Day: March 10, 2023

  • ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා රජයට උපදෙස් දෙයි

    ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා රජයට උපදෙස් දෙයි

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, සිය මූලික අරමුණ කරගත් සාර්ව ස්ථායීතාවය පිළිබඳ ඉඟි ආර්ථිකය විසින් ලබාදීමට පටන්ගෙන තිබේ. මින් වඩාත්ම පෙනෙන්නට ඇති තත්වයක් වන්නේ, ඩොලරයට හා අනෙකුත් අන්තර්ජාතික මුදල් ඒකකවලට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යෑම වන අතර, එය පෙර පැවති අවප්‍රමාණය වීමේ ප්‍රවණතාව වෙනසකට ලක්කර ඇති බව පෙන්නුම් කරයි. පසුගිය වසර පුරා ඩොලරයේ පිරිවැය නිල වශයෙන් සියයට 80 කින් පමණ ඉහළ ගිය අතර සහ කළුකඩ වෙළඳපොලේ ඩොලරය අධිප්‍රමාණ වීම ඊටත් වඩා වැඩි විය. වර්තමාන රුපියලේ අගය ඉහළ යෑමට, සංචාරක ව්‍යාපාරයේ වර්ධනය ඇතුළුව විදේශ විනිමය ඉපැයීම් ඉහළ යෑම් හේතු වී තිබේ. එහෙත් රට තවමත් පවතින්නේ ආනයන පාලනයන් ක්‍රියාත්මක සහ බංකොලොත්භාවය ප්‍රකාශ කිරීම හේතුවෙන් විදේශ ණය ආපසු නොගෙවන තත්ත්වයකය.

    බොහෝ ප්‍රමාද වූ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) ණය පහසුකම වන එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9 අවසානයේ ලැබෙනු ඇතැයි රජයේ බලධාරීන් විසින් තහවුරු කිරීම ආර්ථිකය පිලිබඳ විශ්වාසය වැඩි කිරීමක් ලෙස දැකගත හැකිය. මෙය ලෝක බැංකුව සමඟ ඉදිරියේදී සිදුකිරීමට නියමිත ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක මුදල් හුවමාරුවට අමතරවය. මේ සියල්ල ආර්ථිකය පිළිබඳ ධනාත්මක දෘෂ්ටියක දර්ශක වේ. සාර්ව ස්ථායීතාවය නැවත ලබා ගැනීම සඳහා රජයේ ආර්ථික උපාය මාර්ගය, රටේ යහපත සඳහා ක්‍රියාත්මක වන බව එයින් ඇඟවේ. කෙසේ වෙතත්, සාර්ව ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය නම්, රටේ සමස්ත ජනතාවට විශාල වශයෙන් ප්‍රතිලාභ ලැබිය යුතු අතර, එම ප්‍රතිලාභ ආර්ථිකය තුළ සිටින ඉහළ ආදායම් ලබන කොටසේ ඒකාධිකාරී අයිතියක් නොවන බව රජය මතක තබා ගත යුතුය. දේශීය යෙදවුම් සහ එයින් උත්පාදනය කෙරෙන නිෂ්පාදන මත පදනම් වූ තිරසාර ආර්ථික ප්‍රතිසාධන ක්‍රමයක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවක් පවතී. එහෙත් ඒ වෙනුවෙන් වූ සැලැස්මක් මෙතෙක් හෙළිදරව් කර නැත.

    එය සාක්ෂාත් කර ගැනීම සඳහා අවම වශයෙන් යහපත් සමාජයක් සහ ආර්ථික සැලැස්මක් පැවැතිය යුතුව ඇත. පසුගිය සති අන්තයේ මම අවමංගල්‍යයකට සහභාගි වුණෙමි. මිය ගිය පුද්ගලයාගේ පෙනුම අවුරුදු 80කට වඩා වැඩිය. එහෙත් සැබෑ වයස අවුරුදු 63කි. මරණයට හේතුව පිළිකාවකි. එහි තිබූ ඛේදවාචකය වූයේ, පිළිකාව මුලින්ම හඳුනා ගන්නා අවස්ථාව වන විට, රජයේ පිළිකා රෝහලේ මූලික වශයෙන්, ආර්ථික වශයෙන් අඩු පහසුකම් ඇති අයට රසායනික චිකිත්සක ඖෂධ නොපැවතීමයි. මියගිය පුද්ගලයාගේ පවුලේ අය පැවසූ පරිදි, රෝගියා ශක්තිමත් වූ අතර රෝගය ආරම්භයේදීම රසායනික චිකිත්සාවට සාර්ථකව මුහුණදීමට හැකියාව පැවැතිණි. මාස කිහිපයක ප්‍රමදයකට පසු රසායනික චිකිත්සක ඖෂධ ලබා ගන්නා විට පිළිකාව ද පැතිරී යෑමෙන් රෝගියා දුර්වල වී ඇත. රෝගියාගේ දුර්වල ශරීරයට තවදුරටත් ශක්තිමත් ඖෂධ සමඟ සාර්ථකව කටයුතු කළ නොහැකි විය. අවසානයේ පවුලට පාඩුව විඳදරාගැනීමට සිදුවී ඇත.

    තීරණාත්මක විනිශ්චය

    මේ මොහොතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව දක්වන අකමැත්ත හඳුනාගත හැකිය. ඉහත සඳහන් කළ ආකාරයේ කතා අනන්තවත් ඇති බව ආණ්ඩුව දනී. ආණ්‌ඩුවට අවශ්‍ය වන්නේ, වඩා හොඳ ආර්ථික ප්‍රකෘතියක්‌ ලබාගනිමින්, ජනතාවට ප්‍රතිලාභ ගෙනදෙන සැළකිව යුතු ලකුණු පෙන්වමින් මැතිවරණයකට යෑමටය. බොහෝ ඡන්දදායකයන් ධනවතුන් නොව, වඩා දුප්පතුන් වන අතර, ධනවත් පිරිසට වඩා දුප්පතුන් විසින් පිරිවැයක් දරන ආර්ථික ප්‍රතිපත්තියක් ඇති ආණ්ඩුවකට එරෙහිව ඡන්දය භාවිත කිරීමට බහුතරය මේ මොහොතේ කටයුතු කරනු ඇතැයි සිතිය හැකිය. එබැවින් පළාත් පාලන මැතිවරණයට වියදම් කරනවාට වඩා,එම රුපියල් බිලියන 10ක මුදලින් ජනතාවට නොමිලේ සහල් ලබාදීමට ආණ්ඩුව කැමැත්තක් දක්වනු ලබයි. තම ජීවනෝපාය උපයා ගැනීමට මිනිසුන් සවිබල ගැන්වීම සඳහා, රජයේ අනුග්‍රහය මත යැපෙන සංස්කෘතියෙන් මිදීම අවශ්‍ය වේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් නියම කරන ලද මාර්තු 09 වැනි දිනය තම පාර්ශවයට ඉතා ඉක්මනින් වැඩි වූ බැවින්, මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව පියවර ගනු ලැබීය.

    පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කරමින් 2023 අයවැය යටතේ මැතිවරණ කටයුතු සඳහා වෙන් කර ඇති මුදල් රඳවා නොගන්නා ලෙස මුදල් ලේකම්වරයාට සහ නීතිපතිවරයාට නියෝග කළේය. පළාත් පාලන මැතිවරණය මේ මොහොතේ හෝ නුදුරේදී නොපවත්වන බවට දරන ස්ථාවරයෙන් ඉවත්වීමට ආණ්ඩුවට මෙම අධිකරණ තීන්දුව මගින් බලපෑමක් එල්ල කෙරේ. මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන රජය විසින් නිකුත් කරන බවට මුදල් අමාත්‍යාංශය වහාම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. මැතිවරණ සඳහා නව දිනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ තීරණයට රජය අවනත විය යුතු මාර්ගය දැන් පැහැදිලිය. නව දිනය නියම කිරීමට පෙර පාර්ශ්වකරුවන් ගණනාවක් සමඟ සාකච්ඡා කරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර ඇත.

    මෙම සුවිශේෂී තීන්දුව ලබා දීමේදී, එවැනිම ගැටලුවක් විසඳීම සඳහා පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවක වාසිය ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබී තිබේ. වරක් පාකිස්ථානයේ රජය කියා සිටියේ මූල්‍ය ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වූ බවයි. එහිදී පකිස්තානයේ ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණය පැවැත්වීම සඳහා පළාත් සභා විසුරුවා හරින දින සිට දින 90 ක කාල සීමාවක් නියම කළේය. මුදල් නොමැති බව පවසමින් මැතිවරණ කල් දැමීමට රජයකට අවසර දීම භයානක පූර්වාදර්ශයක් වනු ඇති බවට ශ්‍රී ලංකාවේ මෙන්ම පාකිස්තානයේ ද කනස්සල්ලක් නිර්මාණය විය. පකිස්ථානය සහ ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් නිරන්තරයෙන් මූල්‍ය සම්පත් හිඟයකට මුහුණ දෙන බැවින්, රජයට පරාජය විය හැකි යැයි හැඟෙන ඕනෑම වේලාවක මැතිවරණයක් කල් දැමීමට මෙම සාධාරණීකරණය භාවිත කළ හැකිය.

    දෙරටේම පැවැත්වීමට නියමිත මැතිවරණ පාර්ලිමේන්තු මැතිවරණ නොව, උප ජාතික මට්ටමේ මැතිවරණ වීම සිත්ගන්නාසුළු කරුණකි. මහජන විඥානයෙන් ලිස්සා යමින්, වසර හතරකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණ කල් දමා ඇත. මැතිවරණයකට යෑමෙන් ආණ්ඩුවට විශාල පරාජයක් සහ ඒ ඔස්සේ කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු බවට ඉල්ලීමක් නිර්මාණය වනු ඇතැයි යන කනස්සල්ල දෙරටේම පවතී. පළාත් පාලන මැතිවරණය දැනට නීත්‍යානුකූලව පැවැත්වීමට නියමිත නමුත්, පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා තවත් වසර දෙකකට වැඩි කාලයක් ඉතිරිව ඇත. පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් මිස, පළාත් පාලන මැතිවරණයකින් ලැබෙන අවාසිදායක තීන්දුවකින් ආණ්ඩුව වෙනස් කළ නොහැකි බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමට ඉක්මන්වීමට මෙය හේතුවී ඇත.

    ජනාධිපතිගේ විකල්ප

    පසුගිය වසර පුරාවට ජනතාව මුහුණ දුන් ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මේ වන විට ආණ්ඩුව දරුණු මැතිවරණ පරාජයකට මුහුණදීමේ සම්භාවිතාවක් පවතී. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට තවත් වසර දෙකහමාරක කාලයක් ඇති බව නීතිමය ස්ථාවරය වුවද, පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව පරාජය වීම නිසා පාර්ලිමේන්තු මැතිවරණය කඩිනම් කරන ලෙස විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් ඉදිරිපත්වීමට ඉඩ ඇති අතර මෙය වීථිවල විරෝධතාවලට තුඩු දිය හැකිය. මෙම කනස්සල්ල ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ “ආණ්ඩුවේ ඕනෑම වෙනසක් පාර්ලිමේන්තු මැතිවරණයක් වැනි නිසි මාර්ග හරහා සිදු කළ යුතු බව සැළකිල්ලට ගැනීම වැදගත්ය. පාර්ලිමෙන්තු මැතිවරණයක් සඳහා වීථි බැසීම විකල්පයක් නොවන අතර, ස්ථාපිත ක්‍රියාවලිය යටපත් කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව සහ නීතියේ ආධිපත්‍යය උල්ලංඝණය කිරීමක් වනු ඇත.”

    ආණ්ඩුව වෙනස් කළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය, පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩු පක්ෂය දුර්වල වුවද, කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවන්නේ නැති බවට වන පූර්ව අනතුරු ඇඟවීමකි. පළාත් පාලන මැතිවරණවලින් දරුණු ලෙස පරාජයට පත් වූ ආණ්ඩු, බිඳවැටීමකට ලක් නොවී, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් නීත්‍යානුකූලව පරාජයට පත්වනතුරු බලයේ සිටි බවට අතීතයේ උදාහරණ පවතී. 2018 පෙබරවාරි මාසයේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් පැවැති ආණ්ඩුව දරුණු ලෙස පරාජයට පත් විය. කෙසේ වෙතත්, ආණ්ඩුව පාර්ලිමේන්තු වාරයේ සම්පූර්ණ කාලය සඳහා අඛණ්ඩව බලයේ සිටි අතර, මහමැතිවරණය පැවැත්වුණේ 2020 අගෝස්තු මාසයේදීය. එම මැතිවරණයේදී ආණ්ඩුව බලාපොරොත්තු වූ පරිදිම දරුණු පරාජයකට මුහුණ දුන්නේය. වර්තමානයේදීද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව තම ධුර කාලය අවසන් වනතුරු බලයේ සිටීමට අධිෂ්ඨාන කරගෙන සිටින බව පෙනේ.

    2018 පෙබරවාරි මැතිවරණයෙන් පරාජයට පත් වූ ආණ්ඩුවට අත්වූ ඉරණම වළක්වා ගැනීම වත්මන් ආණ්ඩුවට අභියෝගයක් වනු ඇත. වත්මන් තත්ත්වය වන්නේ, 2018 දී අගමැති ධුරය පමණක් දැරූ වික්‍රමසිංහ මහතාට 2018 දී මෙන් නොව, මේ වන විට ජනාධිපති ධූරයේ උපරිම බලයක් හිමිව තිබීමයි. මේ වන විට පාර්ලිමේන්තු වාරය වසර දෙකහමාරක කාලයක්, එනම් එහි සම්පුර්ණ කාලයෙන් අඩක් පසුකර ඇති බැවින්, ජනාධිපතිවරයාට තම අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය ලැබී තිබේ. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට යටත්ව කටයුතු කිරීමට බොහෝ දුරට ඉඩ ඇත්තේ, ඔහු පාර්ලිමේන්තුව විසුරුවා හැර, තමන් පරාජය වීමට ඉඩ ඇති, මේ මොහොතේ පැවැත්වෙන ඡන්දයකට පවතින අකමැත්ත හේතුවෙනි. එහෙයින්, ජනාධිපතිවරයාට තමාගේ අදහස වී ඇති ක්ෂේත්‍ර දෙක, එනම් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම (පිළිකා රෝගියා මෙන් නොසලකා හරින ලද අය ගැන සිහි තබා ගැනීම) සහ රටේ ජනවාර්ගික ගැටුම විසඳීම සඳහා පාර්ලිමේන්තු බහුතරයේ සහාය.ලබා ගැනීමට මේ මොහොතේ අවස්ථාව හිමිව තිබේ.

  • සායක්කාරලාගේ  නාට්‍ය සතිය අන් දණ්ඩ ද? ගලවන්ඩ ද?

    සායක්කාරලාගේ නාට්‍ය සතිය අන් දණ්ඩ ද? ගලවන්ඩ ද?

    සායක්කාර ගේ රෙදි ගලවන මාධ්‍ය සාකච්ඡාව.

    අර්බුද එකක්වත් නිම නෑ වැඩි වුනා මිසක්.ඒ ඔක්කොම එහෙමම තියෙද්දි සතියක්ම වෙන් කර ගත්ත පොරක් වෙන්න ද?

    අප්පෝ නෑ. පොරක් වෙනවා වගේ අසනීප මට නෑ. මෙහෙමයි අපි බොහොම පැහැදිලිව මීට කලිනුත් කිව්වා ඇයි අපි මේ නාට්‍ය සතිය කරන්නේ කියලා. මේක අද ඊයේ ආව අදහසක් නෙමෙයි 2015 වගේ කාලෙ ඉදලා තමයි මේ අදහස මුළින්ම ආවේ. අපි මෙතෙක් කරපු නාට්‍ය ටික එකතු කරලා දවස් කීපයක කරමු කියලා. ඒත් ප්‍රායෝගික ප්‍රශ්න නිසා වරෙන් වර මේ වැඩේ කල් ගියා. ඒ අතරේ අපේ නාට්‍ය ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවුණා. මුළින් අපි හිතාගෙන හිටියෙ දවස්තුනක් එක දිගට නාට්‍ය පෙන්නන්න. ඊට පස්සේ ඒක හතරවුණා. අවසානයේ දවස් හතක් යනකම් දික් වුණා.
    හැමදාම අපි බලන් හිටියෙ මේ කාලෙ අප්සට් ටිකක් කාලෙ හොඳ වුණාම කරමු කියලා. ඒත් කාලය හොඳ වෙනවා කියල එකක් වෙන්නෙ නෑ. එන්න එන්න අප්සට් වෙනවා මිසක්. ඒ අනුව අපි 2022 සැප්තැම්බර් තීරණයක් ගත්තා මොන විදියේ බාධාවක් ආවත් අපි 2023 මාර්තු නාට්‍ය සතිය කරනවා මයි කියලා. ඒ අනුව තමයි රටේ තත්වෙ කොච්චර අයහපත් වුණත් අපි මේ වැඩේ කරන්නේ…

    අනිත් පැත්තෙන් මේ නාට්‍ය කිසිම එකක් අපේ වුවමනාවට නතර කරපු නාට්‍ය නෙමෙයි. රටෙි වරින් වර මතුවුණු ප්‍රශ්නත් එක්ක නතර කරන්න වුණු නාට්‍ය. එකපාරක් පාස්කු ප්‍රහාරය නිසා නතර කළා. තව පාරක් කොරෝනා. ඊට පස්සේ අරගලය. ඉතින් මේ නිසා අපිට වුවමනාව තියෙන අපි නතර නොකරපු ඒ නාට්‍ය ටික නැවත කරළියට ගේන්න.

    දේශපාලනය හපයක් කරලා තියෙන මිනිස්සුන්ව ඒ වධකයාවම පෙන්නලා රිද්දන එකද සායක්කාරලා ගේ නාට්‍ය කලාවද?

    මට මේ වෙලාවේ ඕනේ අඩුම වශයෙන් මිනිස්සුන්ට තමන් ඉන්නේ නරා වලක කියන එක ඇගිල්ලෙන් ඇනලා පේනනලා දෙන්න. මොකද රටේ බහුතරයක් තවමත් ඔවුන් ගෙවමින් ඉන්න අප්සට් එක තේරුම් අරන් නෑ. ඒක තේරුම් ගන්නෙ නැතුව එතනින් එහාට ඊට එරෙහිවීමක් ගැන හිතන්නෙ නෑ. ඔබ පාවිච්චි කරපු වචනය හරි මම ප්‍රේක්ෂකයා රිද්දනවා. වද දෙනවා. එහෙම වද නොදී ආතල් දීලා මේ ප්‍රශ්නෙ උන්ට දනවන්න බෑ.

    “අයියා මලෝ ” අමු චරිත ඝාතනයක් නේ .බලපු මිනිස්සු මේවට විරෝධය පාපු නිසා නෙමෙයිද ඔය එක එක වර්ගයේ වාරණයන් පැන උනේ.

    බලපු කිසිම තැනක චරිත ඝාතනයක් කියලා කිසිම විරෝධයක් ආවේ නෑ. අපි කාගෙවත් චරිතය ඝාතනය කරලා නෑ. ඕන කෙනෙක්ට ඕන කණ්ණාඩියක් දාගෙන බලන්න පූළුවන්. එතකොට ඒකට එක එක චරිත අහුවෙනවා. මහින්ද වෙන්න පුළුවන් රනිල් වෙන්න පුළුවන් සජිත් වෙන්න පුළුවන් ඕන කෙනෙක් අහුවෙයි. ඒකට මට කරන්න දෙයක් නෑ. අපි කතා කරන්නේ පවුලක් බලය ආරක්ෂා කරන මළකුණක් එක්ක ඔට්ටු වෙන විදිය. මේක අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි. විජයිදු රජකාලෙත් මේ වගේ සිද්ධි වෙලා තියෙනවා. මේක අපිට විතරක් නෙමෙයි දකුණු ආසියාවේම ඛේදවාචකයක්

    කතන්දර වැඩක් නෑ සායා…වටේ යන්නැතුව කියෙනවද නාට්‍යය කරලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා.

    මම නාට්‍ය කරන්නේ මගේ ප්‍රකාශනය එළියට දාන්න. ඒක මට අවංකවම සඳහා ප්‍රබලවම මුදාහරින්න පුළුවන් තැන වේදිකාව. අනිත් මාධ්‍යවල අපිට ඒක ඒ මට්ටමින් කරන්න අවකාශ නෑ. ඉතින් වේදිකාව කොච්චර කුඩා වුණත් මේ උත්සාහයන් කොච්චර දුෂ්කර වුණත් මම ඒක අතාරින්නේ නෑ.

    18 ඉඳලා 24 වෙනකන් මොනවද කරන්නේ

    සායාගේ සතිය පටන් ගන්නේ 18 එතන ඉදලා හැමදාම හවස 3.30ට සහ 7.00 නාට්‍ය දර්ශන දෙක බැගින් පැවැත්වෙනවා. දැනටමත් 3.30- දර්ශනයේ බැල්කනියි පිරිලා ඉවරයි. ඒ විද්‍යාර්ථයන්ට නොමිලේ නාට්‍ය බලන්න දුන්න අවස්ථාව නිසා. හැමදාම 3.30- දර්ශනයේ බැල්කනිය වෙන් කරේ විද්‍යාර්ථයන්ට.

    ඔක්කොම සෙල්ලම් කොළඹට විතරද කොළඹින් පිට යන්නේ නැද්ද?

    අනිවාර්යයෙන් යනවා. අපි අයියා මළෝ වf්ග නාට්‍යයක් හදාගත්තෙම කොළඹින් පිට ඕනම තත්වයක් යටතේ ප්‍රදර්ශනය කරන්න. අපි ඒ වැඩේ කරා සහ කරමින් ඉන්නවා. ඒ වගේ අනිත් නාට්‍යත් කොළඹින් එහාට අරන් යන්න අපි වැඩ කරමින් ඉන්නවා. කිසිසේත්ම කොළඹට සීමා වෙන්න අපේ අදහසක් නෑ.

    හිල්මි සුපුන්

     

  • වානේ තලන්න තලන්න පන්නරය ලබනවා වගේ මර්දනය ඉදිරියේ ජනතාව නැගී සිටිනවා – වසන්ත මුදලිගේ

    වානේ තලන්න තලන්න පන්නරය ලබනවා වගේ මර්දනය ඉදිරියේ ජනතාව නැගී සිටිනවා – වසන්ත මුදලිගේ

    ආණ්ඩුව ජනතාව වෙත මර්දනය කැඳවන්න කැඳවන්න ජනතාව නැගී සිටින සිටින බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසයි. ඔහු පැවසුවේ වානේ තල්ලන්න තලන්න ශක්තිමත් වන්නා සේ ජනතාවත් මර්දනයට මුහුණ දෙමින් නැගී සිටින බවයි.

    ඔහු මේ බව පැවසුවේ අද මර්දනයට එරෙහිව කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    එසේම හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා අන්තරේ විරෝධතාවයට පහරදීමට පැමිණි පිරිස ගැන නොදන්නවා නම් ටිරාන් අලස්ගෙන්, දේශබන්ධු තෙන්නකෝන්ගෙන් ඒ ගැන විමසන ලෙසද වසන්ත මුදලිගේ පවසයි. ඔහු පවසන්නේ විරෝධත්වයන්ට පහරදීමේ මෙහෙයුමක් ගෙනියන්නේ ඔවුන් බවයි.

    වෘත්තීය සමිති, සිවිල් ක්‍රියාකාරීන් ඇතුලු පාර්ශව රැසක සහභාගිත්වයෙන් පැවති මෙම විරෝධතාවය කදුලු ගෑස් ඝාතනවලට, කුරුදු පොලු හමුදාවට, පාසල් දරුවන්ටත් කදුලු ගෑස් ගැසීමට, සරසවි තුලට පොලිස් කඩා පැනිමට එරෙහිව පවත්වන ලදී.

  • වව්නියාව අතුරුදහන්වූවන්ගේ විරෝධතාවයේ ක්‍රියාකාරිනියක අත්අඩංගුවට

    වව්නියාව අතුරුදහන්වූවන්ගේ විරෝධතාවයේ ක්‍රියාකාරිනියක අත්අඩංගුවට

    වව්නියාව උද්ඝෝෂණ අට්ටාලයට නීතිවිරෝධීව විදුලිය ලබා ගත්තේ යැයි චෝදනා කරමින්, වව්නියාව බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපති කාසිපිල්ලෛ ජයවනිතාව ඊයේ වව්නියාව පොලිසිය මඟින් අත් අඩංගුවට ගන්නා ලදී.

    ඇය ඇගේ අතුරුදහන් කළ ඇගේ දියණිය සොයමින් සිටින විට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ඡන්ද ප්‍රචාරක පත්‍රිකාව වන ඡායාරූපයක ඇය සිටිනු හඳුනාගන්නා ලදී.

    ජයවනිතා ඇතුළු මව්වරු සියගණනක් තවත් ඥාතීන් සමඟ අද වන විට දින 2210ක් (2023 මාර්තු 10) පුරා හමුදාවෙන් රැගෙන යෑමෙන් පසු අතුරුදහන් වූ සිය ආදරණීයයන් ගැන සත්‍ය හෙළි කරන මෙන් පාරේ අරගල කරමින් සිටිති.

  • ටිරාන් අලස්ව මානව හිමිකම් කොමිසමට කැඳවයි

    ටිරාන් අලස්ව මානව හිමිකම් කොමිසමට කැඳවයි

    කොළඹ විශ්ව විද්‍යාලය අවට පසුගිය මාර්තු 7 හා 8 දෙදින පැවති උද්ඝෝෂණ සහ කැලණිය විශ්ව විද්‍යාලය අවට මාර්තු 8 වැනිදා පැවති උද්ඝෝෂණ පාලනය කිරීම සඳහා පොලිසිය ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

    එම පරීක්ෂණයට අදාළව මාර්තු 13 වැනිදා කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට දැනුම් දී ඇතැයි කොමිෂන් සභාව නිවේදනය කළා.

    ඒ උද්ඝෝෂණ මැඩපැවැත්වීම සඳහා පොලිසිය අනුගමනය කරන ලද ක්‍රියාපිළිවෙත් පැහැදිලි කර ගැනීම සඳහායි.

    විශ්ව විද්‍යාල සිසුන් සිදුකළ එම උද්ඝෝෂණ පාලනය කිරීම සඳහා පොලිසිය අමානුෂික ලෙස කටයුතු කළ බවට දිගින් දිගටම චෝදනා එල්ල වූ අතර කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨය තුළට පවා පොලිසිය කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කළා.

    මේ අතර විශ්වවිද්‍යාල පරිශ්‍ර තුළට පොලීසිය ඇතුලු වීම සම්බන්ධයෙන් පියවර ගන්නැයි, අධ්‍යාපන අමාත්‍යවරයා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් ද කර තිබෙන බව වාර්තා වේ.

  • පොලු අරගෙන ආවෙ හමුදාව නෙමෙයි නම් ඒ කවුද කියන එක ගැන ආණ්ඩුව පැහැදිලි කළ යුතුයි – දුමින්ද නාගමුව

    පොලු අරගෙන ආවෙ හමුදාව නෙමෙයි නම් ඒ කවුද කියන එක ගැන ආණ්ඩුව පැහැදිලි කළ යුතුයි – දුමින්ද නාගමුව

    පසුගියදා කොළඹ විශ්ව විද්‍යාලය අසළ පැවති උද්ඝෝෂණය අවස්ථාවේ පොලු රැගත් හමුදා ඇඳුම් ඇදගත් පිරිස කවුරුන්ද යන්න ආණ්ඩුව පැහැදිලි කළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව වැඩිදුරටත් පැවසුවේ,

    “අපි දැක්කා ගෝඨාභය රාජපක්ෂට අසනීපයක් තිබුනා කොවිඩ් තත්ත්වය පාවිච්චි කරලා කොළඹ උද්ඝෝෂණ කරන්න දෙන්නේ නැතුව මූලික අයිතිවාසිකමක් වුනු ප්‍රකාශනයේ නිදහස අහිමි කිරීමේ වුවමනාවක් තිබුණා. දැන් අපිට පේනවා හොර පාරෙන් ජනාධිපති වෙච්ච රනිල් වික්‍රමසිංහ දැන් නැවත වතාවක් ඒ ක්‍රියාවලියම කරමින් ඉන්නවා. ඒක ඔහු ගෝඨාභය රාජපක්ෂටත් වඩා ඉදිරියට ගිහිල්ලා විශාල මර්දනයක් දියත් කරමින් ඉන්නවා. එක කාරණයක් තමයි උද්ඝෝෂණයකට පහර දෙන්න කුරුදු පොලු හමුදාවක් යොදාගත්තා. දැන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියනවා ඒ හමුදාව නෙමෙයි කියලා. ඒ හමුදාව නෙමෙයි නම් ඒ අතුරු හමුදාවක්ද? එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහලා ඒ කාලයේ කළු බළල්ලු, කහ බළල්ලු, කොළ කොටි වගේ කණ්ඩයක් හදාගෙන හිටියා 1980 ගණන්වල. ඒකට අදාළ පෙරහුරුවද මේ කරමින් ඉන්නේ කියන ප්‍රශ්නය තියෙනවා. කවුද මේ පොලු හමුදාව කියන එක ගා අහන්න ඇමති ටිරාන් අලස්ව මානව හිමිකම් කොමිසමට කැඳවලා තියෙනවා. ඔහු මේ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් කළ යුතුයි.

    පිස්සු බල්ලෝ වගේ පහරදෙන පිළිවෙත අද වෙනකොට ඝාතන දක්වා ගිහිල්ලා තියෙනවා. කොළඹ විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අංශයේ සාමාජිකයෙක් මිය ගිහිල්ලා තියෙනවා. ඒ නිසා පැහැදිලිවම මේ පාවිච්චි කරන කඳුළු ගෑස් විෂ සහිතයි. එක්කෝ මේවා කල් ඉකුත් වෙච්ච ඒවා. නැත්තම් මේවා ඝාතන අරමුණින්ම ලංකාවට ආනනයනය කරන ලද ඒවා බව පැහැදිලි සැකයක් තියෙනවා. මේකට එරෙහිව උද්ඝෝෂණයක් අපි සංවිධානය කර තියෙනවා. “