Breaking News

මැති ඇමතිවරුන්ට අල්ලස් පනතෙන් නඩු පවරන්න බැහැ – විමල් වීරවංශගේ නීතිඥයන්

අල්ලස් පනත යටතේ චෝදනාවක් ඉදිරිපත් කළ හැක්කේ රාජ්‍ය නිලධාරීන්ට පමණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා අමාත්‍යවරුන්ට එම පනත අදාළ නොවන බැවින් විමල් වීරවංශට එරෙහිව ගොනුකර ඇති අල්ලස් චෝදනා නඩුව පවත්වාගෙන යා නොහැකි බවට හිටපු ඇමතිවරයා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් අධිකරණයේදී පවසා තිබේ.

නීතිඥවරු විසින් ඊයේ (26) කොළඹ මහාධිකරණය හමුවේ මෙම විරෝධතාවය මතුකරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස රුපියල් මිලියන 75කට අධික වත්කම් හා මුදල් උපයාගත්තේ යැයි හිටපු අමාත්‍ය වීරවංශට එල්ල වී ඇති චෝදනාවට අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව සම්බන්ධයෙනුයි.

තම සේවාදායකයා “රාජ්‍ය නිලධාරියා” යන ඝනයට ඇතුළු නොවන හෙයින් ඔහුට එරෙහිව මෙම චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවත් එය ප්‍රතික්ෂේප කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

2010 වසරේ ජනවාරි මස 01 වනදා සහ 2014 වසරේ දෙසැම්බර් මස 31 වනදා අතර කාලසීමාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් හා මුදල් අයථා ලෙස උපයාගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට විමල් වීරවංශට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

leave a reply