Breaking News

රෝයල් පාර්ක් ඝාතකයාට සමාව දීමට රතන හිමි බලපෑම් කළ බවට අනාවරණයක්

රෝයල් පාර්ක් ඝාතන සිද්ධියේදී තරුණියක් කෘර ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නැමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස් කරන ලෙස පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු පිරිසක් වාචිකව සහ හමුවී එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත කරුණු ඉදිරිපත් කර තිබූ බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (ජුනි 12 වැනිදා) අනාවරණය වී ඇත.

විත්තිකරුට ජනාධිපති සමාව ප්‍රදානය කර ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගත් තීරණය බලරහිත කර ලෙස ඉල්ලා කාන්තා මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද යළි විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර සංවිධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මෙම කරුණ අධිකරණය හමුවේ සඳහන් කර තිබේ.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ ඉදිරිපත් වී තිබූ ජනාධිපති සහකාර ලේකම්වරයෙකු විසින් නිකුත් කළ ලිපියක් උපුටා දක්වමින් කරුණු ඉදිරිපත් කළේය.

එම ලිපියේ අන්තර්ගත කරුණු වලට අනුව පූජ්‍ය අතුරලියේ රතන, පූජ්‍ය බද්දේගම සමිත, පූජ්‍ය බලංගොඩ බුද්ධඝෝෂ යන හිමිවරුන් සහ මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුගේ මව වන එස්. ජේ. එම්. ජයමහ, දකුණු පළාත් කතෝලික පදවියේ රදගුරු රේමන් වික්‍රමසිංහ පියතුමා, සරත් කෝන්ගහගේ, මහේෂ් මඩවල, නාලනී මනතුංග යන අය අදාළ විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කරන ලෙස වාචිකව හා හමුවී ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කර තිබූ බව අනාවරණය වන්නේ යැයිද ජනාධිපති නීතිඥවරයා විවෘත අධිකරණය හමුවේ පැවසීය.

මේ ආකාරයේ ඉල්ලීමක් කිරීමට මෙම පුද්ගලයින්ට පවතින නෛතික බලය කුමක් දැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥවරයා සමාව ප්‍රදානය කිරීමට අධිකරණ අමාත්‍යාංශය හරහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් හා දඬුවම ලබාදුන් විනිසුරුවරුන්ගෙන් වාර්තා කැඳවීමක් කර නොමැති බවත් අනාවරණය කළේය.

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ ද කියා සිටියේ මෙම විත්තිකරුට සමාව ප්‍රදානය කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් දඬුවම් ලබා දුන් කොළඹ මහාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගෙන් වාර්තා කැඳවීමක් කර නොමැති බව පෙනී යන බවය.

මෙම ක්‍රියාවලිය අදහාගත නොහැකි බවත් විනිසුරුවරයා පැවසීය.

රාජගිරිය රෝයල් පාර්ක්‌ සුපිරි නිවාස සංකීර්ණයේ දී 2005 වසරේ ජූනි 30 වෙනිදා 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ඝාතනය කිරීමේ චෝදනාවට ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහ එම වසරේ දීම අත්අඩංගුවට ගැනිණි.

ඉවොන් ජොන්සන්ගේ ගෙල ඇඟලා සිටි ඇඳුමකින් සිර කර තිබූ අතර, හිස සිමෙන්ති පොළොවේ ගැසීමෙන් හිස් කබලේ බිඳීම් 64ක් තිබූ බව මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් විය.

ඉන්පසු කොළඹ මහාධිකරණයේ පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු 2012 වර්ෂයේ දී ඔහුට දොළොස් වසරක සිර දඬුවමක් නියම කෙරිණි.

එයට එරෙහිව පැමිණිලිකරුවන් ඉදිරිපත් කළ අභියාචනයෙන් පසු අභියාචනාධිකරණය 2012 වර්ෂයේ දී ඔහුට මරණ දඬුවම ලබා දුන්නේය. පසුව විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය කරන ලද අතර, එහිදී නැවතත් විත්තිකරුට මරණ දඬුවම ස්ථීර කරමින් තීන්දුවක් ලබා දුන්නේය.

leave a reply