සාරි ඇඳපු දවසට රේවතී කොණ්ඩේ කඩනව.ඉනට කටු ගහල රැලි රඳවනව.බුරිය වැහෙන්න පොට කඩල දාලා අමුතු හැඩයක් හදනව.
සාරියට රේවතීගේ බඩෙන් බාගයක් එළියේ.
ඔසරි ඇඳපු දවසට නෙරියේ රැළි ගොඩක් දානව.බෝරිච්චි අත් තියල හැට්ට අඳිනව.කොණ්ඩේ ගෙඩි ගහල අහංකාර පෙනුමක් ගන්නව.
රේවතී සාරි ඇඳල ගියාම ඔෆීස් එකේ රන්ජන් හරි ආසයි.ළඟට ඇවිත් ලස්සනයි කියනව.රේවතී අහනව ඇයි කියල.සාරියට ඔයාගේ ඇඟේ හැඩ බේරෙනව.
ඉතින් රේවතී ඔසරි අඩු කරල සාරි අඳිනව.
රේවතී ඔසරි ඇඳන් බොස් ගාවට ගියාම එයා ගැස්සෙනව.රේවතී ඔයා හරි ලස්සනයි .රේවතී අහනව ඇයි කියලා .ඔයා මැණිකේ කෙනෙක් වගේ.බොස් කියනව.
රේවතී හැම බදාදම ඔසරි අඳිනව.
ඔසරි ඇන්ඳම රේවතීගේ ඉනෙන් බාගයක් එළියේ.
රේවතී ටවුන් ගිය දවසක අහම්බෙන් කැන්ටිමේ වැඩකරන විජේ මල්ලීව දකිනව.දෙයියනේ රේවතී මිස් කෙල්ලො පරාදනේ.විජේ කියනව.රේවතී එදා ඇඳල ගියේ ස්ලැක් එකක්.
අපරාදේ ඔෆීස් එකට ස්ලැක් අඳින්න නැත්තේ.රේවතී හිතනව.
ශ්‍රමදානයක් දවසේ රේවතී ස්ලැක් එකක් ඇඳන් යනව.එදා රන්ජනුත් වැඩ.බොසුත් වැඩ,විජෙත් වැඩ.රේවතීත් වැඩ.
මොකක් ඇන්ඳත් රේවතී හැඩයි.හැම ඇඳුමම ඇඟ වටේ ඔතන කවරයක් තමයි.කවරේ හැඩේ මතුවෙන්නේ ඔතන රූපේ අනුව.
වහෙන තරමට මවන තරම වැඩියි.ඇරුණු තරමට පරිකල්පනය මොටයි.හරියට විෂුවල් එක්ක සිංදුවක් අහනව වගේ.
අතින් නැතුවට ගොඩක් අය හිතින් කවර ගලවන්න දස්සයි.ඔසරි,සාරි,කලිසම් මොන සංස්කෘතික නියෝජනය කළත් හිත කැතනම් මොන ඇඳුම ගලවන්නත් යන්නේ මොහොතයි.
උදේට පන්සිල් ගන්න,විවේක කාලෙත් භාවනා කරන,පෝයට දන්සල් දෙන ඉස්කෝලෙ කොල්ලෝ පවා හිතින් ගුරුවරියොන්ගේ කවර ගලවනව.
කඨිනෙට අත ගහන,දානෙට සාධූ කියන,මල්වලට පැන් ඉහින සැදැහැසිත් සුදු ඇඳන් කලු රෙදි පොරවගන්නව.
මේක ඇවිල්ලා වහන්න වහන්න අරින්න හිතෙන සංස්කෘතියක්.මේකෙන් කියන්නේ ඇරන් ඉන්න කියන එක නෙවි.මොන කවරේ පැටලුවත් විවෘතව බලන්න පුළුවන්කම එනකම්,බාගෙට ඇඳන් ගියත් ඇස් ඇරන් මූණ බලන් කතා කරන්න පුළුවන් වෙනකම් අපි සංස්කෘතික සත්තු වෙන්නේ නැහැ .
ඉතින් රේවතීලා මොකටත් හැඩයි.හැඩයි කියලා අහගන්න එයාල කැමතියි.එහෙම හානියක් නොකර විඳින්න පුළුවන් දවසක් වෙනකං අපි හෙමින් වෙනස් වෙමු.