Day: November 28, 2021

  • ඉබ්බත් මගදි ළය පැලි මියැදිලා තිබුණා..!

    ඉබ්බත් මගදි ළය පැලි මියැදිලා තිබුණා..!

    ඉරි තැළිච්ච කේඩෑරි වෙච්චි
    නෙළුම් මානෙල් පිළිකන්න
    පියස්සෙන් රූටන දිය බිඳිති කැන්දං
    බොර සීතලෙන් පුරවයි තාලයට !

    හුස්ම අදිනා කුඩමසු රෑන
    අරගෙන මඩෙන් දිය මත
    රැය දෙක තුනක් ගෙවෙනා තැන
    කොමළ පෙන්වයි නෙළුම් කුමරිය !

    කළහා නවතා තුරල් වි වැසි
    පුර හඳක් පායන දින
    සුදු රෙද්ද පොරවා සුළං දැක
    නැටුම් නැටුවයි හීන් කෙකටිය !

    කිසිත් නොකියා බලා උන්නට
    තපස් රකිනා කණ කොක්කු රැළ
    හෙට උදේ දඩයමක විස්තර
    සකස් කරවයි හෙමින් රෑ මැද !

    විසල් සයුරක් සෙයින් දිස්වන
    අලුත ඉතිරුණු වැව්දිය
    අතර පැහැබර රැයක ගිල්වා
    ගත්තා තරුණෙකු මරණෙට !

    මදුවිතෙන් මත් වෙලා යහමෙට
    අඩියට දෙකට ගෙදර යන්නට ආවයි
    පවුලකම බර පැත්තකින් තියලා
    ළමයින්ගෙ තාත්තා එදා රෑ ගෙදර නාවයි !

    නෙළුම් කෙකටිය මාළු කොක් රැළ
    මේ දැක සැනින් නින්දට වැටුණයි
    හෙට උදේ මරණයක ඔත්තුව
    කියන්නට දැං එන්නෙ කවුදැයි !

    ළමයි ඇහැරා විත්තිය කියන්නට
    ඒ රෑම ඉබ්බෙක් පිටත් වූ බව කිව්වා
    උගෙම දරුවගෙ අතීත මළගම මතක් වි
    ඉබ්බත් මගදි ළය පැලි මියැදිලා තිබුණා..!

  • නිදහස් මාධ්‍යවේදී විශ්වලිංගම්ට පහරදීම සම්බන්ධ විමර්ශනයක් පැවැත්විය යුතුයි

    නිදහස් මාධ්‍යවේදී විශ්වලිංගම්ට පහරදීම සම්බන්ධ විමර්ශනයක් පැවැත්විය යුතුයි

    2009දී යුද්ධයේ අවසන් ලේ වැගිරීම් සිදු වූ ස්ථානයේ සේයා රූ ගැනීමට ගිය මුලතිවුහි දෙමළ මාධ්‍යවේදී විස්වලිංගම් විස්වචන්ද්‍රන්ට නම්බර් මාසේ 27 වැනිදා ඊයේ දිනයේ උදෑසන, ශ්‍රී ලංකා යුද හමුදා භටයන් විසින් පහරදීම හේතුවෙන් රෝහල්ගත කර තිබුණා. මාධ්‍යවේදියාට පහර දී තිබුණේ  කටු කම්බියක් ඔතා තිබුණු තල්  පිත්තකිනි .

    නිදහස් මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රම්ට යුද හමුදා සාමාජිකයින් පිරිසක් සිදු කළ බව කියන පහරදීමට එරෙහිව මුලතිව් නගරයේදී අද (නොවැම්බර් 28) විරෝධතාවයක් පැවැත්විණ.පහරදීම ගැන සාධාරණ පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා සිවිල් සංවිධාන නියෝජිතයන්, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් එම විරෝධතාවයට සහභාගී වූහ.

    මුලතිව් පොලීසිය පවසන්නේ මෙම සිදුවීම ගැන විමර්ශනයක් සිදු කරන බවයි.

  • ගෑස් ටැංකි පිපිරීමට හේතුව

    ගෑස් ටැංකි පිපිරීමට හේතුව

    මෑත කාලයේ ගෑස් කාන්දු නිසා සිදුවන පිපිරීම් ගැන අසන්නට ලැබෙන්නේ ගෑස් සිලින්ඩරවල වායු සංයුතියේ වෙනස්කම් සිදුකර ඇති නිසා බවට මත පළවේ.

    විශේෂඥයන් පවසන්නේ ප්‍රොපේන් 30% ක් පමණ සහ බ්‍යුටේන් 70% ක් වශයෙන් පැවති ශ්‍රී ලංකාවේ LP ගෑස් සිලින්ඩරයක සංයුතිය ප්‍රොපේන් 50% ක් සහ බ්‍යුටේන් 50% ක් ලෙස වෙනස් කර ඇති බවය.

    මේ අනුව සිලින්ඩරය ශක්තිමත් වුවද ගෑස් සංයුතිය වෙනස් වුවහොත් ගෑස් පිටතට පැමිණිය හැකි බව ස්වභාවික වායු සහ ඛනිජ තෙල් ගවේෂණ ඉංජිනේරු නිමල් ද සිල්වා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ ප්‍රොපේන් පීඩනය බ්‍යුටෙන් පීඩනය මෙන් 4 ගුණයක් බවය.

    දෙරණ රූපවාහිනී නාලිකාව සමඟ පැවැත්වූ වැඩසටහනක අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ,

    “ගෑස් පුරවලා ගේන සිලින්ඩරය ගොඩක් ශක්තිමත්. හැබැයි සිලින්ඩරයට හයිකරන වෑල්ව් එකයි, වෑල්ව් එකට උඩින් හයිකරන රෙගියුලේටර් එකයි කොයි විදියට ඩිසයින් කරලා තියෙනවාද කියලා අපි බලන්න ඕනේ. දැන් සිලින්ඩර් එකේ වෑල්ව් එක ඩිසයින් කරලා තියෙන්නේ ප්‍රෝපේන් 30%යි, බියුටේන් 70%ටනම්, ඒකට අපි ප්‍රෝපේන් වැඩිය දැම්මොත් ඒ වෑල්ව් එකට ඔරොත්තු දෙන්නේ නැතුව යන්න පුළුවන්. බියුටේන්වල පීඩනය අඩුයි. හැබැයි, ප්‍රෝපේන්වල පීඩනය බියුටේන්වල වගේ හතරගුණයක් වෙනවා. ඉතින් ඒ පීඩනයට මේ වැල්ව් එක ඔරොත්තු දෙනවාද? ඊළගට රෙගියුලේටර් එක. මේවා චෙක් කරන්න තියෙන ආයතන ප්‍රමිතිය හදලා තියෙනවා කියලා කියනවා. හැබැයි ඒවා ක්‍රියාත්මක කරනවාද? මම දැක්කා මේ මෑතකදි සිලින්ඩරයෙන්ම ගෑස් ලීක් වෙනවා. එතන වැරැද්ද තියෙන්නේ වෑල්ව් එකේ නේද? එතකොට අපි ඒ ගැන බලන්න ඕනේ. අපි බලන්න ඕනේ ඇයි වෑල්ව් එකෙන් ගෑස් ලීක් වෙන්නේ කියලා? පීඩනයේ තමයි මෙතන ප්‍රශ්ණය තියෙන්නේ. පීඩනය වෙනස් වෙන්නේ, සංයුතිය වෙනස් වුනොත් විතරයි“

  • රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නවා – දේශීය හා ආර්යුවේද වෛද්‍යවරු අවධාරණය කරති

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නවා – දේශීය හා ආර්යුවේද වෛද්‍යවරු අවධාරණය කරති

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දේශීය හා ආර්යුවේද වෛද්‍යවරුන් විසින් පවත්වන, දේශීය වෛද්‍ය සායනවලට අකුල් හෙලමින් සිටින බවත්, ජනතාවට වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීමේ අයිතිය අහිමි කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ගෙන යනු ලබන ක‍්‍රියාමාර්ගවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවටත් දේශීය හා ආර්යුවේද වෛද්‍යවරුන්ගේ ස්වාධීන එකමුතුව අවධාරණය කරයි.

    කොවිඩ් එන්නත ලබාගැනීමෙන් පසුව ඇතිවන අතුරු ආබාධ සදහා ආර්යුවේද හා හෙළ වෙදකම් තුළින් සාර්ථක ප‍්‍රතිඵල අත්කරගැනීමට හැකියාව ඇති බවත්, එසේ අතුරු ආබාධ ඇති පුද්ගලයින් සදහා කොවිඩ් මරණ වැලැක්වීමේ එකමුතුව සමග එක්ව පැවැත්වූ සායනවලට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් බාධා පමුණවමින් සිටින බවත් දේශීය හා ආර්යුවේද වෛද්‍යවරුන්ගේ ස්වාධීන එකමුතුවේ කැදවුම්කරු සුමුදු ලියනාරච්චි අලුත්වලදී අද (28* පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී අවධාරණය කළාය.

    දේශීයත්වයට තැන ලබාදිය යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ප‍්‍රසිද්ධ මාධ්‍යයට පැමිණ අදහස් දැක්වුවත් දේශීය හා ආර්යුවේද වෛද්‍ය ප‍්‍රතිකාර සදහා බාධා පමුණවමින් කටයුතු කරන ආකාරයෙන් ඔහුගේ දෙබිඩි ප‍්‍රතිපත්තිය හෙළිදරව් වන බවද වෛද්‍ය සුමුදු ලියනාරච්චි සදහන් කළාය.

    රජයේ ලියාපදිංචි දේශීය හා ආර්යුවේද වෛද්‍යවරුන්ට රෝගීන්ට ප‍්‍රතිකාර ලබාදීමේ අවස්ථාව වැලැක්වීමට වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ප‍්‍රමුඛ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කරමින් සිටින්නේ හෙළ වෙදකම මේ රටින් තුරන් කිරීමේ අවශ්‍යතාවයක් ඔහු ඇතුළු කණ්ඩායමට තිබෙන නිසාදැයි ඇය ප‍්‍රශ්ණ කළාය. දේශීය වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීමට රටේ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට කිසිදු හැකියාවක් නොමැති බවත් එසේ කටයුතු කරන්නේ නම් ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කිරීමට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද වෛද්‍ය සුමුදු ලියනාරච්චි පැවසුවාය.

    අම්පාර ප‍්‍රදේශයේදී පසුගිය සතියේදී පැවති දේශීය වෛද්‍ය සායනයකට එරෙහිව වාරණ නියෝගයක් ලබාගැනීමට බටහිර වෛද්‍යවරුන් කණ්ඩායමක් කටයුතු කර තිබූ බව සිහිපත් කළ වෛද්‍ය සුමුදු ලියනාරච්චි දේශීය වෛද්‍යවරුන්ට එරෙහිව කුමන්ත‍්‍රණයක් සිදුවන්නේදැයි යන්න ගැන අවධානය යොමු කළ යුතු බවද කීවාය.

    කොවිඩ් එන්නත ලබාගැනීමෙන් පසුව අතුරු ආබාධ ඇතිවූ අවස්ථාවන් දහස් ගණනක් පිළිබද තොරතුරු තමන් සතුව පවතින බවද ඒ නිසා අතුරු ආබාධ ඇති පුද්ගයින් සදහා වන දේශීය වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීමට කටයුතු කරමින් සිටින බවද ඇය සදහන් කළාය. පාර්මිපරික වෛද්‍ය දැනුම අනුව බිහිවූ දේශිය වෛද්‍ය ක‍්‍රමයක්, ආර්යුවේද වෛද්‍ය ක‍්‍රමයත් ලෝකයේ පිළිගත් වෛද්‍ය ක‍්‍රමයක් බව බටහිර වෛද්‍යවරුන් අමතක නොකළ යුතු බවත්, බටහිර වෛද්‍ය ක‍්‍රමය බිහිවීමට වසර දහස් ගණනකට පෙර මෙම වෛද්‍ය ක‍්‍රමය ලෝකයේ ක‍්‍රියාත්මක වී තිබූ බවද වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සුමුදු ලියනාරච්චි සදහන් කළාය.