මන්නාරම ආශ්‍රිත සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය පිළිබඳ පරිසර වාර්තා නොතකා එය ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ප්‍රකාශ හරහා නැවතත් තහවුරු වී තිබේ. එසේම නැවතත් අදානි සමාගමටම ලබා දේවිද යන සැකය ඇතිව තිබේ. එයට හේතුව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සන්ඩේ ඔබ්සවර් පුවත්පත සමඟ කළ සාකච්ඡාවකදී සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය සහ මුහුණ දීමට සිදු වන පාරිසරික අර්බුද පිළිබඳ ව මතු ව ඇති කතිකාවත සම්බන්ධ අදහස් දැක්වීමයි.
එහි දී අදහස් පළ කරමින් අමාත්‍යවරයා කියා සිටියේ, බොහෝ දෙනෙකු කියා සිටින පරිදි මන්නාරම යනු පාරාදීසයක් නොවන බවත්, සුළං ටර්බයින මඟින් කුරුල්ලන් හා වන සතුන් විනාශ වන බවට ඇතැම් අය විසින් ගෙන යන මතවාදය තමාගේ මතය අනුව සමාජය බියවැද්දීම සඳහා සිදු කරන ප්‍රකාශයන් බවත් ය.
තවදුරටත් අදහස් පළ කරමින් අමාත්‍යවරයා කියා සිටියේ, තමා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බවත්, මෙම කරුණු කිසිවක් එහි දී නිරීක්ෂණය නොවුණු බවත් ය.
“ඔබ මන්නාරමේ සිට පූනරින් ප්‍රදේශයේ උතුර දක්වා ගමන් කරන විට ඔබට එය වියළි හා කර්කශ භූමියක් බව දකින්න පුළුවන්. ඇතැම් අය ඔය කියන විදිහෙ කුරුල්ලන් ඒ ප්‍රදේශයේ නෑ. මන්නාරමේ සිට පූනරින් දක්වා කොතැනකවත් කුරුල්ලෝ දකින්න ලැබෙන්නේ නෑ. මේ ප්‍රදේශ ජාතික සංවර්ධනයට ඒකාබද්ධ කර ගැනීම තමයි අපේ වගකීම. අපිට මන්නාරමෙන් විදුලි ජනනය කළ හැකියාව තියෙද්දී අපි එය නොකර සිටිය යුත්තේ ඇයි ?” යනුවෙන් අමාත්‍යවරයා සිය අදහස් දැක්වීම සිදු කරනු ලැබුවා.
එම ව්‍යාපෘතියෙන් අදානි සමාගම ඉවත් වීම පිළිබඳ ව අදහස් දැක් වූ අමාත්‍යවරයා සඳහන් කළේ, එම සමාගම සමඟ මීට පෙර පැවති රජය එකඟ වී තිබුණු මිල කරණයන් රටේ ජනතාවට අවාසි වන බවත්, ඒ පිළිබඳ පවතින ජාතික ජන බලවේග ආණ්ඩුව විරෝධය පළ කරමින් ඉදිරිපත් කළ මිල ගණන් පිළිබඳ අදානි සමාගම එකඟ නො වූ හෙයින් මෙම ව්‍යාපෘතියෙන් ඉවත් වූ බවයි.
කෙසේ නමුත් මේ වන විට ජාත්‍යන්තර වශයෙන් ලංසු කැඳවීම ආරම්භ කර ඇති අතර, සමාගම් 16 ක් දැනටමත් ලංසු ඉදිරිපත් කර ඇති බව හා අදානි සමාගමට ද නව ලංසු කැඳවීම පිළිබඳ දන්වා ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා ඔවුන් විසින් ඉදිරිපත් කරන නව මිල ගණන් රජයේ අරමුණු හා ගැලපුණහොත් ඒ පිළිබඳ ව සම්මුතියකට පැමිණීමට හැකි බව ද අවධාරණය කර තිබේ.
ඇමතිවරයා මේ අදහස් පළකරන්නේ මේවනවිට මන්නාරම ප්‍රදේශයේ ජනතාවගෙන් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විශාල විරෝධයක් මතුවෙමින් තිබියදීයි. මන්නාරම ජනතාව පසුගියදා විශාල විරෝධයක් දියත් කරමින් පැවසුවේ මෙම සුළං බලාගාර ව්‍යාපෘතිය නිසා සිදුවන පරිසර හානියට අමතරව තමන්ගේ ඉඩම් අහිමිවීමක් සහ පාරම්පරික ධීවර කර්මාන්තයට බලපෑමක් සිදුවන බවයි.
එසේම ඇමතිවරයා මේ ප්‍රකාශ කරන කරුණු අනුව පෙනී යන්නේ අදානි සමාගමට මෙම ව්‍යාපෘතිය ආරම්භය ගැන විශේෂ දැනුම් දීමක් සිදුකර ඇති බවයි. පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබුනේ අදානි සමාගම මීට පෙර මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සූදානම්ව සිදුකළ කටයුතු සඳහා මුදලක් වැයවී ඇති බැවින් එම මුදල ලංකාවේ ආණ්ඩුව විසින් ගෙවිය යුතු බවට එම සමගම විසින් දන්වා තිබූ බවයි. එම මුදල නොගෙවා මෙය අදානි සමාගමටම ලබාදීම ගැන ආණ්ඩුව සිතන බවට දැන් ඉඟි පළවෙමින් තිබේ.