දේශබන්දු තෙන්නකෝන් මහතා ව්‍යවස්ථා විරෝධීව පොලිස්පති ලෙස පත්කිරීම සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) අවසර ලබා දුන්නා.
රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ජනාධිපති ධුරයෙන් නික්ම ගොස් ඇති හෙයින් ඔහුගේ මුක්තිය ඉවත්වී ඇති නිසා ඔහු නමින්ම වගඋත්තරකරුවකු කිරීමට අවසර දෙන ලෙස අද මෝසමක් මඟින් මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව කරුණු සලකා බැලූ ප්‍රීති පද්මන් සූරසේන සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල රනිල් වික්‍රමසිංහ මහතා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමට අවසර ලබාදීමට නියෝග කළා.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත් කිරීම ව්‍යවස්ථා විරෝධී බව කියමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙම පෙත්සම ගොනු කර තිබුණා.
මීට පෙර මෙම පෙත්සම තවත් පෙත්සම් හතක් සමග කැඳවූ අවස්ථාවේදී දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම තාවකාලිකව නතර කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළා.
එසේම ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයාත්, කතානායකත්, දේශබන්දු තෙන්නකෝන් මහතාත් මූලික අයිතිවාසිකම් කඩ කර ඇත්දැයි සොයා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුණා.
ඒ අනුව මේ වන විට මෙම තීරණය ගත් ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් නික්ම ගොස් ඇති හෙයින් ඔහුගේ මුක්තිය අවසන් බවත්, ඒ අනුව වික්‍රමසිංහ මහතා නමින් වගඋත්තරකරුවකු කිරීමට හැකියාව ඇති බවත් අද කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කළා.
හියුමන්ට් රයිට්ස් ලෝ චේම්බර්ස් වෙනුවෙන් නීතිඥ මනුෂිකා කුරේ මහත්මිය මාර්ගයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ඇති අතර නීතිඥ මනුජය ද සිල්වා මහතා සමග ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අද පෙනී සිට පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු දක්වනු ලැබුවා.
whatnews