පසුගිය 10 වනදා කඳුකර දමිළ ජනතාවගේ අයිතිය වෙනුවෙන් සටන් වැදී දිවි දුන් විරුවන්ගේ දිනය අනුස්මරණය කර තිබේ.
එම අනුස්මරණය කොටගල කොමර්ෂල් ලේක් ප්‍රදේශයේදී සිදු කර ඇත.
වතු කම්කරුවන්ගේ වැටුප් අරගලය වෙනුවෙන් සටන් වැද සිටියදී පොලිස් වෙඩි පහරින් මුල්ඔය ගෝවින්දන්ගේ මිය ගොස් තිබුණි. ඒ 1940 ජනවාරි 10 දින දියි.
2019 දෙසැම්බර් 15 දින මලෛයග උරිමෛකුරල් සහ පිඩිතලරාතේ යන සංවිධාන දෙකේ සංවිධානත්වයෙන් පැවති වතු කම්කරු සමරු උත්සවයකදී මුල්ඔය ගෝවින්දන්ට උපහාර පිනිස සෑම වසරකම ජනවාරි 10 වැනි දින කඳුකර දිවි පිදූවන්ගේ දිනය ලෙස අනුස්මරණය කිරීමට යෝජනාවක් සම්මත කරගෙන තිබේ.
මෙවර කොටගල කොමර්ෂල් ලේක් ප්‍රදේශයේදී සිදු අනුස්මරණයේ දී, කඳුකර ජනතාවගේ වෘත්තීය සහ අනෙකුත් අයිතීන් දිනාගැනීමේ අරගලයේදී දිවි පිදූ සියළුම විරුවන් සිහිපත් කරමින් පස්වරු 03 ට ගිනිසිළුව දල්වා උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කර ඇත.
එම අනුස්මරණය සංවිධානය කර ඇත්තේ මලෛයග උරිමෛකුරල් සහ පිඩිතලරාතේ යන සංවිධාන දෙක විසිනි.
පොලිස් සැරයන් සුරවීරගේ රයිෆල් උණ්ඩය මුල්ඔය ගෝවින්දන්ගේ ජීවිතය බිලිගත් ආකාරය සහ “වතු කම්කරු අරගලයට පණදුන් මුල්ඔය වත්තේ දිදුලන සටන් උරුමය” ගැන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අතුල විතානගේ JDS වෙබ් අඩවියට ලියු ලිපියක කොටසක් පහත දැක්වේ.
වචනයේ පරිසමාප්ත අරුතින්ම, මෙරට පළමු නිර්ධන පාන්තික බලවේගය ලෙස හැඳින්විය හැකි වතු කම්කරුවෝ, බ්‍රිතානීන් විසින් ගෙන එන ලද යුගයේ සිට නොසලකා හැරීමටත්, යටත් භාවයටත් පාත්‍ර කරමින්ද, පුරවැසි පනත්, හදිසි නීති රෙගුලාසි, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ආදී අණපනත් ඔස්සේ මර්දනය කරමින් ද, ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා, රාජ්‍ය ත්‍රස්තවාදය, ජනපදකරණය, ආදී පිළිවෙත් මගින් වෙනස් ලෙස සැළකීමට භාජනය කරමින් ද දීර්ඝ කාලීන පීඩනයකට පාත්‍ර වූහ. ආර්ථික සූරාකෑමේත්, ජාතික පීඩනයේත් ගොදුරක් බවට පත්කොටගත් ඔවුහු, වසර 150 කටත් වැඩි කාලයක සිට ශ්‍රී ලංකා ආර්ථිකයට තීරණාත්මක දායකත්වයක් ලබාදී අවම ජීවත තත්ත්වයන් යටතේ දැනටත් දිවි ගෙවති. දැන් ඇවිළ යන වතු සටන් රැල්ලට පිටුබල දෙන සටන්කාමීත්වය ඔවුන් උගත්තේ ද ඒ දිගු පීඩනයේ ඉතිහාසයෙනි.
වතු කම්කරු සටන් ඇවිලී යන මේ ජනවාරියේ දී මෙරට වතු කම්කරු ඉතිහාසයේ පළමු වරට අරගලයක දී පොලිසිය වෙඩි තබා වතු කම්කරුවකු මරා දමනු ලැබීමේ සිදුවීමට වසර 79ක් සම්පූර්ණ වේ. ඒ, 1940 ජනවාරි 10 වැනිදා හේවාහැට ආසනයේ මුල්ඔය වත්තෙන් පැන නැඟුණු කම්කරු සටනේදී ය. 1939 අවසාන භාගය වන විට මුල්ඔය වත්තේ කම්කරුවන් 1,250 දෙනකුගෙන් 800 දෙනෙක්ම ලංකා සමසමාජ පක්ෂයට අනුබද්ධිත සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ලියාපදිංචි සාමාජිකත්වය ලබා සිටියහ. ලසසපයට අමතරව, වතු කම්කරු ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති පුරෝගාමියා වූයේ එස්. කේ. නටේස අයියර්ගේ නායකත්වයෙන් පිහිටුවා තිබූ සමස්ත ලංකා ඉන්දීය කම්කරු සම්මේලනය වේ.
මුල්ඔය වත්තේ සටන ඇවිළ යන්නට පසුබිම් කතාවක් තිබේ. ඒ ජෙගනාදන්ගේ කතාව ය. මුල්ඔය වත්තේ වතු කම්කරුවකු සේවය කළ ජෙගනාදන් සිය විවේකී කාලය තුළ වතු කම්කරු දරුවන්ගේ අධ්‍යාපනය ඉහල නැංවීම වෙනුවෙන් වැය කළ අතර ඔහුගේ දැනුවත් කිරීම මත කම්කරුවෝ සමස්ත ලංකා වතු කම්කරු සංගමය වෙත බැඳෙන්නට වූහ. වතු අධිකාරි ඩබ්ලිව්.ඊ. ස්පාලින් ජෙගනාදන්ගේ මෙම වැඩ පිළිවෙල නොරිස්සු අතර 1939 දෙසැම්බරය නිමාවට ආසන්නයේ දිනෙක ඔහුගේ බිරිඳත් සමගින් වැඩ කරමින් සිටි වත්තේ මැදි කොටසින් පහළ කොටසකට මාරු කෙරුණි. තම අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව නැගී එන කම්කරු විරෝධය කෙරෙහි තැකීමක් නොකළ වතු අධිකාරිවරයා සිය ස්ථාවරය වෙනස් කරන්නට සුදානම් නොවුණි.
වේලුසාමි දඟගෙට
1940 ජනවාරිය උදා වන්නේ මුල්ඔය කම්කරුවන්ගේ ඉල්ලීම් කිහිපයක් වතු පාලක වෙත ඉදිරිපත් කරමිනි. ජෙගනාදන්ගේ හා ඔහුගේ බිරිඳගේ ස්ථාන මාරුව අවලංගු කිරීමටත්, දෛනික වැටුප ශත 16 කින් වැඩි කිරීමටත් ඒ ඉල්ලීම් මගින් බලකර තිබිණ. ඒ වනවිට දෛනික වතු කම්කරු වැටුප ශත 40ක්ව තිබිණ. එහෙත් එකී ඉල්ලීම් සම්බන්ධයෙන් කම්කරුවන් සමග සාකච්ජා කිරීමට පවා මනාප නොවූ වතු අධිකාරි ස්පාලින් පොලීසිය මැදිහත් කරමින් වර්ජනය මැඩ පැවැත්වීමට උත්සාහ දැරීය.
එහි ප්‍රතිඵලයක් ලෙසින් සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ මහනුවර දිසා ලේකම් පී. එම්. වේලුසාමි මුල්ඔය වතු කම්කරුවන්ගේ සහායට පැමිණියේය. ජනවාරි 2 වැනිදා මුල්ඔය ට පැමිණි වේලුසාමි කම්කරුවන් සමග සාකච්ජා කරමින් සිටියදී ගලහ පොලිසියෙන් පැමිණි පොලිස් බල ඇණි අක්කර 1,413 කින් යුත් මුල්ඔය වත්තේ කඳවුරු බැඳ, වේලූසාමි අත් අඩංගුවට ගත්හ.
පොලිස් බලපෑම නොකඩවා එල්ල වුවද වතු කම්කරුවන් වර්ජනය අත් හරින්නට සුදානම් නොවුණු අතර ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට ඔවුහු සුදානම් වුහ. වර්ජනය අඛණ්ඩව ඉදිරියට ඇදුනු අතර දින පහක් ගෙවීගිය තැන වර්ජකයන්ට සහල් බෙදා දීමට මුල්ඔය වත්ත අවට ගම්වාසී සමසමාජ පාක්ෂිකයෝ මැදිහත් වූහ. මින් කෝපයට පත් වතු අධිකාරිවරයා සිය අන්තේවාසික සේවකයන් ලවා කම්කරුවන් බිය වැද්දීමට කටයුතු කරන ලද්දේ එවැනි සන්ධානයක අනතුර වටහා ගත් හෙයිනි.
ඊට පසු දින ජනවාරි 8 වැනිදා වතු අධිකාරි ස්පාලින් මහනුවර බලා පිටත්වුයේ වේලුසාමිට එරෙහිව සාක්ෂි ලබා දීමේ අරමුණෙනි. සාක්ෂ විමසා බැලු මහනුවර දිසා අධිකරණය කම්කරුවන් වර්ජනයට පෙළඹවීම වෙනුවෙන් වේලුසාමිට බරපතල වැඩ සහිත තුන් මාසයක සිර දඬුවමක් නියම කරනු ලැබුණි. එහෙත් එකී තීන්දුව වතු කම්කරුවන්ගේ වර්ජනය උත්සන්න කිරීමට තව දුරටත් ඉවහල් වූයේය. වර්ජනය අනෙකුත් වතු කරා ද පැතිර යාමට ඇති අවදානම ගැන බිය වූ අනෙකුත් වතු හිමියන් හා යටත්විජිත පාලකයන් කම්කරු වර්ජනය කෙසේ හෝ මුල්ඔයෙන් නිමා කිරීම සඳහා පොලිසියට අතිරේක බලතල පැවරීමට කටයුතු කළහ.
වැඩ වර්ජනය අඩපණ කිරීමට දේශපාලන මැදිහත්වීම් සිද්ධ වූයේ මේ අතරවාරයේ ය. ඒ අනුව, රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළ නුවරඑලිය මන්ත්‍රී ඊ.ඩබ්ලිව්. අබේගුණසේකර තම ආධාරකරුවන් තාවකාලික කම්කරුවන් ලෙසින් මුල්ඔය වත්තට එවනු ලැබූ අතර පොලිස් ආරක්ෂාව යටතේ අබේගුණසේකරගේ කම්කරුවන් මුල්ඔය තේ කර්මාන්ත ශාලාව වෙත ලොරි මගින් ප්‍රවාහනය කෙරුණි.
ගෝවින්දන්ට වෙඩි පහරක්
මුල්ඔය වැඩ වර්ජිත කම්කරුවන් හා අබේගුණසේකරගේ ‘කම්කරුවන්’ අතර ගැටුම්කාරීත්වයක් නිර්මාණය වූයේ යට කී පසුබිම තුළ ය. පිටතින් කම්කරුවන් රැගෙන විත් වර්ජනය කඩාකප්පල් කිරීමට පොලිසිය ගන්නා ක්‍රියා මාර්ගයට එරෙහිවූ මුල්ඔය කම්කරුවන් අත තිබු පොලු, මුගුරු ආදිය සිය බාරයට ගත් පොලිසිය කම්කරුවන් විසුරුවා හැරීමට කටයුතු කළේය. නමුත් යළි සංවිධානය වූ කම්කරු තරුණ පිරිස් පොලිසිය පැහැරගත් පොලු, මුගුරු ආදිය නැවතත් ඔවුන් වෙත ලබා ගැනීමට සමත් වූ අතර කුපිත වූ පොලිස් කණ්ඩායම් අමතර පොලිස් බලඇණි ද යොදා ගනිමින් මුල්ඔය වත්ත පීරා කම්කරුවන් දඩයම් කිරීමට පටන්ගත්තේය. අධික වේගයෙන් ධාවනය වූ පොලිස් ජීප් රථයකට අටේ ලයින් කාමරය අසලදී පෙරියසාමි නම් කම්කරුවා යට වී අනතුරට පත් වීමත් සමගින් කම්කරුවන්ගේ කෝපය උත්සන්න විය. ගල් පෙරලා දමා මාර්ග අවහිර කරමින් පොලිසිය වෙත සිය විරෝධය දක්වන්නට වූ කම්කරුවෝ කර්මාන්ත ශාලාව අසළට රැස් වී සටන් පාඨ කියමින් මාර්ගය දිගේ ඉදිරියට ගමන් කළෝය. කම්කරුවන් වෙත පොලිස් වෙඩි ප්‍රහාර එල්ලවන්නේ මේ අවස්ථාවේදී ය.
කර්මාන්ත ශාලාවට ඉදිරියෙන් අඩි 20 ක පමණ දුරක සිට එල්ල කළ පොලිස් සැරයන් සුරවීරගේ රයිෆල් උණ්ඩය, කර්මාන්ත ශාලාව දෙසින් වූ බෑවුමේ පහලට බසිමින් සිටි පිරිස අතර වූ ගෝවින්දන්ගේ හිස පසාරු කොට ඉගිළ ගියේය. ගෝවින්දන් ඇද වැටිණ. කම්කරුවෝ හිස් ලු ලු අත දුවන්නට වූහ. සැරයන් සුරවීර ඒ සැණින්ම පොලිස් ජීප් රථයක නැගී මුල්ඔය වත්තෙන් පලා ගියේය.
ගෝවින්දන්ගේ දොළොස් හැවිරිදි සොහොයුරු රාමයියා, ගෝවින්දන්ගේ බිරිඳට සහ මව ලෙච්චිමීට වෙඩි තැබීමේ සිද්ධිය ගැන ආරංචිය දන්වන විටත් ගෝවින්දන් මිය ගොස් සිටියේය. ගෝවින්දන්ගේ මරණය විසින් තත්ත්වය තවදුරටත් බැරෑරුම් කළේය. එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ස්වදේශ කටයුතු භාර ඇමතිවරයා වු සර් ඩී.බී ජයතිලක සිය අමාත්‍යංශ කමිටුව හරහා මුල්ඔය වෙඩි තැබීම ගැන විභාගයක් පවත්වන්නට තීරණය කළේ ඒ නිසා ය. එහිදී පොලිසිය කරුණු දක්වමින් කියා සිටියේ ගෝවින්දන් විසින් කම්කරුවන් සිරකොට තබා ගෙන ගැටුම් ඇති කිරීමට කටයුතු කළ බව ය. ඔහු ආයුධ රැගත් කම්කරු කණ්ඩායමේ නායකයෙක් බව කියන්නට ද පොලිසිය අමතක නොකළේය.