Breaking News

ඔවුන් සටන් වැද දිවි පිදුවේ ජනතා අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් – අන්තරේ විරු සිසුවන් සමරයි

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් නිසහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍යත් ඇතුළුව ජනතා අයිතීන් දිනා ගැනීමට දිවි හිමියෙන් සටන් වැදුණු ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ යන තේමාව යටතේ මෙවර ශිෂ්‍ය වීර දිනය online ක්‍රමයට පවත්වන ලදී.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු රත්කරවුවේ ජිනරතන හිමි විසින් එහිදී සමරු දේශනය සිදු කරනු ලැබුහ.

රෝහණ වීර සුරියගේ සිට 2012 වර්ෂයේදී ඝාතනයට ලක් වූ ජනක සිසිත දක්වා වූ ශිෂ්‍ය ව්‍යපාරයේ සහෝදර සහෝදරියන් විසින් සමාජයට වඩා යහපත් කිරීම අරමුණෙන් කටයුතු කරනු ලැබූ ආකාරය මෙහිදී රත්කරවුවේ ජිනරතන හිමි විසින් පෙන්වා දෙන ලදී.

ශිෂ්‍ය වීර දින සැමරුම යෙදී ඇත්තේ සෑම වසරකම ජුනි 20 වැනිදාය. වඩා යහපත් සමාජයක් බවට පත් කරනු වස් ජීවිතය අරගලයක් බවට පත්කරගත් සිසු පරපුරක අත්දැකීම් වර්තමානය කැඳවීමකි. නිදහස් අධ්‍යාපනය සමාජයේ එක් සමාජ පන්තියකගේ වරප්‍රසාදයක් නොව අයිතියක් බව අවධාරණය කළ ඔවුහු නිදහස් අධ්‍යාපනය පමණක් නොව නිදහස් සෞඛ්‍ය ඇතුළු සමාජයේ අයිතීන් වෙනුවෙන් තම ජීවිතය කැප කළ ඉතිහාසයකි අපට හමුවන්නේ.

ආණ්ඩුවේ වෙඩි පහරකට ගොදුරුව ප්‍රථම වරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12 වැනිදාය. එසේ මියගියේ ඩබ්ලිව්.එම්. රෝහණ වීරසූරියයි. ඒ පේරාදෙණිය සරසවියේ පොලිස් මුරපොලක් පිහිටු වීමට ගත් තීරණය නිසාවෙනි .මෙම අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව සටන් ක්‍රියාමාර්ගයකට සිසුහු අවතීර්ණ වූහ. පොලිස් නිලධාරින් කඩා වැදීමෙන් සරසවිය යුද භූමියක් බවට පත් වූ අතර එහිදී පොලිස් වෙඩි පහරින් වීරසූරිය මරුමුවට පත්විය .

සරසවි සිසුවකු දෙවන වරට ඝාතනයට ලක් වූයේ 1984 ජූනි 19ය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ සිසුවකු වූ හේවා බුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යාය.

පත්මසිරි අබේසේකර ඝාතනයට එරෙහිව රටපුරා සරසවි සහ පාසැල් සිසුන් උද්ඝෝෂණ පැවැත්වූ අතර කොළඹ සරසවි සිසුන් 1984 ජුනි 21 වැනිදා පැවැත් වූ උද්ඝෝෂණයකදී පොලීසිය මගින් කළ වෙඩි තැබීමෙන් කොළඹ සරසවියේ ශ්‍රාස්ත්‍ර පීඨයේ රෝහණ රත්නායකද හැවුලොක් නේවාසිකාගාරය ඉදිරියේදී මරුමුවට පත්විය.

වීරසූරිය සරසවි සිසුවා සැමරීම 1977 සිට 1983 දක්වා සෑම නොවැම්බර් 12 දිනකම පෙරාදෙණිය සරසවියේදී සිදු කෙරිණි. අනතුරුව පත්මසිරි අබේසේකර සහ රෝහණ රත්නායක සිසුන් අනුස්මරණය කිරීමේ වැඩසටහනක්ද පේරාදෙණිය සහ කොළඹ සරසවියන්හි ජුනි 19 සහ 21 යන දිනයන්හි පැවැත්විණි .
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින් මෙම සැමරුම් උත්සව තුනම 1986 සිට වසර එක්දිනක පැවැත්වීමට තීරණය විය. ඒ අනුව 1986 සිට නොවැම්බර් 12 එම සැමරුම සඳහා වෙන්විය. පසුව තීරණය වුයේ ජුනි 20වෙනි දින ශිෂ්‍ය වීර දිනය ලෙසින් සමස්ත ශිෂ්‍ය ව්‍යාපාරය එක්ව පැවැත් වීමටය.
වීරසූරිය ඝාතනය වූ 1976 දෙසැම්බර් 12 සිට 2020 ජුනි 20 දක්වා ඝාතනයට ලක් වූ සරසවි සිසුන්ගේ සංඛ්‍යාව 626කි. ඉන් 623ක් ඝාතනය වූයේ අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිව පැවති සටනේදී ය.මෙලෙස ඝාතනයට ලක් වූ සරසවි සිසුහු 396ක් හඳුනාගත් අතර තවත් 227ක් අතුරුදහන් වූහ. මෙම කාලවකවානුව තුළදී ඝාතනයට ලක් වූ පාසැල් සිසුන් සංඛ්‍යාව 2,327කි. මේ අනුව 1976 සිට මේ දක්වා ඝාතනයට ලක්වී ඇති පාසැල් සහ සරසවි සිසුන්ගේ සංඛ්‍යාව 2,961කි. සෑම වසරකම ජුනි 20 ශිෂ්‍ය වීර දිනය පැවැත්වෙන්නේ මෙම සිසුන් සැමරීම උදෙසාය.

මෙය හුදු මළවුන් සිහිකිරීමක් නොවන්නේය. සමාජ අරමුණු වෙනුවෙන් ඔවුන් පෙන්වා දෙනු ලැබූ ජිවන ආදර්ශය සමාජයට රැගෙන යාමක් බවට පත් විය යුතු වන්නේය මන්ද නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය රැකගැනීමට ඔවුන් දැක්වූ දායකත්වය අද දිනයේ සමාජය බුක්ති විදිමින් සිටි.කොරෝනා වසංගත තත්ත්වය තුළදී වුවද මිනිස් ජිවිත සුරක්ෂිත වීමට ඔවුන්ගේ ජීවිත පරිත්‍යගය කිසි විටෙක අඩුවෙන් තක්සේරු කිරීම කිසිවෙකුට කළ නොහැක. මානව සමාජයක් සුරක්ෂිත වන්නේද අනෙකා කෙරෙහි වගකීම් සහගතව සිටින විටය. මිය ගිය සිසුන් පෙන්වාලුයේ එකී ජිවන ආදර්ශයයි. ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළ බව යනු හුදු වාක්‍යක් නොවන්නේ එබැවිනි .

leave a reply