Breaking News

දිදුළන මාවතේ වීරයා සභාපති ගොන්සාලෝ සහෝදරයාට සුබ ගමන් !

සැප්තැම්බර් අහසේ සිතිජ රේඛාව වෙනදාටත් වඩා මදක් අපැහැදිලි මුත් ඒ අපැහැදිලි බව විසින් ඇති කරනු ලැබූ අර්ධ මායාකාරී බව භූමිය ඇතුළු එහි සමස්ථයට එකතු කළේ ගැඹුරු නිස්කාංසුවකකි. ලීමා අග නුවර වීදියක බීමතින් ඇදවැටුණු බේබද්දන් දෙදෙනකුට මැදි ව කිළුටු වූ ඇදුම් ඇඳගෙන උක්කුටියෙන් වාඩිලා සිටි රහස් පොලිස් ඔත්තුසේවා නිලධාරියෙකු වෛරී හැඟීමකින් දැවෙමින් එක් දෙමහල් නිවසක් දෙස උකුසු ඇස් වලින් බලා සිටියේය. ඔහුට තම දිගුකාලීන සේවා ඉතිහාසය තුළ කෙනෙකු අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් එතරම් වෙහෙස වූ අවස්ථාවක් නැති තරම්ය. අබිමාල් සැඟවී ඇතැයි සැක සිතන මේ දුඹුරු පැහැ නිවෙසේ මතුපිට ඇති සියලු රේඛා ඔහු මාස කිහිපයක් තිස්සේම පරීක්ෂාවෙන් යුතුව මතකයේ තබා උන්නේය. අබිමාල් ගුස්මාන් අත්අඩංගුවට ගත් පසු ඔහු මරා දැමීමේ අවස්ථාව හිමි වෙනවා නම් තම පිස්තෝලයේ සියලු උණ්ඩ ඔහුගේ පපුවට බස්සවන හැටි මවා ගනිමින් කෙටි තාවකාලික ප්‍රීතියක් ද ඒ රාත්‍රියේ මේ ඔත්තුසේවා නිලධාරියා අත්විඳින්නට ඇත. ගෙවී යමින් තිබුණේ 1992 සැප්තැම්බර් 12 වනදා රාත්‍රියයි.

මධ්‍යම රාත්‍රිය වෙද්දි නිවස තුළින් එක්තරා ඡායාවක් චලනය වෙන්නට පටන් ගෙන තිබුණි. දුර සිටි රහස් ඔත්තුසේවා නිලධාරියා තම සියලු සංවේදනා ශක්තීන් එකතු කරගනිමින් ඒ ඡායාව නිවැරැදිව හසු කරගන්නට උත්සාහ දරමින් සිටියේය.

ඒ අභිමාල් ගුස්මාන් නම් ?

ඔව් ,ඒ අබිමාල් මය. අබිමාල් ගුස්මාන් හෙවත් සභාපති ගොන්සාලෝ ය.

කාලාන්තරයක් තිස්සේ ඔහු ගැන කොතරම් විමසිල්ලෙන් සහ හැදෑරීමෙන් යුතුව සිටියාද යත් සෙවනැලි ස්වරූපයෙන් පවා ඔහුව නිවැරදිව හඳුනා ගන්නට තරම් මේ ඔත්තුසේවා නිලධාරියාගේ දෑස දියුණු වී තිබුණි.

තවත් මොහොතකින් රජයේ විශේෂ හමුදා බලඇණියක් රහස් ඔත්තුකරු විසින් මග පෙන්වූ දෙමහල් දුඹුරු පැහැති නිවස වටලෑවේය. නිවස තුලට කඩා වැදුනු හමදා බලඇණිය එහි උන් මැදි වයස ඉක්මවමින් සිටි තියුණු දෑසින් සහ අභිමානවත් පෙනුමෙන් යුතු පුද්ගලයකු තම ග්‍රහණයට ගත්හ. “ෂයිනිං පාත්“ ( දිදුළන මාවත ) සන්නද්ධ දේශපාලන ව්‍යාපාරයේ අසහාය නායක අභිමාල් ගුස්මාන් හෙවත් සභාපති ගොන්සාලෝ සහෝදරයා හමුදා අත්තඩංගුවට හසු වූ අන්දම පසුව අනාවරණය වූයේ එලෙසය. අබිමාල්ගේ අසනීප තත්ත්වයන් ගැනත් ඔහු ගන්නා දීර්ඝකාලීන ඖෂධ ගැනත් සොයාගත් පේරු රාජ්‍ය ඔත්තුසේවාවන් එකී ඖෂධ කිහිපයක නම් ඖෂධ වෙළඳසැල් වලට ලබා දුන්නේ ඒවා රැගෙන යාමට කිසිවකු පැමිණේ නම් වහා ඔවුනට දැනුම් දෙන ලෙසටය. සති කිහිපයකට පසුව අදාළ ඖෂධ රැගෙන යාම සඳහා එක්තරා තරුණියක් පැමිණි බවට ලීමා නගරයේ ප්‍රධාන ඖෂධ වෙළඳ සැලකින් රහස් පොලිසියට පණිවිඩයක් ලැබී තිබිණ. වෘත්තියෙන් වේදිකා නාට්‍ය නිළියක් වූ “ෂයිනිං පාත්“ සාමාජිකාවක් වුනු ඇය පසුපස හඹා ගිය රහස් පොලිසිය වෙහෙසකාරී දිගු කාලයකින් අනතුරුව අවසානයේදී අබිමාල් රැඳී උන් නිවස විය හැකි යැයි සැක සිතූ නිවස සොයා ගෙන තිබිණ.

දර්ශනය සහ නීතිය පිළිබඳව මහාචාර්යවරයකු වූ අභිමාල් ගුස්මාන් උපත ලැබුවේ පේරුහි දකුණු වෙරළ තීරයේ මොලෙන්ඩෝ නගරයේ දී 1934 දෙසැම්බරයේය. විවෘත මනසකින් යුතුව ඔහු කළ හැදෑරීම් වලදී වටහා වටහාගත් එක් නොවෙනස්වන සුලු සත්‍යක් විය. ඒ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය යනු පාලකයා විසින් තම දෑතට ගත් තවත් එක් පීඩක මෙවලමක් පමණක් බවයි. මිලියන 20 ඉක්මවූ ජනතාවක් ජීවත්වන තම රටේ හරි අඩකටත් වඩා සිටින්නේ දිළින්දන්ය. කෘෂිකර්මය ධීවර කර්මාන්තය පතල් හා රෙදිපිළි නිෂ්පාදනය ආදී කර්මාන්තවල යෙදුනද මරණය තෙක් දිළිඳු බවත් බඩගින්නත් නොසලකා හැරීමත් හැරෙන්නට ඔවුන් ලද අන් යමක් නැත. ඒ වෙද්දී පැවති කොමිනිස්ට් පක්ෂය අබලන්ව අභාවයට යමින් තිබූ නාමික එකක් විය. සමාජය විසින් සැබෑ පරිවර්තනයක් ඉල්ලා සිටින බව අභිමාල්ට නිතර දෙවේලේ ඔහු උගත් හා උගන්වමින් සිටි දර්ශනවාදයට අනුව දැනෙන්නට විය. මහාචාර්ය වරයෙක් ලෙස සැන් ක්‍රිස්ටොබාල් විශ්වවිද්‍යාලයේ (San Cristobal of Huamanga National University) සේවය කරමින් සිටි මුල් කාලයේ පටන් එරට කොමියුනිස්ට් ව්‍යාපාරය හා ඔහු එක්ව කටයුතු කර තිබිණ. එහෙත් පසු කාලීනව ගුස්මාන් නව දේශපාලන මාවතක් වෙනුවෙන් විශ්වවිද්‍යාල වෘත්තියෙන් සමු ගත්තේය. මාවෝවාදී ගරිල්ලා ව්‍යාපාරයක් ලෙස “ෂයිනිං පාත්“ නිර්මාණය වෙන්නේ එවන් පසුබිමකය. චීන නායක මාවෝ සේතුංගේ යුධ නියාය පිලිබඳ දිගු කලක් තිස්සේ ගුස්මාන් හදාරමින් සිට ඇත. ස්වකීය පේරු භූගෝලීය තත්වයන්ට අනුව චීන මූල කඳවුරු (Base areas) ක්‍රමවේදය මහජන යුද්ධය “ෂයිනිං පාත්“ හි යුධ නියාය හැටියට ඔහු තෝරාගෙන තිබිණ. මාවෝගේ චීන යුද මාදිලිය හැදෑරීමට ඔහු වසර තුනක පමණ කාලයක් චීනයේ සංචාරයකද නිරත විය. එහෙත් මාවෝගේ අභාවයෙන් පසු චීනය බරපතළ ලෙසින් පිරිහීමට පටන් ගෙන ඇතැයි පැවසූ ගුස්මාන් චීන පාලනය සමාජවාදී වැඩපිළිවෙළ අතහරිමින් ඇතැයි චෝදනා කළේය . ඩෙංග් ෂියාඕ-පෙංග් පාලන කාලයේ සිටම ගුස්මාන් ගේ මේ තියුණු විවේචනය චීනයට එල්ල විය.

හැටේ දශකය පුරාම ලතින් ඇමරිකානු රටවල පැන නැගි විප්ලවීය අරගල හා බද්දව කටයුතු කල ගුස්මාන් ඉතා විශ්වාස වන්ත සගයන් පිරිසක් සමග පේරු රාජ්‍යය තුළද සමාජවාදී පරිවර්තනයක් කරා ගෙන යාමේ මූලික කටයුතු අරඹා තිබිණ. ඔහු සමග තවත් දොලොස් දෙනෙකු “ෂයිනිං පාත්“ ව්‍යාපාරයේ ( දිදුළන මාවත ) මුල්ම සාමාජිකයන් පිරිස විය.

80 දශකය පේරු රජයටත් “ෂයිනිං පාත්“ සන්නද්ධ ව්‍යාපාරයටත් තීරණාත්මක දශකයකි. ධනේශ්වර පාලනය පෙරළා නව පාලනයක් ස්ථාපිත කිරීම උදෙසා මහජන යුද්ධයක් නිර්මාණය විය. “ෂයිනිං පාත්“ ව්‍යාපාරය සිය අවසන් ඉලක්කය ලෙස ලෝක විප්ලවය හරහා කොමියුනිස්ට් සමාජයක් නිර්මාණය කිරීම තරම් දියුණු දැක්මකින් යුතු විය. මේ කාලයේ ෂයිනිං පාත් ව්‍යාපාරය පේරු රාජ්‍යයේ මර්මස්ථාන ගණනාවකටම ප්‍රහාර එල්ල කොට මහත් බලයක් අත්කර ගනිමින් තිබින. එහෙත් 1990 වසරේ එරට බලයට පත් ජනාධිපති ෆුජිමොරි වේගවත් මර්දනයක් දියත් කළේය. රජයේ හමුදාවට රිසි අයුරින් ක්‍රියාත්මක වීම සඳහා අසීමිත නිදහසක් ලබා දුන්නේය. මූලික මිනිස් අයිතිවාසිකම් අමු අමුවේ කඩ විය.දශකයක පමණ කාලයක් තිස්සේ ඇදී ගිය මෙම අමානුෂික රාජ්‍ය මර්දනීය පිළිවෙතත් අරගල කරුවන් ගේ නොනවතින ඉදිරිගාමීත්වයත් බරපතළ ලෙස එකිනෙක ගැටෙද්දී දෙපිරිසේම හැත්තෑ දහසකට අධික පිරිසක් ඝාතනය වූවන්ගේ හා අතුරුදන් වූවන්ගේ ගොඩට එක්ව තිබිණ.

1992 සැප්තැම්බර් මාසයේදී අත්අඩංගුවට ගත් අබිමාල් ගුස්මාන්ට රාජ්‍ය දේපල වලට හානි සිදු කිරීම, රජයේ හමුදා සහ පොලිස් නිළධාරීන් ඝාතනය කිරීම ඇතුළු චෝදනා යටතේ නඩු පැවරිණි. එය රහසිගතව රැස්වී නඩු ඇසූ අධිකරණයකි. එහිදී ගුස්මාන්ට අධිකරණය හමුවේ ප්‍රකාශයක් කිරීමට ඉඩ නොලැබිනි. රහසිගත උසාවියේ අවසාන තීරණය අනුව ලීමා නගරයට බටහිර දෙසින් පිහිටි එල් කලාවෝ හමුදා බන්ධනාගාරය තුළ ජීවිතාන්තය දක්වා ඔහුව සිරගත කරන ලදී. මේ කාලයේ නඩුව කිහිප වතාවක්ම නැවත විභාග විය. ඒ ජාත්‍යන්තර ඇමනස්ටි ඇතුලු බොහෝ මානව හිමිකම් සංවිධාන වලින් ඇති කල බලපෑම හේතුවෙනි. නැවත 2004 ,2005 2006 ,යන වර්ෂවලදී නඩුව විභාග වෙන්නට පටන් ගත් අතර එහිදී ගුස්මාන්ට ප්‍රකාශයක් කිරීමට අවසර ලැබින. ප්‍රසිද්ධියේ එකදු වචනයක්වත් ප්‍රකාශ කරන්නට නොලද දිගු කාලය ඇතුළත කීමට කොතෙක් නම් දේවල් ඔහුට තියෙන්නට ඇති ද? ඔහු කියනා දේ අසා ගන්නට උසාවියටත් එවැනිම කුතුහලයක් තිබෙන්නට ඇත. වයස හැත්තෑ හයක් වූ මේ ප්‍රතාපවත් මිනිසා කතාව පටන් ගත්තා පමණි.

” Long live the Communist Party of Peru! Glory to Marxism–Leninism–Maoism! Glory to the Peruvian people! Long live the heroes of the people’s war! “

“කොමිනිස්ට් වාදය දිගුකල් දිනේවා!
ලෝක මාක්ස් ලෙනින් මාවෝ ව්‍යාපාරවලට ජයග්‍රහණය !!

එලෙස කියමින් ගුස්මාන් ස්වකීය කතාව ආරම්භ කරත්ම පොලිසිය ඊට බාධා කරමින් ඔහුව නැවත බන්ධනාගාරය වෙත ගෙන ගියේය.
මුල පටන්ම අබිමාල් ගුස්මාන් වෙනුවෙන් නීති කටයුතු වෙනුවෙන් වෙහෙසුනු යොවුන් නීතීඥ වරියක් සිටියේය. ඇය ඉලේනා ඉපෙරාගුරේය. අධිකරණ කටයුතු නිසා නිතර දෙවේලේ ඔහු සිටින සිරගෙට යෑමට ඉලේනාට සිදුවිය.එය අපූරු වූ මානව බැඳීමක මූලාරම්භය බව දෙදෙනාගෙන් එක් අයකු වත් ඒ වෙද්දි දැන නොසිටින්නට ඇත . තම ජීවිතයේ සන්ධ්‍යාව ගෙවමින් සිටින විප්ලවීය ගරිල්ලා නායකයා සමග කෙරෙන සෑම වෘත්තිය හමුවක් තුළදීම ඔහු තුළ වූ අලූත් යමක් ඉලේනා දැක්කාය. සිය තරුණ ජීවිත කාලය තුළ පිරිමින් බොහෝ ගණනක් ඇය ඇසුරු කර තිබුණද ඒ කිසිවෙකුට සමකල නොහැකි දැවැන්ත පෞර්ෂයක් අබිමාල් තුළ විය. ඉතිහාස ගත දැවැන්ත මහජන අරගලයක් සූක්ෂම ලෙස මෙහෙයවමින් ඊට නායකත්වය දුන් ගරිල්ලා නායකයෙක් තුළ තිබෙනවා යැයි නොසිතිය හැකි සාමකාමී සෘජු බව ඉලේනාගේ හදවත පැහැර ගත්තේය. අරගලය නිමා විය යුත්තේ ලෝක කොමිනිස්ට් වාදයෙන් බවත් නිදහස උදාකර දිය යුත්තේ පේරු රාජ්‍යයේ ජනතාවට පමණක් නොව සමස්ත ලෝක වාසී පීඩිත පන්තියට ම බවත් පවසන ඔහුගේ අභිමතාර්ථයේ තිබූ ගැඹුරු මානව දහම වටහා ගන්නට තරම් පැසුණු අවබෝධයකින් යුක්ත වූ ඉලේනා ජීවිතය වෙනදාට වඩා වෙනස් ලෙස දකින්නට විය.ඒ අවබෝධයෙන් යුතුව සිදු කරනු ඔවුන්ගේ හමුවීම් වෘත්තීය මට්ටම අභිබවා යමින් විචිත්‍රවත් බවට පත් වෙද්දී ගුස්මාන් හා විවාහ වීමටත් ඔහුට ආදරය කිරීමටත් ඔහුගේ ජීවිතය බෙදා ගැනීමටත් ඉලේනාට අවශ්‍ය විය. ඒ වෙනුවෙන් කැප කරන්නට සිදුවන දේ හි දිග පළල ඇය මැනවින් දැන සිටියාය. පවුල හා සමාජය තුළ ඒ වෙනුවෙන් කරන්නට වෙන අරගලයට අවැසි මානසික ශක්තිය වෙනුවෙන් ඇය සූදානම් වූවාය. තමා බලවත් ලෙස ප්‍රේමයෙන් බැඳුණු මිනිසා සමග ඇය 2010 වසරේදී විවාහ වීමෙන් පසු ඉලේනා විශේෂ අධිකරණ අවසරයක් මත වැඩිම කාලයක් සිරගෙදරට ආවා ගියාය.

2014 වර්ෂයේ එළඹුණේ අබිමාල් සිරගත කොට වසර විසි දෙකක් සම්පූර්ණ කරමිනි. ඒ වන විට ඔහුගේ ගරිල්ලා සංවිධානයේ වැඩි පිරිසක් රජය මර්ධනය හමුවේ ඝාතනය කර දමා තිබූ අතර ඉතිරි වූ පිරිස් කුඩා කණ්ඩායම් ඇන්ඩීස් කඳු වැටි වලටත් ඇමසන් වනය ටත් පළා ගොස් සිටියහ. ඔවුන් විටින් විට කුඩා පහරදීම් සිදු කළ ද සත්‍ය ලෙසම ඒ වෙද්දි “ ෂයිනිං පාත් දැක්ම ඉතිහාසයට තල්ලුකර විනාශ කොට දමා තිබුණි. ඒ වසරේදීම අභියාචනාවක් මගින් නැවත නඩුව කැඳවන්නට ඉලේනා උත්සාහ කළ ද රජය එය නිෂ්ප්‍රභා කලේය.ඒ වෙනුවට ඔවුන් අබිමල්ට දන්වා සිටියේ එල්ල වූ චෝදනා වලට ප්‍රසිද්ධියේ රජයෙන් සමාව ගන්නා ලිඛිත ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලෙසය. එහිදී ඓතිහාසික ලිඛිත ප්‍රකාශයක් ගුස්මාන් ඉදිරිපත් කළේය.

“නුඹලා මට එල්ල කරන කිසිම චෝදනාවකට කිසිම දවසක සමාව ගන්න මම සූදානම් නෑ. මගේ හෘදසාක්ෂියත් මා විශ්වාස කළ ජනතාවත් පාවාදීමෙන් ලබාගන්නා නීච නිදහස කිසිම දවසක මට අවශ්‍යත් නෑ. යුග ගනනාවක් තිස්සේ පීඩිත පංතිය තළා පෙළා දැමීමේ අවසන් ප්‍රතික්‍රියාව තමයි අරගලයක් බවට පෙරළුණේ. පුද්ගලයෙක් හැටියට හෝ සංවිධානයක් හැටියට හෝ එහි වගකීම බාරගන්න වත් පාලක පංතියෙන් සමාව ගන්න වත් ඕනේ නෑ. ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුත්තේ පේරු රාජ්‍ය බලය හොබවන පාලක පංතියයි.”

වරක් මාධ්‍යවේදීන් පිරිසකට ගුස්මාන් හමුවීමට අවසර ලැබිණ. ඒ අතර සිටි එක් ඇමරිකානු මාධ්‍යවේදිණියක් “ගුස්මාන් ඔබ දැන් ඔබ බොහොම වයෝවෘධ තත්වයක ඉන්නෙ, කැමති නැද්ද ජීවිතේ සැඳෑ කලය ඔබේ අලුත් පෙම්වතිය එක්ක සිරගෙදරින් එලියෙ ලෝකයෙ නිදහසේ ජීවත් වෙන්න, රජය කියා සිටිනවා ඔවුන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත්තොත් ඔබව නිදහස් කරන බව . ඇයි ඔබ සමාව නොගන්නේ ?“

අබිමාල් මාධ්‍යවේදියාට ඉතා සිනහ මුසුව කෙටි සහ සෘජු ස්ථිර පිළිතුරක් ලබා දුන්නේය.

“ඊට කලින් ඔබ පේරු රජයට කියන්න ජනතාව ගෙන් සමාව ගන්න කියලා. මට “ෂයිනිං පාත්“ ව්‍යාපාරය වෙනුවෙන් යමක් ප්‍රසිද්ධියේ කියන්න තියෙනවා නම් ඊට පස්සේ අපි හිතා බලමු “.

ඉලේනා ඉපෙරාගුරේ සිය ජීවිතයේ වැඩි කාලයක් ගෙව්වේ සිය ආදරණීය සැමියා සමග සිරගතව යැයි කීවොත් නිවැරදිය. දවසින් දවස ගුස්මාන් ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වෙද්දී ඇය ඔහු ආසන්නයේ හිඳිමින් සාත්තු සප්පායම් කරමින් ඔහුව රැකබලා ගත්තාය.

ලතින් ඇමරිකානු විප්ලවීය දේශපාලනයට මහත් ආශ්වාදයක් ගෙන දුන්නා වූත් ස්වකීය ආත්මය හා ලෝක නිර්ධන පංතික ව්‍යාපාරය ධනේශ්වර ආඥාදායකත්වය ඉදිරියේ පාවා නුදුන්නා වූත් මේ අසහාය නායකයා පසුගිය එකොළොස් වැනි දින තම දිවි සැරිය නිම කළේ, මිය යන තෙක්ම හිස නොනැමූ අතිශයින් මුරණ්ඩු සහ අතිශයින් සුන්දර වූ මිනිසෙකු ලෙස ඓතිහාසික සළකුණක් තබමිනි. B B C ,Al jazeera , C N N ඇතුළු විද්‍යුත් මාධ්‍ය වාර්තා වාර්තා කරන ලද අන්දමට ගුස්මාන් හෙවත් සභාපති ගොන්සාලෝ සහෝදරයා ලොව අංක එකේ ත්‍රස්තවාදියෙකි. ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවෘත්ති ආයතන වලින් නිරන්තරයෙන් අපට ඇසෙන්නේ එවනි පුවත්ය. ඔවුන්ට අනුව වාමාංශික ජනතා නැගිටීම් සහ වාමාංශික ජනතා ව්‍යාපාර යනු භයානක අවතාර මෙනි.

1987-89, 90 වැනි එකම කාලයක ජ වි පෙ අරගලයත් එය මර්දනය කිරීම උදෙසා සිදුකරනු ලැබූ ම්ලේච්ඡ රාජ්‍ය මැදිහත් වීමත් සමාන්තරව සිදු වූ නිසාවෙන් පේරු රාජ්‍යයේ ඇති වූ විප්ලවීය නැගිටීම සහ එය මර්දනය කිරීමත් එකල අපට දැනුනේ සාමාන්‍ය තත්වයට වැඩි කම්පනයකි . එනිසාම ගෙවුණූ කාලය පුරා ගුස්මාන් හා ෂයිනිං පාත් ව්‍යාපාරයේ සගයින් පිලිබඳව අප දැඩිව සංවේදී වූයෙමු. අපේ අරගලයේදී මෙන්ම ෂයිනිං පාත් දියත් කල පේරු අරගලය තුලද දුර්වලතා අඩුපාඩු සහිත විය. නාගරික කම්කරු පංති ශක්තිය වෙනුවට ග්‍රාමීය පීඩිත පංති තරුණයන් ගෙන් විප්ලවීය ශක්තිය වැඩි වශයෙන් ඔවුන් බලාපොරොත්තු තබා තිබුණේය. එනිසාම පේරු අග නගරය ලීමා හි පිහිටි රාජ්‍ය මර්මස්ථාන වලට කල ඇතැම් පහරදීම් වලදී නාගරික කම්කරු සහාය නොලැබීම හේතුවෙන් ඔවුන්ට බරපතල හානි ගෙන දුන්නේය.

යටත් වීම ප්‍රතික්ෂේප කරමින් ඇන්ඩීස් කඳු වැටියටත් ඇමසන් වනය අවටත් කණ්ඩායම් ලෙස පලා ගොස් තවමත් ජීවත්වන ෂයිනිං පාත් කුඩා ගරිල්ලා කණ්ඩායම් වලට තම නියමුවාගේ වියෝව දරාගත නොහැකි කම්පනයකි. එහෙත් ඔවුන්ගේ අරමුණු සම්පූර්ණයෙන් සිඳීගොස් නැත්තේය. වර්ථමානයේද ඔවුන් බොහෝ දෙනකු අත අබිමාල් සිරගතව සිටිද්දී ලියූ කෘතියක් තිබේ. රහසිගතව සිර ගෙයින් පිට කරන ලද ඒ අත් පිටපත දැන් මුද්‍රණය වී පේරු ජන සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇතිකරමින් අතින් අතට යයි. එම කෘතිය තහනම් කරන බවත් එය බෙදා හරින අය ත්‍රස්තවාදීන්ට උදව් දෙන්නන් හැටියට සලකමින් දඬුවම් කරන බව පසු ගිය ජුනි මාසයේ බලයට පත් ජනාධිපති Pedro Castillo ට පෙර පැවති රජය විසින් නිවේදනය කර තිබිණ.

එහෙත් නොනැවතී හමායන සැඩ සුළඟ අල්ලා නවතන්නට තරම් සමතෙකු වේද?
සහෝදර අභිමාල් ගුස්මාන් හෙවත් සභාපති ගොන්සාලෝට විප්ලවීය ආචාරය!!!

ගාමිණී මුතුකුමාරණ

 

leave a reply