Breaking News

මේ නරුමයා මුහුණු ආවරණද කොල්ල කති .

Russell CP Bandarawatta

ලෝකයම කොල්ලකමින් ශබ්දයේ වේගයට වඩා වේගයෙන් කක්ෂගත කරන බැලැස්ටික් මිසයිල නිපදවූ ඇමරිකාව ,මේ මොහොත වන විට එරට ජනතාව දැවැන්ත වසංගතයක් ඉදිරියේ දී මුහුණු ආවරණයක් හෝ නොමැතිව ඉතිහාසයේ කුප්‍රකටම ජනපතිවරයෙකු යටතේ විකල්වූ රාජ්‍යයක් බවට පත්කර ඇත. ලෝකයේ සෑම මිනිසෙකුටම ජීවත්වීමේ අයිතිය ඇති බවට පොත් වල පිටු ගනන් ලියවී ඇති මොහොතක ඒ අයිතිය ලෝකයේ සතුව ඇත්තේ එක රටක එක ජාතියකට බව ට්‍රම්ප් නැමති අමානුෂික පාලකයා මේ වනවිට තම මිතුරන්ට මෙන්ම සතුරන්ටද පෙන්වාදී ඇත. මේ එම කුප්‍රකට කතාවේ ශාරාංශයයි.

ලෝක පොලිස්කාරයාගේ ගර්හිත චරිතයට පන පෙවූ යැංකි උන්මාදය තමන්ට අවනත නොවූ රාජ්‍යයන් හපකර දැමූ අතර ඒ වෙනුවෙන් ට්‍රිලියන ගණන් ඩොලර් මළු මිලිටරිකරණයට මිඩංගු කළේය. පෘථිවිය පමණක් නොව විශ්වයම වුවද කොල්ලකා තම අණසක පතුරවාලීමට පමණක් සියළු ප්‍රයත්නයන් දියත් කල ඇමරිකාව, අද දවස වන විට ලොව ප්‍රබලම රාජ්‍යය ලෙස නැගූ බොල් හඬ ලොව ඉදිරියේ නිරුවත් වෙමින් පවතී. ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි උන්මන්තක පාලකයෙකු යටතේ ඇමරිකාව ඔත්පල කරමින් හමා යන කොවිඩ් 19 වෛරසයෙන් කෙසේ ගැලවිය හැකිද යන්න උභතෝකෝටික ප්‍රශ්ණයක් බවට හැරී ඇත. හඳ පමණක් නොව අඟහරුද තරණය කල ඇමරිකානුවන් තම රටට අවශ්‍ය මිනිසුන් ජීවත් කරලීමේ මෙවලම් තනා නැත. අවම තරමින් රටට ප්‍රමාණවත් මුහුණු ආවරණ හෝ දැඩි සත්කාර ඒකකයකට අවැසි වෙන්ටිලේටර් හෝ නිපදවා නැත.

ලෝක වසංගතයකට මුහුණ දෙන ඩොනල්ඩ් ට්‍රම්ප් සුපුරුදු චන්ඩි බලය රෝගය ආසාදනය වීමෙන් වලකන මුහුණු ආවරණ පවා කොල්ලකෑමට යොදවා ඇති බව ප්‍රංශය චෝදනා කළේය. දිනකට දහසකට වඩා මියයාමට පටන් ගත් ප්‍රංශයේ සෞඛ්‍ය බලධාරීන් විසින් චීනයෙන් ඇණවුම් කරන ලද මුහුණු ආවරණ තොගය වැඩි මිළකට ලංසුව තබා සැංහයි ගුවන් තොටුපළේ නවතා තිබූ කාගෝ ගුවන් යානා ඇමරිකාවට පියාසර කරවීය. එමෙන්ම තුර්කිය විසින් නිපදවන ලද මුහුණු ආවරණ එරටට පනවා ඇති අපනයන සම්බාධක මුල් කර ගනිමින් වෙනත් රටකට විකිණීම තහනම් කල අතර ඉතාලියේ දහස් ගණනක් මියයන විට එරට අගමැතිවරයාගේ ඉල්ලීමට එකඟවූ තුර්කිය විසින් සම්බාධක නොතකා ලබා දීමට එකඟ වූ මුහුණු ආවරන තොගයද ඉතාලියට අහිමි වූ අතර එයද මේ වනවිට ඇමරිකාව ලබා ගෙන ඇත. ට්‍රම්ප් ගේ තවත් අමානුෂිකත්වය විදහා පෑ අවස්ථාවක් වන්නේ දහස් ගණන් ඉරාන වැසියන් කොවිඩ් 19 වසංගතයට ගොදුරව රෝහල් ගත කරනවිට හෝ එරටට පනවා තිබූ වෛද්‍ය උපකරණ ආනයන බාධා ඉවත් නොකිරීමයි. එසේ නොවන්නට එරට මෙතරම් හානියක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවා පිළිගෙන ඇත.

ලිබියාව ඉරාකය සිරියාව වැනි රටවල් පොඩි පට්ටම් කරනවිට ඇමරිකාව සමග එකාමෙන් ප්‍රහාරක යානා අහස් කුසට යැවූ ඉතාලිය ප්‍රංශය ජර්මනිය මෙන්ම කැනඩාවටද මේ වන විට ඇමරිකාව තම පාදඩ දේශපාලනයේ නිරුවත පෙන්වා ඇත. තම අසල්වැසි කැනඩාවේ වෛරසය පැතිර යද්දී එරටට කිසිදු වෛද්‍ය උපකරණයක් හෝ ඖෂධ අපනයනය නොකරන ලෙස ඇමරිකානු නිෂ්පාධකයින්ට ට්‍රම්ප් විසින් තහංචි පනවන ලදී.

බ්‍රසීල සෞඛ්‍ය ඇමතිවරයා වන Luiz Henrique Mandetta විසින් චීනයෙන් ඇණවුම් කල මුහුණු ආවරණ තොගයද අනපේක්ෂිත අවස්ථාවේ ප්‍රතික්ෂේප වී ඇත. ඇමරිකානු කාගෝ ගුවන් යානා 23 කින් තම රටට අවශ්‍ය වෛද්‍ය උපකරණ හා මුහුණු ආවරණ රැගෙන ගිය බව චීනය පවසා ඇත. ඉන් අණතුරුව බ්‍රසීල ජනතාව ඇමතූ එරට සෞඛ්‍ය ඇමතිවරයා පවසා සිටියේ රටේ සාමාන්‍ය ජනතාව රෙදි කැබැල්ලකින් මුහුණු ආවරන සකසා ප්‍රමිතියෙන් යුතු සර්ජිකල් මුහුණු ආවරණ රෝහල් කාර්‍ය් මංඩලයට සපයා දීමට සහය වන ලෙසයි.

ලොව විශාලතම මුහුණු ආවරණ නිෂ්පාධකයා වන චීනය විසින් යුරෝපයට මිලියන ගනනක මුහුණු ආවරණ පරිත්‍යාග කල අතර චෙක් ජනරජයේ සිට ඉතාලිය කරා රැගෙන යාමට තිබූ මුහුණු ආවරණ තොගයද ප්‍රාග් ගුවන්තොටු පල තුලම අස්ථාන ගතවී ඇත. එහි චෝදනාවද එල්ල වන්නේ ඇමරිකාවටය.

කෙන්යාවේ නයිරෝබි සිට ජර්මනිය බලා පිටත් කර හැරීමට නියමිතව තිබූ මුහුණු ආවරණ මිලියන හයක ප්‍රමාණයද අස්ථාන ගතවී ඇති බව හෙළිවිය. ජර්මනියේ ලක්ෂයකට වඩා මේ වනවිට ආසාදිතයින් හමුවී ඇති දුෂ්කරම මොහොතේ එය සිදුවී ඇත.

කියුබාවේ මේ මොහොත වනවිට ආසාදිතයින් 350 කට අධිකව සිටින අතර එරට වෛද්‍යවරු 500 කට වඩා ඉතාලිය මෙන්ම වෙනිසියුලාව ඇතුළු දකුණු ඇමරිකානු රටවල කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කටයුතු වල නිරත වේ. රුසියානු වෛද්‍යවරු සිය ගනනක් ඉතාල්ය තුල සේවයේ යෙදෙන්නේ තම රට තුල ආසාදිතයින් 6,343 ක් සිටියදීය. ජර්මනිය අසල්වැසි ඉතාලිය හා ස්පාඤ්ඤයෙන් අසාධ්‍ය තත්වයෙන් යූතු රෝගීන් ගුවන් මගින් රැගෙන විත් ප්‍රතිකාර කරන්නේ තම රට තුල ආසාදිතයින් 103,374 සිටියදීය.
Russell CP Bandarawatta

leave a reply