Breaking News

IMF:පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව එකම ඉරණමක

ආර්ථික අර්බුදවලට මුහුණ දී සිටින ලංකාව සහ පකිස්ථානය යන රටවල් දෙකම එකම ඉරණමකට මුහුණ දී ඇති බව බැලු බැල්මට පෙනෙන්නට තිබේ.

IMF වෙතින් හදිසි ණය මුදලක් අපේක්ෂාවෙන් පසුවන පාකිස්ථානයද මේ ආකාරයෙන්ම දැවැන්ත බදු සංශෝධනයක් සිදුකිරීමට සූදානම් බව පෙබරවාරි (13) නිවේදනය කර තිබේ.

IMF නිර්දේශයන්ට අනුව සිදුකෙරෙන මෙම නව බදු සංශෝධනය හරහා පාකිස්ථාන රජය මෙම මාසයේදී පමණක් රැස්කරගැනීමට අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 170කි.

නව බදු මගින් රටේ සර්පිලාකාර උද්ධමනය (spiraling inflation) වේගවත් විය හැකි බවට ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අඟවා තිබියදීත්, මෙම සංශෝධනය පාකිස්ථානය විසින් සිදුකිරීම විශේෂත්වයකි.

2019 වසරේදී IMF විසින් අනුමත කෙරුණු ඩොලර් බිලියන හයක ණය මුදල මෙතෙක් ලබාගැනීමට පාකිස්ථානය සමත්වී නැත.

හේතුව IMF වෙතින් ඉදිරිපත් කළ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට රට අපොහොසත් වීමයි.

එම ණය මුදලේ පළමු කොටස වන ඩොලර් බිලියන 1.1 නිදහස් කිරීම පිළිබඳ සාකච්ඡා තවමත් සාර්ථක වී නැත.

කෙසේවෙතත් (පෙබරවාරි 11 වැනිදා) IMF සහ පකිස්ථාන පාර්ශ්වය අතර මේ සම්බන්ධයෙන් තවත් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම නව බදු සංශෝධනය අනිවාර්යයෙන් ක්‍රියාත්මක කිරීමට පාකිස්ථාන රජය එකඟතාව පළකර ඇත්තේ එහිදීය.

“තවත් බදු පැනවීම යනු දැනටමත් ඉහළ ආහාර සහ බලශක්ති පිරිවැයකට මුහුණ දී සිටින පාකිස්ථානයේ බහුතර ජනතාවට ඉදිරියේදී තවත් දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවනවා. නමුත් පාකිස්ථානයට IMF ණය අවශ්‍ය නම් වෙනත් මාර්ගයක් නැහැ,” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වන  පකිස්ථාන ආර්ථික විද්‍යාඥයකු වන එතිෂම්-අල්-හක් සඳහන් කරයි.

විසඳුම IMF ද ?
ශ්‍රී ලංකාව මෙන්ම පාකිස්ථානයද වාර ගණනාවකදී IMF සහයෝගය ඉල්ලා ඇත.

ශ්‍රී ලංකාව 17වරක් එලෙස සහාය අපේක්ෂා කර ඇති අතර මේ පාකිස්ථානයේ 14වැනි වාරයයි.

1980 ගණන්වල අග භාගයේ සිට පාකිස්ථානය එලෙස සාකච්ඡා ආරම්භ කළ බොහෝ IMF ණය පැකේජයන් අවසන් වී ඇත්තේ සාර්ථකත්වයකින් තොරවය.

මෙවරද පාකිස්ථානය, 2019 සාකච්ඡා ආරම්භයේ සිටම, සිය රජයේ වියදම් පාලනය කිරීමට හෝ ආදායම ඉහළ නැංවීමට කිසිදු අර්ථවත් ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකර නැත. ඊට අමතරව, පසුගිය වසරේ පැමිණි විනාශකාරී ගංවතුර සහ අඛණ්ඩ දේශපාලන කැලඹීම් මගින් උග්‍ර වූ තත්ත්වයන් හමුවේ රටේ ආර්ථිකය මුළුමනින්ම බිඳවැටුණු අතර, 2023 පෙබරවාරි මාසය ආරම්භ වනවිට පාකිස්ථානයේ විදේශ සංචිතය ඩොලර් බිලියන තුනක සීමාව දක්වා දැවැන්ත කඩාවැටීමකට ලක්විය.

එම සංචිතය ප්‍රමාණවත් වූයේ පාකිස්ථානයට සති දෙකක කාලයක් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයට පමණකි.

කෙසේවෙතත් අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ වත්මන් පාකිස්ථාන ආණ්ඩුව මුහුණදී සිටින්නේ ‘ගෙදර ගියොත් අඹු නසී, මඟ හිටියොත් තෝ නසී’ පන්නයේ අර්බුදයකටය.

එහෙත් නව බදු සංශෝධනයක් ඇතුළු ජනතාව තවදුරටත් පිඩාවට පත්කෙරෙන දුෂ්කර ආර්ථික ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කළහොත්,මේ වසර අගදී පැවැත්වීමට සැලසුම් කර ඇති ජාතික මැතිවරණයට මුහුණදීමට ආණ්ඩුවට අසීරුවනු ඇත.

IMF ණය වැඩසටහනද පසුගිය වසර දෙක තුළ අවම වශයෙන් තුන් වතාවක් මඟහැරී ඇති අතර, දැන් නැවතත් කරළියට පැමිණ ඇත.

පකිස්ථානයේ නවතම මුදල් ඇමති ඉෂාක් ඩාර් පත් කෙරුණේ පසුගිය සැප්තැම්බර් මාසයේදී ය.

සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා IMF නියෝජිත කණ්ඩායමක් ඔක්තෝම්බර් මාසයේදී පැමිණෙනු ඇතැයි ඔහු අපේක්ෂා කළ නමුත්, IMF විසින් පාකිස්ථානයට ප්‍රතිචාර දක්වන ලද්දේ 2023 ජනවාරි අගදීය.

පාකිස්ථාන ණය වැඩසටහන සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇති IMF නේවාසික නියෝජිත එස්තර් පෙරෙස් රුයිස් සඳහන් කර ඇත්තේ, ප්‍රායෝගිකව ගත් කල, රජය විසින් විශාල වශයෙන් සහනාධාර ලබා දෙන ඉන්ධන, විදුලිය සහ ගෑස් මිල ඉහළ නැංවීම සහ නව බදු හඳුන්වාදීම පිළිබඳව දෙපාර්ශවය සාකච්ඡා කරමින් සිටින බවය.

පාකිස්ථානයේ බලශක්ති අංශයේ ශක්‍යතාව යථා තත්ත්වයට පත් කිරීමට සහ බලශක්ති අංශයේ අඛණ්ඩ ණය තොගය අඩුකිරීම කෙරෙහිද IMF අවධානය යොමුව ඇතැයි පෙරෙස් රුයිස් පෙන්වාදී ඇත.

මේ අතර පාකිස්ථානය තම මුදල් ඒකකයේ ග්‍රහණය ලිහිල් කර ඇති අතර, ණය පැකේජය නැවත පණ ගැන්වීමේ මූලික පියවරක් ලෙස පසුගිය වසර අවසානයේදී ඉන්ධන මිල ඉහළ දමනු ලැබීය.

‘බ්ලූම්බර්ග්’ විසින් සම්පාදනය කරන ලද දත්තවලට අනුව, පකිස්ථාන රුපියල 2023 ජනවාරි මාසයේදී 15%කින් පමණ පහත වැටුණු අතර, එය වසර 34කට පසු සිදුව ඇති විශාලතම මාසික පහත වැටීමයි. 2022 දෙසැම්බර් 30 දක්වා වසර තුළදී ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණවීම 44.8%කි.

IMF ණය වැඩසටහන ‘කවදා ක්‍රියාත්මක වේද?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය යෝජනා ක්‍රමය මාර්තු මාසයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, මේ වන විට උද්ධමනය ක්‍රමිකව අඩුවීමට සාපේක්ෂව මෙරට බැංකු පොළී අනුපාත අඩු කිරීම පිළිබඳව සළකා බලන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

සුළු හා මහා පරිමාණ සහල් මෝල්හිමියන් මුහුණ දී ඇති ගැටලු සහ ඒවා විසඳා ගැනීමට ගතයුතු පියවර පිළිබඳ සොයා බැලීමට පෙබරවාරි (16 වැනිදා) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ මෙන්ම පාකිස්ථානයේද පවතින්නේ IMF ණය වැඩසටහන ‘කවදා ක්‍රියාත්මක වේද?’ යන අවිනිශ්චිතතාවයි.

පකිස්ථාන ආණ්ඩුවේ නිල කාලය අවසන් වන 2023 අගෝස්තු මාසයෙන් පසුව මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. මේ නිසා දේශපාලන පක්ෂ 13ක සභාගයක් වන ෂරීෆ්ගේ ආණ්ඩුවේ සහායක පක්ෂ දැනටමත් ජනතා සහන කප්පාදු කෙරෙන පියවරයන්ට ප්‍රතිරෝධය පළකර ඇත. ජනවාරි මාසයේදී රටපුරා සිදුවූ දැවැන්ත විදුලිය ඇනහිටීම, පැරණි සම්ප්‍රේෂණ ජාලය සහ විදුලිය නිෂ්පාදනය වෙනුවෙන් ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් හිඟවීම වැනි බලශක්ති අභියෝග මාලාවක් මධ්‍යයේ වුවද පාකිස්ථානය විදුලි මිල ඉහළ නොදමන බව විදුලිබල ඇමැති කුරාම් දස්ට්ගිර් ඛාන් පසුගිය සතියේ ප්‍රකාශ කරන ලද්දේ ඒ අනුවය.

එමනිසා පසුගිය සිකුරාදා එකඟතාව පළකරන ලද බදු සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ ඇත්තේද විෂමතාවකි.

BBC වෙබ් අඩවියේ පළවූ ලිපියක් ඇසුරිණි

leave a reply