Breaking News

රනිල්ගේ තර්ජනයට ජනතාව මුහුණ දෙන්නේ කොහොමද?

රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය හරහා සමාජයට දෙන්න හදන පණිවිඩය පිළිබඳව අපි වඩා සුපරික්ෂාකාරි විය යුතුයි. රනිල් වික්‍රමසිංහ මුදල් ඇමැතිවරයා විදිහට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන 2023 ට අදාල අයවැය ලේඛනය වෙත මේ වන විට සමාජයේ දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතිනවා. ලේඛනය තුළින් සිදු කර තිබෙන්නේ පීඩාවට පත් වී සිටින ජනතාව තව තවත් බදු බරට හිර කරමින් දැවැන්ත තෙරපීමකට ලක් කිරීම. එපමණක්ද නොව විශේෂයෙන් ම රනිල් වික්‍රමසිංහ සහ ඔහු වටා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම මේ මොහොතේදී මේ අය වැයට පක්ෂව කතා කරන රනිල් වික්‍රමසිංහගේ රාජ්‍ය දේපළ විකිණීමේ ප්‍රතිපත්තිය එකඟතාව පළ කරනවා. 2023 අයවැය ලේඛනය නියෝජනය කරන්නේ ලාභ ලබන ආයතන පවා විකුණා මහා බැංකුවට ඩොලර් ලබාගැනීමට අවශ්‍ය වන බවයි. ඒ හෙයින් ඉදිරියේ දී රට තුළ දැවැන්ත වෘත්තීය අරගල පැන නැගීමටත් ඉඩකඩ විවර වී තියෙනවා.

රනිල් වික්‍රමසිංහ යනු පාර්ලිමේන්තුවේ දූෂිතයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමකගේ උවමනාව මත ජනාධිපති වූ පුද්ගලයෙකි. ඔහුට එරෙහිව සමාජය තුල ගොඩනැගී තිබෙන විරෝධය පුපුරා යාමට නියමිත බව රනිල් වික්‍රමසිංහ හොඳ ආකාරයෙන්ම දැනුවත්ව ඉන්නේ. මෙන්න මේ වටපිටාව යටතේ තමයි අද රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී 2023 අයවැය තුන්වන වර කියවීමේ විවාදය ට එක්වෙමිනි අරගලය සහ අරගලය මර්දනය කිරීම පිළිබඳව අදහසක් ප්‍රකාශ කරන්නේ.

රනිල්ගේ කතාව තුළ සෘජුවම අරගලයට දායකත්වය සැපයීම වෙනුවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට චෝදනා කරනවා. එපමණක්ද නොව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුනරත්නම් ද්විත්ව පුරවැසියෙක් බවත් ප්‍රකාශ කරන අතර බැසිල්ට බැරිනම් මේ රටේ පාලනයට දායක වෙන්න කුමාර් ගුණරත්නම්ට හැකියාවක් තිබේද කියලත් ඔහු ප්‍රශ්න කරනවා. මෙතැනදී දැනුවත්වම රනිල් වික්‍රමසිංහ මගහැර යමින් රටේ ජනතාව නොමග යවන්න උත්සාහ කරන කරුණක් තියෙනවා. ඒ තමයි කුමාර් ගුණරත්නම් යනු මේ මොහොත වන විට ද්විත්ව පුරවැසියෙක් නොවෙන බව. ඔහු ද්විත්ව පුරවැසියෙක් ව සිට ලකාවේ ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසෙන මොහොතේ පුරවැසිභාවය අහෝසි කර ගනිමින් ශ්‍රී ලාංකික පුරවැසියෙක් විදිහට තමයි දැන් පෙනී සිටින්නේ. මේ කතාව තුළින් සමාජය තුළ විරෝධතාවයක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට එරෙහිව නිර්මානය කරන්න සූක්ෂම උපක්‍රමයක් යොදනවා.

එපමණක්ද නොව රනිල් රාජපක්ෂලාගේ මර්දනයේ ඉලක්කය පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු රටේ ජනතාවගේ පාර්ශවයේ සිටින ප්‍රගතිශීලීන් වෙත එල්ල වී ඇති බවත් ඔහුගේ මේ කතාව තුළින් හෙළිදරව් වෙනවා.

රනිල්ගේ අද ප්‍රකාශය ඉදිරි ජනතා අරගලවලට එරෙහිව මර්දනය දියත් කරන බවට සමාජය බිය වැද්දීමට කරන උත්සාහයකි. මේ හරහා රනිල් ජනතාවට කියන්නට උත්සාහ කරන්නේ දෙන දේ කාලා වෙන දේ බලාගෙන හිටපියව් නැත්නම් තොපේ ඔලු වලට වෙඩි තියනවා කියලයි.

leave a reply