත්‍රී ප්‍රශ්න ගැනම කතා කරන ලියැවෙන කාලයක ලියැවුණු කවියක් ය. එය පුරුෂ කවියක් ය. කෙසේ නමුත් ඔහුගෙර් අනන්‍ය රති කවි ලක්ෂණය ඒතුළද විෂද ය.

සූරිය සමාජයේ දැවෙන ප්‍රශ්න ගැනද සංවේදීබවත් ඔහු සමාජය ප්‍රශ්න කරන පවතින සමාජ ක්‍රමය සහ සිද්ධීන් පිළිබඳව සංවේදීබවත් හැඟවෙන කවි ඔහුගේ කාව්‍යාවලිය තුළ දැක ගත හැකි ය. එහෙත් පහත නිදර්ශනාත්මක කවිය තුළ ඔහුගේ අනන්‍ය ලක්ෂණය කරුණා රසය හේතුවෙන් මැකී ගොස් ඇත. එම කවිය අපි කියවා ගත යුතු ය. අපි අපෙන්ම ප්‍රශ්න කළ යුතු ය. ඔබ ඔබේ අසල්වැසියා ගැන ආදරණීයයා ගැන අවදානයෙන් සිටිය යුතුමය. එය අපූරු සංකේතාත්මක කවියක් ලෙස අගය කළ හැකි ය.

පුවත – | වසර කීපෙකට කලියෙන් කණ වැකුණු රේඩියෝ පුවත් මතක ඡායාවක් විලස |
ස්වාමියා මියගිය පසුව මතට ඇබ්බැහි වූ මිනිසෙකු නිවසට කැන්දා ආ අම්මා නොබෝ කලකින් තම කුඩා දියණිය ඔහු අත තබා සවුදිය බලා පිටත් වෙයි.
සෙල්ලම් වළහා –

මාතුපෝසක ජාතකේ අපෙ අම්ම වාගේ කී උදේ
සෙල්ලමට වළහෙක් ගෙනාවා, පංසලේ රකුසා වගේ
පුන් මලෙන් මං උපන් දවසෙද දෙව්ලොවෙී තරු ඉපදුණේ
අම්ම රට ගිය දවස් තිස්සෙම අමුතු වලහත් මත් වුණේ

සිනිදු මල් වල පෙත්ත ගානේ අමුතු රැප් කවි ලිහ ලිහා
මත්ගුලේ දුම් දැහැටි පිපුණා රෝස බෝනිකි තොල් පුරා
‘තනිව හිටියම බයයි අම්මෙී ‘ කොහොම කීවත් අඩ අඩා
වෙසතුරේ දන් දුන්න දුක්කවි අම්ම කියවා රට ගියා

කිරි බොන්නවත් නොදී සෙල්ලම් වලස් තුරුලේ දවටමින්
පංසලේ තන්හා රතීලා පෙන්නනව හෙලිවැලි තිරෙන්
බුදු පිළිම නැති ගෙයක් වාගේ නටන මල්වර කිරි කලෙන්
රෝස පෙති දිය කරපු රහසක් නිතර වැටෙනව බඩ දවන්

අමුතු වලහා රිදවනා විට මාත් අම්මට කෝල් ගත්තා
ඒත් සෙල්ලම් ටෙලිෆෝන් එක බැටරි බැහැලා කැඩිල තිබුනා
කකුල් අස්සේ රිදුණු තැනකට අම්ම හීනෙන් හාදු දෙනකොට
දෙකේ පන්තියෙ උගන්නපු බුදු බණේ අවුකන සුවය දැනුනා

සෙල්ලම් වලහා ආ වනේටම ඇරලවන්නට අම්ම එනවද ?
සුවඳ අසමෝදගම් ළැමදෙන් අඩනහිරියා මලක් අරගෙන…..

මෙම කවිය විඳ ගන්නත් සූරිය සිංහබාහු නම් කවියා කියවා ගැනීමටත් ඔබට ඇරයුම් කරමින් මගේ කෙටි සටහනට තිත තබමි. සූරිය ඔබට ජය පතමි.

ශානක දිල්ශාන්

 

 

 

 

leave a reply