බන්ධනාගාරගතව සිටින අරගලකරුවන් බැලීමට මානව හිමිකම් කොමිසමට ඉඩ නොදෙයි

දැනට බන්ධනාගාරගතව සිටින අරගලකරුවන් බැලීමට මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට අවස්ථාව ලබා දී නොමැති බව වාර්තා වේ.

පොලිසිය විසින් පැහැරගෙන ගොස් පසුව අත්අඩංගුවට ගනු ලැබ රිමාන්ඩ් කර සිටින නිදහස් මාධ්‍යවේදී සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරිකයකු වන වෙරංග පුෂ්පික බැලීමට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ගිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන්ට ඒ සඳහා අවස්ථාව ලබා දී තිබුණේ නැත.

එසේම කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි පැතුම් කර්නර් හමුවීමට ගිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට බන්ධනාගාර නිලධාරීන් අවස්ථාව ලබා නොදීම වැරදි පූර්වාදර්ශයක් බවත්, එය ව්‍යවස්ථාපිත බලයට අභියෝග කිරීමක් බවත් නීතිඥ තිෂ්‍ය වේරගොඩ අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණි. මෙම ප්‍රකාශය සිදුවුවේ පැතුම් කර්නර් සම්බන්ධ නඩුව අද අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදියි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයකු සහ විමර්ශන නිලධාරියකු ඊයේ (3) වෙරංග සම්බන්ධයෙන් සොයා බැලීමට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ගොස් ඇති අතර ඔහුට පොලිසියෙන් වූ වධ හිංසා ගැන තොරතුරු ලබා ගැනීම අරමුණ වී තිබේ. කෙසේ වෙතත් බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ඔහු හමුවීමට අවස්ථාව දිය නොහැකි බවයි.

කොළඹ කොටුවේ පැවැති විරෝධතාවකින් පසු ගුරු මැදුර ශාලාවට යෑම සඳහා වෙරංග පුෂ්පික බස් රථයට නැග සිටියදී සාමාන්‍ය ඇඳුමෙන් පැමිණි පොලිසියේ යැයි කියාගන්නා පිරිසක් වෙරංග පැහැරගෙන ගොස් තිබිණි. නීතිඥයන් සහ සිවිල් ක්‍රියාකාරීන් ඔහු ගැන සොයා බැලීමට පොලිසිය කිහිපයකට ගියද තොරතුරක් නොලැබිණි. පසුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මැදිහත්වී පොලිසියෙන් විමසද්දී ප්‍රකාශ කර තිබුණේ කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බවයි. කෙසේ වෙතත් එම කොට්ඨාසයට මානව හිමිකම් නිලධාරීන් සහ නීතිඥවරුන් යද්දී වෙරංග එහි සිටියේ නැත.

වෙරංග පොලිසි කිහිපයකට රැගෙන ගොස් පසුදින නීතිඥ නියෝජනයද අවහිර කර කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබුණි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 11 ඩී සහ 28.2 යටතේ ඕනෑම ස්ථානයක රඳවාගෙන සිටින පුද්ගලයකු බැලීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට බලයක් ඇති බවත්, එය වැලැක්වීම වැරදි පූර්වාදර්ශයක් බවත් අද පැතුම් කර්නර් සම්බන්ධ නඩුවේදී ප්‍රකාශ විය.

Share post:

Popular

වෙනත් පුවත්

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...

ඔක්තෝබර් 30 ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් 

ඔක්තෝබර් 30වන දා ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්...

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...

කම්කරු නීති සංශෝධනය ළඟ ළගම එනවලු

වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය පැමිණ...