Breaking News

අපි ආයෙත් අලුතින් සංස්කරණය කරමු.

රසිකා මුහන්දිරමිගේ කොළම

ජීවිතය ලිපියක් වගේ.අපි දවසින් දවස කොටස් අමුණ අමුණා ලියන.ඒ නිසාම අපිට වෙනවා සංස්කරණය කරන්න හැමවිටම.

ඉතින් ඒ නිසා තද පාට පෑනකින් ලිව්වොත් මකන්න,කපන්න ,අයින් කරන්න අමාරුවෙයි.

ඒ කියන්නේ ජීවත ලිපිය හැමවිටම සංස්කරණයට ලක් කරගන්න පුළුවන් මට්ටමේ තියාගන්න ඕන .ගොඩක් තද බැදීම්,හමුවීම්,අවස්ථා,සංසිද්ධීන් තමයි ජීවත ලිපිය ලියන්න උදව් වෙන්නේ.

හැබැයි මේ හැමදේම වෙනස් වෙනව.ඒ මත ලිපියේ අන්තර්ගතය වෙනස් වෙනව.ඒ වෙනසත් එක්ක අනුගත වෙන්න බැරිවුනොත් අපිට හිතෙයි ලිපිය ඉරන්න.චප්ප කරල විසිකරන්න.කුණුකූඩෙට දාන්න.

අන්න ඒ නිසයි හැමවිටම සංස්කරණයට ඉඩක් තියාගන්න ඕන .

ලිපිය ලියද්දී ආශිත්‍ර මූලාශ්‍ර වෙන්නේ අර මම ඉස්සෙල්ලා කියපු අවස්ථා ,සිද්ධි,හමුවීම්,පුද්ගලයන් ආදිය.මේවා ජීවත ලිපිය සරුකරන්න අත්දැකීම් අරන් එනව.

ඉතින් ජීවත ලිපියට ළංකරගත් ආශිත්‍ර මූලාශ්‍ර අපි පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන.සමරහර ආශිත්‍රයන් සරු බවට වඩා අරන් එන්නේ වේදනාව ,පීඩනය ,කටුකත්වය නම් අමාරුවෙන් හරි ඉවත් කරන්න වෙනවාමයි.

ඒකයි සංස්කරණයට ඉඩක් තියාගන්න කිව්වේ.

නමුත් සමහර ආශ්‍රිත මූලාශ්‍ර කරදර වුනත් අපේ ජීවිත ලිපියේ අනිවාර්යය කොටසක්නම් අපිට වෙනව තියාගන්න.දරාගන්න .

ඉතින් මගේ ජීවත ලිපිය අනෙකා නේ කියවන්නේ.එයා කියවද්දි සංජානනය කරන්නේ එයාට ඕන විදියට .ඒ හින්දා මම හිතන් ලියන් යන විඳිය අනෙකාට අහුනොවේවි.විවරණය වෙනස් වේවි.

එහෙම තමයි ස්වභාවය .කාටත් ගැලපෙන විඳියට අපිට ජීවත ලිපිය ලියන්න බෑ. හැබැයි ලිපිය ලියන්න ඕන ලියන කෙනාගේ රුචියට, ස්වරූපයට අනුව.

මොකද ආපස්සට කියවන්න හිතුනොත් මහා අප්‍රබංසයක් නම් ලියවිලා තියෙන්නේ හිතාගන්න බැරිව පැටලැවේවි.හැබැයි ආපසු කියවීම අවශ්‍යම නෑ
අවශ්‍ය මේ මොහොතේ හරියට ලියන් යෑම.එතකොට ආපසු කියවීමත් නරකම නෑ.

හරියට ලියනව කිව්වේ ජීවත ලිපිය පුළුවන් තරම් රසවත්,සරල,සුගම,කාටත් කියවගන්න පහසු විඳියට ලියන්න පුළුවන් නම් තමයි හොඳ .ගොඩක් ශාස්ත්‍රීය වුනොත්,ඕනවට වඩා සාරගර්භ විඳියට ලියන්න හිතුවොත් ඒක කියවගන්නත් අපහසුවෙයි. තමන්ටම එපාවෙයි.

එහෙමෙයි කියලා ජීවිත ලිපිය ලියන්නන් වාලේ ලියලත් බැහැ .ඒ වගේම ලියපු විඳිය හොඳ නෑ කියලා ලිවීම පැත්තකින් තියලා පසුතැවීමත් හොඳ නැහැ .

ලියන්න අසීරුම තැන්වල චුට්ටක් විවේක ගන්න .ඔහේ ඉන්න .බලන් ඉන්න .කාලයට ඉඩ දෙන්න.භාවිත මූලාශ්‍ර අලුත් විඳියට දකින්න හෝ අලුත් මූලාශ්‍ර හොයන් යන්න.විකල්ප කියවීම් ගැන අනවශ්‍ය වෙහෙසවීම්වලට වඩා අවශ්‍ය කියවීම් මගින් ලිපිය සරුකරගන්න.

අත්දැකීම් තමයි ජීවත ලිපියේ පදනම.ඒ නිසා ලැබෙන අත්දැකීම් ගැන සතුටු වෙන්නත් භාවිතය ගැන හිතන්නත් වෙනව.

ඒත් අසාර්ථකයි කියලා ජීවත ලිපිය කුණුකූඩෙට දාන්න ඉක්මන් වෙන්න හොඳ නැහැ .

අපි ආයෙත් අලුතින් සංස්කරණය කරමු.

 

leave a reply