Breaking News

දූෂණයෙන් තොර දක්ෂයන්ගෙන් හෙබි ආණ්ඩුවක් බිහිකර වැටුණු දේශය ගොඩනගනවා – සජිත් ප්‍රේමදාස

දූෂණයෙන්, වංචාවෙන් තොර සැබැවින්ම දක්ෂයන්ගෙන් හෙබි ආණ්ඩුවක් බිහිකර කඩා වැටුනු දේශය ගොඩනැංවීමට සමගි ජනබලවේගය කටයුතු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස කොළඹදී අද(16) පැවසීය.

රටේ වගකීම භාරගෙන නව දැක්මක් තුලින් නව යුගයක් බිහිකිරීමට රටේ සියලුම ජනතාවට ආරාධනා කරන බවත් විපක්ෂනායකවරයා සඳහන් කර ඇත.

ප්‍රේමදාසලා, සේනානායකලා , රාජපක්ෂලා කියා වගකීම් ප්‍රදානය කිරීමක් සමගි ජනබලවේගයේ ආණ්ඩුවක් තුළ සිදු නොවන බවත් ඒ වෙනුවට කුසලතාවයට, දක්ෂතාවයට, හැකියාවට තැන ලබාදී රටත් ජනතාවත් දිනවන යුගය බිහිකරන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මෙහිදී පවසා ඇත.

වැඩිවන ජීවන වියදම, රටේ පවතින පොහොර හිඟය ඇතුලු ජනතාව මුහුන දෙන ගැටලු මුල් කරගනිමින් “සාපලත් ආන්ඩුවට එරෙහි ජනතා බලය” මැයෙන් සමගි ජනබලවේගය සංවිධානය කළ විරෝධතාවයෙන් අනතුරුව කොළඹ ගාල්මුවදොර වටරවුමේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

මේ අතර මෙම විරෝධතාවයට සහභාගී වන්නන්ට පොලිසිය විසින් බාධා කරන අයුරු දිවයිනේ විවිධ ස්ථාන වලින් වාර්තා විය.

මෙහිදී කොළඹට පැමිණීමට සූදානම් වන එම ජනතාවට එසේ පැමිණීමට ඉඩ නොදී අවහිර කරන අයුරු විවිධ ස්ථාන වලදී දැකගත හැකිවිය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික. සී. රාගල ඊයේ දින පොලිසියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පවසා සිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන මාර්ගෝපදේශ වල මහජන රැස්වීම් වලට සහභාගී වීය හැකි පුද්ගල සංඛ්‍යාව හෝ ප්‍රතිශතයක් පිළිබඳව කරුණු දක්වා නොමැති පසුබිමක තමාට එවැනි තහනම් නියෝගයක් ලබාදීමට නොහැකි බවයි. නමුත් ඇතැම් අධිකරණ මෙම විරෝධතාවයට එරෙහිව විවිධාකාරයේ නියෝග ලබාදී තිබුණි.

 

leave a reply