2018 වසරේ ගොඩගේ අත් පිටපත් තරඟයේ කාව්‍ය අංශයේ ප්‍රශස්තම කාව්‍ය සංග්‍රහයක් ලෙස ඇගයීමට ලක්වූ “හිතාදර දළඹුවනි” කාව්‍ය සංග්‍රහය චින්තක සමන් හේරත්ගේ කුළුදුල් කාව්‍ය සංග්‍රහයයි. ඉතා කෙටි කලකින් පුවත්පත් කවි පිටුත්, කවියට උචිත අන්තර්ජාලයේ සියලුම අස්සක් මුල්ලක්මත් තමන්ගේ කවියට වෙන්කර ගන්න මේ තරුණ කවියා සමත් වෙනවා. ඔහුගේ හැකියාවයි නිර්මාණ අපූර්වත්වයයි මේ ඉඩකඩ ඔහුට නිරායාසයෙන්ම ලබාදෙන්න සූදානමින් සිටිනවා. ඉතින් වසර දෙකක පමණ ඇවෑමෙන් පසුව ඔහු දැන් සුදානම් වෙනවා දෙවන කාව්‍ය සංග්‍රහය එළි දක්වන්න. ” වැහි වැටෙන දවස් “ ඔබ අතට පත් වන්නට තිබුණු කාලය කොරෝනා වසංගතය නිසා ප්‍රමාද වුනත් , තව සති කීපයකින් චින්තක සමන් හේරත් වැසි වට්ටවා ඔබව තෙතබරිත කරවී.
අද අපි විවරෙන් ඉඩක් වෙන් කළා චින්තක සමන් හේරත්ගේ කලා ජීවිතයත් ” වැහි වැටෙන දවස් “ පිළිබඳවත් කතා බහ කරන්න.
- හැම මිනිහෙක්ගේම හිතේ කවි තියෙන්න පුළුවන්, හැබැයි හිතේ තියෙන හැමදේම වචන ගලපල කවියක් කරගන්න හැමෝටම බැහැ. ඒකට හැකියාවක් පුහුණුවක් තියෙන්න ඕනේ. ඉතින් අපි දන්නවා ඔබට මේ හැකියාවයි පුහුණුවයි දෙකම තියනවා. ඔබේ මේ කවි ජිවිතේ කොතනින්ද ඇරබුනේ, අපි ඒක පොඩ්ඩක් කතා කරමු.
නිශ්චිත කාල වකවානුවක කවිය යන්න මා තුලින් පැන නැගුනා යැයි මට කියන්නට අපහසුයි. කවිය හා සාහිත්‍ය සමග බද්ද වූ කුඩා – ළමා- තුරුණු සමයක්ද මට නැහැ. ඇත්තටම කවිය කියන දේ මා සොයාගෙන ගියා කියනවාට වඩා කවිය මා සොයාගෙන පැමිණි බවක් තමයි මට අද සිතෙන්නේ. මගේ කවිය මින් වසර තුන හතරකට වඩා ඈතට දිවයන්නේ නැහැ. ඒ නිසාම කවියෙක් කියා පිළිගන්න මගේ අභ්‍යන්තරික ඉන්ද්‍රීයන් වලට මම දනවන්නෙත් නැහැ. එහෙම දැනුන දවසක තමයි මං එය පිළිගන්නේ. හැබැයි මම කවිය පිළිබදව පසුගිය වසර කිහිපය තුල යම් කියවීමක් හැදෑරීමක් ඉවසීමෙන් සිදුකලායැයි සතුටක් මට තියෙනවා. මම කවියට ආදරෙයි. එය මාව හරි හැටි අවබෝධකරගත් පෙම්වතියක් වගේ. මගේ ජීවනාලිය වගේ. ඉතිං උතුම් කවියක් සොයා යාමේ අභ්‍යාස අවධිය තමයි මම තාම පසුකරමින් සිටින්නේ.
- අපි ලෝක සාහිත්‍යයෙන් අරගෙන කවි පරිහරණය කරනවා, ඒවා පිළිබඳව කතාබහ කරනවා, කවි කියවලා අපි උපදේශයන් ගන්න. ඔබ හිතනවද ලාංකීය කවිය ලෝකයට හිතන්න දෙයක් කතාබහ කරන්න දෙයක් ලබා දීලා තියනව කියලා,
ලෝකය අපේ කවිය දිහා විමසිල්ලෙන් බලන් ඉන්නවා කියලා , ඒ සඳහා අපි අවස්ථාව සලසා තියනවා කියලා . කවිය දේශසීමා ජාතිකත්ව වැනි කරුණු මත කොටු කිරීම වැරදියි කියා මා සිතනවා. මෙය අනෙක් කලා මාධ්‍යන්ට වඩා යමි සුවිශේෂී උතුම් කලාවක්. අතීතයේ අපේම කාව්‍ය සම්ප්‍රදායක් තිබී ඇති බව අපට පෙනෙනවා. පැරණි සෙල් ලිපිවල, ජනකවියේ මෙන්ම සීගිරි ගී වල ඊට උදාහරණ බොහොමයි. නමුත් සංස්කෘත වැනි අලංකාරවත් කාව්‍ය සම්ප්‍රදායක් රිංගා ගැනීමත් සමග එම කවිමග වෙනතකට යොමුවී තිබෙනවා. සීගිරි කවියේදී අපට හමුවන කවි මග දියුණුවට පත්වූවානම් චීන ජපන් කවි මග පසුකරගෙන යාමට හැකියාවක් තිබුනායැයි මගේ කල්පනාවයි. සිංහල කවි වෙනත් භාෂාවන්ට පරිවර්තනය වූ අවස්ථා අප ඉදහිට දැක ඇතත් සිංහල කවිය පිළිබදව ලෝකය වැඩි අවධානයක් යොමුකරන බවක් මා නම් සිතන්නේ නැහැ. වරක් ඉන්දියාවේ මහා කවි තාගෝර් මෙහෙම කියනවා. “මානව වර්ගයක් ලෙස බ්‍රිතාන්‍ය ජන සමාජය ගැන මගේ මහත් ගෞරවයක් තිබෙනවා. සුදු ජාතිය ගැන ආණ්ඩුව ගැන නොවෙයි. ඒ ජනයා මහා මානව වාදයක් ගොඩනඟා තිබෙනවා. මහා සාහිත්‍ය කලා උරුමයක් නිපදවා තිබෙනවා. හිරු රශ්මිය වගේ ඔවුන් අපට දැනෙනවා” ඉති අපේ කවිය ගැනත් අපට ලොකු අධිතක්සේරුවක් තිබෙනවා. එයම තමයි අපේ කවියේ පසුගාමීත්වය. මෙරට කවිය පිළිබදව ලෝක අවධානය වැඩි වශයෙන් ලක්නොවීමට හේතුව අපි විවිධ සංස්කෘතික කලාප වල කවිය පිළිබදව දක්වන උනන්දුවේ අඩුකම. මෙම තත්වය වටහාගත් ඇතැම් ප්‍රවීණ කවීන් අතලොස්ස පවා අද එම කාරණය යම් පමනකට අත්හැර ඇතැයි මට සිතෙනවා.
- නව කතාව කෙටි කතාවට වඩා කවි ලියන්න පෙළඹෙන පිරිස වැඩිවෙලා , පසුගිය වසරේ කවි පොත් දෙතුන් සීයක්වත් එළිදකින් ඇතැයි කියලා අපි හිතනවා .මේ ප්‍රවණතාව පිළිබඳව ඔබගේ අදහස කුමක් ද ?
එම ප්‍රවනතාව ඉතා සතුටට කාරණයක්. නමුත් කවිය වැනි කලා මාධ්‍යයක් ප්‍රමාණවත් ලෙස වැඩිවන විට ඊට සමාන්තරව විචාරය සහ මගපෙන්වීමද වැඩිවිය යුතුයි. නැතිනම් ප්‍රමාණාත්මකව සිදුවන වැඩිවීම ගුණාත්මක වැඩිවීමක් බවට පත්වන්නේ නැහැ. එසේ නොවීමෙන් සිදුවන්නේ බොහෝ දෙනා ජනප්‍රියත්වයේ ගොදුරු බවට පත්ව තමන් තුල ඇති කුඩා හැකියාව පවා විනාශ කරගැනීමයි.
- බොහෝවිට අපිට ඇහෙනවා අර පොත හොඳයි මේ කවිපොත හොඳයි අරක හොඳයි මේක අපි හොඳයි වගේ වචන .කුමන හෝ සාහිත්‍ය නිර්මාණයක හොඳ නරක ඔබ තීරණය කර ගන්නේ කොහොමද ?
හොද නරක කියන වචනයට වඩා අපි එය සාර්ථක අසාර්ථක වැනි තැනක තබා කතා කලහොත් මගේ පිළිතුර ඔව් කියන එකයි. එයින් අදහස් වෙන්නේ නෑ මම සාර්ථක කවියෙක් කියන එක. මම අද වනතෙක් එක සාර්ථක කවියක්වත් ලියලා නැතිවෙන්න පුළුවන්. “නමුත් කවියට සීමා උවමනා නැහැ. දැනෙනවනම් කවිය ඒක තමයි කවිය. කවියනම් කෝකත් කවිය ” වගේ තැනක හිටියොත් අපි මේ සයිබර් අවකාශය ඇතුලෙම දවසක අතුරුදන් වෙලා යනවා. කවිය සූක්‍ෂම මානසික අභ්‍යාසයක්. අප ඉතා ප්‍රියකරන නූතනම කවියෙක් මෑතක කවිය පිළිබදව දැක්වූ අදහසක් තමයි ” කවිය යනු වචන අතර ඇඟවෙන සියුම් වචනාර්ථවල බුද්ධිමය අකුණු පහරක්; කුණාටුවක්; රළ පහරක්” යන්න. එහි ද්වනිතාර්ථ, සංකේතාර්ථ, රූපකාර්ථ, සියල්ලම අන්තර්ගතයි. අනෙකුත් සාහිත්‍ය නිර්මාණ කෙසේ වුවත් නූතන කවියේ මූලිකාංග ලෙස පවත්වාගෙන යා යුතු ස්පර්ශ කල යුතු දෑ තිබෙනවා. ඉතිං සාර්ථක කවියක් අසාර්ථක කවියක් තීරණය කිරීමට මේ පිළිබදව හැදෑරිමක් කියවීමක් ඇති රසිකයාට වැඩි අපහසුවක් දැනෙන්නේ නැහැ.
- වර්තමාන සමාජයේ කියවීම පිළිබඳව සෑහීමකට පත් වෙන්න පුළුවන් ද ?
මං ඇසුරුකරන සමාජ ස්ථරයන්වල කියවන පිරිස් තරමක් අඩුයි. ඊට නූතන ආර්ථික පරිභෝජන රටාව ලොකු බලපෑමක් එල්ල කරල තියෙනවා. ඒ අතර ඉදහිට හෝ කියවන කිහිප දෙනා වුවත් කියවීමක් සිදුකරන්නේ තමන්ගේ වෘත්තිය ජීවිතයට යම් වැදගත්කමක් දැණුමක් ලබාදෙන දෙයක් මිස ආධ්‍යාත්මික ස්පර්ශයකට හෝ බාහිර දැනුවත්වීමකට අදාල පොතක් පතක් ලේඛණයක් නොවෙයි. නමුත් අපේ පරම්පරාවේ ඇතැම් පිරිස් දහසකුත් වැඩ අතරතුර වුවත් කියවීම සිදුකරනවා. එය ජාතික පුස්තකාලයට ගොස් සතියකට පොත් දෙකක් අරං කියවීමකට වඩා එහා ගිය දෙයක්. වර්තමාන සමාජයේ කියවීම පිළිබද මට සෑහිමකට පත්විය හැක්කේ පෙර කී සමාජ වටපිටාව පිළිබදවත් මට යම් අවබෝධයක් ඇති නිසයි. සිත්ගත් නවකතා පොතක් කෙටිකතා පොතක් කියවීමට ඉතා කැමැත්තක් ඇති නමුත් ඒ සදහා විරාමයක් සොයාගන්නට අපොහොසත් බොහෝ පිරිසක් සිටිනවා මා මෙන්ම.
- ඉතින් දැන් ඔබ සූදානමින් සිටින්නේ දෙවන කාව්‍ය සංග්‍රහය එළි දක්වන්න. හිතාදර දලබුවනි කාව්‍ය සංග්‍රහය වැහි වැටෙන දවස් වලට මොන තරම් බලපෑමක් එල්ල කරල තියනවද ?
මං පෙර කී පරිදිම මම කවියේ යම් අභ්‍යාස අවධියක් ගෙවමින් සිටින්නේ. “හිතාදර දළඹුවනි” කෘතිය 2018 වර්ෂයේ ගොඩගේ අත්පිටපත් තරගාවලියේ ප්‍රශස්ථ අත්පිටපත් ලෙස තේරී පත්වී මුද්‍රණය වූවා. බොහෝ දෙනෙක් එය කියවා නැහැ. මමත් ඒ කාව්‍ය සංග්‍රහය බොහෝ දෙනා අතට පත්කරන්නට උනන්දුවූයේ නැහැ. ඉතිං ඒ නිසා මගේම මැදිහත්වීමකින් තෝරාගත් කවි කිහිපයක් පලමු වතාවට තමයි කාව්‍ය සංග්‍රහයක් ලෙස මෙවර එලියට එන්නේ. “හිතාදර දළඹුවනි” කාව්‍ය සංග්‍රහයෙදිත් සයිබර් අවකාශයේ මෙන්ම පුවත්පත් කවි පිටු වලදිත් මගේ කවියට ප්‍රවීණ සමකාලීන කවි කිවිදියන්ගෙන් ලැබුනු ඇගයුම් මෙන්ම පෙන්වා දුන් අඩුපාඩුද හැකිතාක් මගහරවාගෙන තමයි වැහි වැටෙන දවස් උපදින්නේ. මේ කාව්‍ය අභ්‍යාසයේදී මම මගේ කවිය අනාගතයේ ප්‍රවිශ්ඨ කල යුතු මාවත කුමක්දැයි මා තුලම පාදාගෙන තිබෙනවා. ඒ වගේම මා පිළිගන්නා තවත් කරුණක් තමයි වසර 03 ක් වගේ කාලයක් කවි පොතකින් තවත් කවි පොතකට ගෙවන අභ්‍යාස කාලය මදි කියන එක. එවිට මට නිතැනින්ම සිහිවන ආරිවංශ රණවීරයන්ගේ කවියක් මා ඉදිරිපත් කරන්නේ මට මේ කවියේ සදහන් අනාගතය පිළිබදව බියකරු හැගීමද නිතර දැනෙන නිසා.
ඇයි කුරුල්ලෝ
උඹ කෙටි ගීත ගයන්නේ
මට බොහෝ දේ කියන්න තිබෙන නිසා
මගේ කාලය කෙටි නිසා
- “වැහි වැටෙන දවස්” ජනතාව අතට පත්වන්නේ කොහොමද? කවදද?
කවියට උවමනා තැනට කවියට යන්නට ඉඩහැර කවියා නිහඩව සිටීම තමයි වැදගත් කියලා මට සිතෙනවා. කවි පොත ලබන සති දෙක ඇතුලත සියළු මුද්‍රණ කටයුතු අවසන්. කවිපොත ජනගතකරන්නට තැනක් වේලාවක් උත්සවයක් සංවිධානය කිරීම පලමු වතාවට වෛරසයකට භාරදෙන්න සිදුවෙලා තිබෙනවා. අපි බලමු කොරෝනා වෛරසය ඊට අවස්ථාවක් දේවිද කියලා. එසේ නොහැකිවුවත් මට ලොකු කනගාටුවක් දැනෙන්නේ නැහැ. එසේ වුවහොත් මේ කාව්‍ය සංග්‍රහය හැමෝම අතට යන්න පුළුවන් විදිහේ වැඩ පිලිවෙලක් ගැන බලනවා.