Breaking News

පැහැනද පහන් කාව්‍ය සංග්‍රහය – විස්මිත අත්හදා බැලීම් තුනක් පිළිබඳ විමසීමක්

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

සුනන්ද කරුණාරත්න කවියා විසින් සිය තෙවෙනි කාව්‍ය සංග්‍රහය ලෙස පළ කරනු ලැබ ඇති “පැහැනද පහන්” කාව්‍ය සංග්‍රහය භුක්තිවිඳීමෙන් අනතුරුව ඔහු තම කවියෙහිලා සිදු කර ඇති විස්මිත අත්හදා බැලීම් කිහිපයක් පිළිබඳ අපගේ අවධානය යොමු විය යුතු බව සිතුණි.ඒවා සිංහල කවියේ අන්තර්ගතමය හා ස්වරූපමය දිදුළීම වෙනුවෙන් දායක වන අන්දම පිළිබඳ හැකි අයුරින් ලියා තැබීමට මේ උත්සාහ දරනුයේ එබැවිනි;එනයින් ලියමි.
මේ සාකච්ඡාව සඳහා මා මූලික වශයෙන් තෝරා ගන්නේ ඔහුගේ කාව්‍ය නිර්මාණ තුනකි.ඒවා පහත පරිදි ය.

01.පිය – පුතු
02.පැරණි සේයාරුවක්
03.ප්‍රොෆයිල්

දැන් අපි මේ එක් එක් කවිය වෙන වෙන ම ගෙන විමසුමට බඳුන් කරමු.

01.පිය – පුතු
අන්තර්ගතමය වශයෙන් විශේෂයෙන් ම තේමාත්මක වශයෙන් නූතන සිංහල කවියා සංකීර්ණ මානව සබඳතා පරීක්ෂාවෙන් බොහෝ දුරට දුරස්ථ වෙමින් සිටී;නොහොත් එබඳු ස්ථාන සිතාමතා ම මඟහැර “පහසු” ජනප්‍රියත්වයක් උදෙසා අතිසරලකරණයට බඳුන් කරමින් සිටී.

මව – පුතු,ගැහැනු – පිරිමි,මහ ජාතිකයා – සුළු ජාතිකයා,ප්‍රභූ – නිර්ප්‍රභූ ආදී වශයෙන් සංකීර්ණ මානව සබඳතා ගොඩනැඟන ක්ෂේත්‍ර රොමෑන්තිකකරණයෙන් ඔබ්බට ගෙන යෑම සිංහල කවියේ අන්තර්ගතමය පොහොසත් භාවයට අත්‍යවශ්‍ය කරුණකි.

ඒ අතින් නූතන සිංහල කවියා අත අතිසරළකරණයට බඳුන් වී ඇති තවත් එබඳු මානව බන්ධූත්වයක් වන පිය – පුතු සම්බන්ධය පිළිබඳ බරපතළ සහෘද භාවයක් ඉල්ලා සිටින රචනයක් ලෙස සුනන්දගේ මේ කව හැඳින්විය හැකිය.
මෙහි සාහිත්‍යාත්මකය බෙහෙවින් රැඳී තිබෙන්නේ ලිවීමටත් වඩා නො ලියා සිටීමෙහි ය.එනම් පිය – පුතු යනුවෙන් සිරස යොදන ඔහු සිංහල සහෘදයාගේ ඓතිහාසික විඤ්ඤාණය තුළ සහෘදයාට හොඳින් මතක ඇති පිය – පුතු ගැටුමක් වන සිංහයා – සිංහබාහු අතර ගැටීම සිහිපත් කර දෙයි. නමුත් ඒ පිළිබඳ කවිය තුළ කිසිවක් සඳහන් නො කරයි.ඒ වෙනුවට කවියා සිදු කරනුයේ දුනු කඩු කිසිත් නැති “චෙස් ගැටුමක්” ඉදිරියට සහෘදයා පැමිණවීම ය.එමඟින් කවියා නාගරික මධ්‍යම පන්තිය තුළින් පරම්පරා ගැටුම ප්‍රකාශයට පත් වන ආකාරයේ ඇති
“වෙනස් බව” සහෘදයා වෙතට ගෙන එයි.

සිංහයා සහ සිංහබාහු අතර ඇති වූ ගැටුම මෙන් මෙය ඍජු හා ප්‍රකාශිත නැත.එය ගෘහස්ථ ක්‍රීඩාවක් තුළින් ව්‍යංගික ලෙසත් අප්‍රකාශිත ලෙසත් විද්‍යමාන කිරීම මඟින් කවියා මධ්‍යම පාන්තික රහස්‍ය බව ස්පර්ශ කිරීමට සමත් වේ.එම ගැටුම සිදු වන්නේ ජේත්තුකාර සම්භාවනීය විලාසයකිනි.ආයුධ පවා පෙර මෙන් තියුණු ඒවා නො වේ.කිසිවකුගේ ජීවිතයක් විනාශ වී යන්නේ ද නැත.

කවියා තම කවියේ ආකෘතිය තනා ගන්නේ චෙස් ක්‍රීඩාව ඇසුරින් ම ය.එය අපූර්ව භාෂාත්මක සරඹයකි.චෙස් ක්‍රීඩාවෙහි දී මෙන් ම භාෂාවෙහි ද ඇදීමට ඉත්තන් ඇත.එහෙත් විශේෂත්වය වන්නේ කවියාට ප්‍රතිවාදියෙකු නො සිටීම ය.එනයින් කවියා අප කිසිවිටෙක අපේක්ෂා නො කළ ඉත්තෙකු අදී.

” ‘අන්තිමේ පරාදයි තාත්තා’
නඟා හේ මහත් ජය ගොස
දිවී දන්වනු පිණිස මවට
රැගෙන සිය ජය සමර ලෙස
ඌ දිනා ගත් මගේ රැජින!”

– පිටු.31
මෙතෙක් කවියෙහි කිසිතැනෙක නො සිටි මවගේ චරිතය කවිය වෙත කැඳවමින් “ඌ දිනා ගත් මගේ රැජින” පිළිබඳ ගැඹුරු අන්තර්දෘෂ්ටියක් නිපදවීමට කවියා සමත් වේ.නාගරික මධ්‍යම පාන්තික ගෘහස්ථ ක්‍රීඩාවක තිබෙන සංවර බවට පිටුපසින් සැබැවින් ම එම සබඳතාවන්ගේ පවතින අශිෂ්ටත්‍වය හා අසංස්කෘතිකත්වය “ඌ දිනා ගත් මගේ රැජින” යන යෙදුමින් ම නිරූපණය කිරීමට කවියා සමත් වේ.පියාගේ භූමිකාවේ බිඳ වැටීම,මව ලුහුබඳින පුත්‍රයන්ගේ අර්බුදය ආදී සමකාලීන ජීවිතයට අදාළ එබඳු බරපතළ ප්‍රධාන ප්‍රශ්න ඇසීමට මේ කවිය සිදු කරන බලපෑම පමණක් වුව ද මේ කව අනුස්මරණීය රචනයක් ලෙස භැඳින්වීමට හේතුවක් වන්නේය.මොට ආයුධවලින් වුව ද සටන සිදු වී ඇත්තේ පැරණි ඉලක්ක වෙනුවෙන් ම නම්(මව/රැජින) එය ප්‍රශ්න කිරීම කවියෙකු මඟ නො හැරිය යුතු සංස්කෘතිකමය කාර්යභාරයකි.

02.පැරණි සේයාරුවක්
මෙබඳු කවි බොහෝ විට නතර වනුයේ අතීත ප්‍රේම ස්මරණයන් අත්‍යුත්කෘෂ්ටත්වයට නැඟීමෙනි.අතීත ප්‍රේමයේ සෞන්දර්ය සිහි කිරීම කිසිදු ඵලක් නැති කටයුත්තක් බව මින් අදහස් නො වේ.එසේ සිතිය හැකි වන්නේ ඒ පිළිබඳ හුදු උපයෝගීතාවාදී දැක්මක් සහිත පුද්ගලයෙකුට පමණි.අතීතයේ තමන්ගේ ජීවිතය සෞන්දර්යයෙන් පුරවා ලූ ගැහැනුන් මිනිසුන් පිළිබඳ භක්තිමත් වීම යනු මනුෂ්‍යත්වය සම්බන්ධයෙන් සිදු කරන උපහාරයකි.

එහෙත් කවියෙකු එපමණකින් ම සෑහීමට පත් විය යුතු නැති බව සුනන්ද ඉහත නම සඳහන් කවියෙන් අපට යෝජනා කරයි.හෙතෙම අතීතය විසින් අසම්මත යැයි සැලකූ ප්‍රේම සම්බන්ධයක් පිළිබඳ මතකය අවුස්සන කථකයෙකු භාවිත කරමින් කුටුම්භය පිළිබඳ ගොඩනඟා ඇති සම්මතයෙහි ඇති විකෘත අධිපති ස්වභාවය පිළිබඳ සිය විරෝධය එල්ල කරයි.

ධනේශ්වර කුටුම්භය සහ ප්‍රේමය අතර කිසිදු සම්මුතියක් තවදුරටත් ඉතිරිව නැති බව දැක්වීමට කවියා සිය කව ආරම්භයෙහි දී ම විශිෂ්ට රූපකයක් සොයා ගනී

“මහගෙදර මගෙ පොත් අල්මාරිය
අස්කරන කොට තට්ටුවෙන් තට්ටුව
එංගල්ස්ගෙ ‘පවුල’ අස්සෙන්
ෆොටෝ එකක් වැටුණ බිමට”

-පිටු.36
එංගල්ස්ගෙ ‘පවුල’ යනුවෙන් මේ කවියා කෙටි කර දක්වන්නේ ෆෙඩ්රික් එංගල්ස් විසින් රචනා කරන ලද “The Origin of the Family,private property and the State”(පවුල,පෞද්ගලික දේපළ හා රජය ඇති වූ සැටි)නමැති ග්‍රන්ථය යි.එය ධනේශ්වර විවාහයේ හා පවුලේ ව්‍යාජ භාවය පිළිබඳ ඓතිහාසික භෞතිකවාදී මෙන් ම ද්වි – ඝටනාත්මක කියවීමක් සිදු කරන්නකි.තම පැරණි පෙම්වතියගේ(ටොම් බෝයිගේ – පිරිමි ළමයෙකු සේ හැසිරෙන තරුණියගේ) සේයාරුව මෙම “පවුල” අස්සෙන් බිමට වැටීම ලෙහෙසි පහසු රූපකයක් නො වන බව වටහා ගත හැක්කේ මෙබඳු ප්‍රවේශයකින් ඊට ඇතුළු වන විට ය.මෙබඳු නිසරු නීරස “පවුලකින්” බිමට වැටෙනවා හැරෙන්න මේ පැරණි පෙම්වතියගේ සේයාරුවට හිමි විය හැකි වටිනාකමක් මේ ධනේශ්වර පවුල් සංස්ථාව තුළ ඉතිරි වී නොමැත.

ඊට එරෙහිව මෙහි එන කථකයා කිසිදු අරගලයක් සිදු කර නැත.ගමෙන් නගරයට සංක්‍රමණය වී සිය ගොඩේකම, වෙනස් ගතිලක්ෂණ ඇති කෙල්ලෙකුගේ සහයෙන් දුරු කර ගන්නට උත්සාහ දැරූ මෙරට ගොබ්බ වාමවාදියෙකුගේ චරිතයක සංකීර්ණත්වය මේ කථකයා හරහා මතු කර ගැනීමට කවියා සමත් වෙයි.පහත නිදසුන් දෙස බලන්න.

“ඇස් දෙකෙන් ගින්දර විද්ද ටොම් බෝයි
‘ගොඩයා’ කියා ඔච්චම් කළා මට”
“මුලින් ම මම MC ගියේ ඔයා එක්ක
පීසවලට ඔයා ගෙව්ව ම
ලැජ්ජ හිතුණ මට”
“මුලින් ම අපි ඩයෑන්ගෙ තැනට ගිය දවසෙ
‘අද මෙහේ අපට ඉන්න පුළුවන්!’
කියල ඔයා කිව්ව ම
හෙල්ලුණා මුළු බිල්ඩිම ම
මගෙ පපුවෙ ගිඩිගිඩියට”

-පිටු.36-37
තම සබඳතාවය ආරංචි වූ පසු මධ්‍යම පාන්තික කාර්යාලවල හටගත් ගින්න එහි ටෙලිෆෝන් වයර් දිගේ ඇදී ගොස් කථකයාගේ ගැමි මහගෙදර ගිනි තැබූ පසු එල්ල වන ප්‍රතිවිරෝධය පුදුම වීමට තරම් හේතුවක් ද ?නැත.ගැමි මධ්‍යම පාන්තික කුටුම්භයකින් මීට වඩා බලාපොරොත්තු විය හැක්කේ කුමක් ද ?

“අප්පච්චි හැදුවෙ තුවක්කුව අරන්
ඊළඟ සඳුද ම කොළඹ එන්න
ගෝලු අරන් අම්ම යි නැන්දල යි
වැලහින්නියො වගේ පැන්න ඇඟට”

-පිටු.37
අප්පච්ච්ගෙ තුවක්කුවට යි වැලහින්නියන්ට යි බිය වූ මේ කථකයා තම පෙම්වතිය “ඔසී” යවා අන්තිම දවසේ ලබා දුන් හාදුවේ ලුණු රස සිහි කර කර දැන් දවස’රිනුයේ තම බිරිඳගේ තියුණු ඇස් යට තිබෙන නව නිවෙසක ය.මාක්ස්, එංගල්ස් ගමේ මහගෙදර තබා කොළඹ පැමිණි ලංකාවෙ ග්‍රාමීය මධ්‍යම පාන්තික ව්‍යාජ වාමාංශිකයන්ගේ මර්ධිත ආශාව පිළිබඳ ප්‍රබල කියවීමක් මෙහි සංගෘහීත වන බව අප පවසනූයේ මේ හේතුවෙනි.අවශ්‍ය නම් අයෙකුට ගැහැනුන් ඉදිරියේ දිය වී ගිය ලාංකේය වාම ව්‍යාපාරයේ සමස්ත අර්බුදය කියවා ගැනීමට හැකි වන තරමේ රචනයක් ලෙස අපට මෙය නම් කළ හැකිය.

03.ප්‍රොෆයිල්
පසු නූතන ජනප්‍රිය සංස්කෘතියත් වෙළඳපොළවාදී තොරතුරු තාක්ෂණයත් විසින් පුද්ගලයා හෙළා අති අනන්‍යතා අර්බුදයත් පරත්වාරෝපණයත් පිළිබඳ සංවාදය නූතන සිංහල කවියට හසු වී නොමැති තරමේ තේමාත්මකයකි.සුනන්ද ඉහත නම සඳහන් කවෙන් අත තබනුයේ එම පෙදෙසට ය.එය අභියෝගාත්මක තෝරා ගැනීමක් වන්නේ එබැවිනි.

කවියා සහෘදයා ඉදිරියට මෙහි දී ගෙන එනුයේ රියැලිටි වේදිකාවේ සිදු වන සුපිරි තරුව තෝරන තරඟයක අවසාන තරඟකරුවන් අට දෙනාගෙන් එක් තරඟකරුවෙකි.”ඔහු කළු කෙට්ටු කොල්ලෙකි.”නිවේදකයා ඔහු හඳුන්වා දෙන්නේ පහත පරිදි ය.මේ බලන්න:

“දුල්නෙත් මධුසංක
බ්ලූමැන්ඩල්
අවුරුදු 18″

-පිටු.55
මේ ලිපිනය පෙනෙන තරම් සාමාන්‍ය නැති බව පෙන්වා දෙන කවියා බ්ලූමැන්ඩල් යනු ගමක් නො ව කසළ කන්දක් බව සහෘදයාට සිහිපත් කර දෙයි.එහෙත් අර්බුදය ඇත්තේ අනෙක් තරඟකරුවන්ට මෙන් මේ තරඟකරුවාට ගමක් නො තිබීමේ නො වන බව පැවසීමට තරම් කවියා මෙහි දී දෘෂ්ටිමය ලෙස පරිස්සම් වී තිබේ.එසේ නම් අර්බුදය ඇත්තේ කොතනද ?

ඒ වනාහි අන්කිසිවක් නොව තරඟය ජය ගැනීම සඳහා ඔහුට අළෙවි කිරීමට සිදුව ඇත්තේ ද තම පීඩිත පසුබිම ම වීම ය.”කුණු ඇළ අද්දර ලෑලි ගෙයි දොරකඩ සිඟිති සොහොයුරියන් හා බලා ඉන්නා අම්මා”ගේ වීඩියෝ දර්ශන මැද්දෙන් දුල්නෙත් මධුසංකගේ මනාප අංකයට එස්.එම්.එස්. ඉල්ලා සිටින හඬ සහෘදයාට ඇසේ.මේ වනාහි අනන්‍යතා අර්බුදයට සහ පරත්වාරෝපණයට අදාළ පශ්චාත් නූතන පොළා පැනීමකි.

මනුෂ්‍යත්වයේ උදාරත්වයට එරෙහි මෙබඳු වාණිජවාදී අභියෝග ඉදිරියේ කවියා දුල්නෙත් මධුසංක වෙත බරපතළ යෝජනාවක් සිදු කරයි.

“එහෙත් නොදෙවෙනි කොවුල් සර ඇති
තවත් යොවුනන් සත් දෙනෙකු වෙත
ඒ කොවුල් සර ඉක්මවන මෙන
මිහිරි සර පමණක් ම නඟනු මැන
රසික හදවත් වසඟ කරනට
අළෙවි නො කරන් කිසිවිටෙක පුත
‘මම ය කසළින් පැමිණි කොවුලා’
යන නුඹේ අසමාන ප්‍රොෆයිල”

-පිටු.56
ගායකයෙකු සතු විය යුත්තේ කටහඬක් පමණක් නො වන බව පෙන්වා දෙන කවියා ඔහුට ආත්මයකුත් පැවතිය යුතු බව යෝජනා කරන්නේ මෙපරිදි ය.වසඟය වෙනුවට ආදරය වෙනුවෙන් වැඩ කිරීම අපහසු ය.එහෙත් හිඟා කෑමට වඩා දුප්පත්ව සිටීම පහසු ය;අභිමානවත් ය.කවියාගේ යෝජනාවෙහි බර ඔබට වැටහේද ?

සුනන්දගේ මේ අත්හදා බැලීම් තුන මඟින් විශිෂ්ට සහෘදයෙකු වෙත ඓන්ද්‍රජාලිකමය මිහිරක් ලබා දෙන බව අප පවසනුයේ එම මිහිර අත්විඳීමෙන් උපන් ප්‍රබෝධය සහිතව ය.එම ප්‍රබෝධය ඔබ සමඟ බෙදා නො ගෙන නො සිටිය හැකි තරම් තියුණු ය;පැහැනද ය.

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

leave a reply