Breaking News

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා රජයට උපදෙස් දෙයි

ජෙහාන් පෙරේරා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, සිය මූලික අරමුණ කරගත් සාර්ව ස්ථායීතාවය පිළිබඳ ඉඟි ආර්ථිකය විසින් ලබාදීමට පටන්ගෙන තිබේ. මින් වඩාත්ම පෙනෙන්නට ඇති තත්වයක් වන්නේ, ඩොලරයට හා අනෙකුත් අන්තර්ජාතික මුදල් ඒකකවලට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යෑම වන අතර, එය පෙර පැවති අවප්‍රමාණය වීමේ ප්‍රවණතාව වෙනසකට ලක්කර ඇති බව පෙන්නුම් කරයි. පසුගිය වසර පුරා ඩොලරයේ පිරිවැය නිල වශයෙන් සියයට 80 කින් පමණ ඉහළ ගිය අතර සහ කළුකඩ වෙළඳපොලේ ඩොලරය අධිප්‍රමාණ වීම ඊටත් වඩා වැඩි විය. වර්තමාන රුපියලේ අගය ඉහළ යෑමට, සංචාරක ව්‍යාපාරයේ වර්ධනය ඇතුළුව විදේශ විනිමය ඉපැයීම් ඉහළ යෑම් හේතු වී තිබේ. එහෙත් රට තවමත් පවතින්නේ ආනයන පාලනයන් ක්‍රියාත්මක සහ බංකොලොත්භාවය ප්‍රකාශ කිරීම හේතුවෙන් විදේශ ණය ආපසු නොගෙවන තත්ත්වයකය.

බොහෝ ප්‍රමාද වූ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) ණය පහසුකම වන එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9 අවසානයේ ලැබෙනු ඇතැයි රජයේ බලධාරීන් විසින් තහවුරු කිරීම ආර්ථිකය පිලිබඳ විශ්වාසය වැඩි කිරීමක් ලෙස දැකගත හැකිය. මෙය ලෝක බැංකුව සමඟ ඉදිරියේදී සිදුකිරීමට නියමිත ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක මුදල් හුවමාරුවට අමතරවය. මේ සියල්ල ආර්ථිකය පිළිබඳ ධනාත්මක දෘෂ්ටියක දර්ශක වේ. සාර්ව ස්ථායීතාවය නැවත ලබා ගැනීම සඳහා රජයේ ආර්ථික උපාය මාර්ගය, රටේ යහපත සඳහා ක්‍රියාත්මක වන බව එයින් ඇඟවේ. කෙසේ වෙතත්, සාර්ව ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය නම්, රටේ සමස්ත ජනතාවට විශාල වශයෙන් ප්‍රතිලාභ ලැබිය යුතු අතර, එම ප්‍රතිලාභ ආර්ථිකය තුළ සිටින ඉහළ ආදායම් ලබන කොටසේ ඒකාධිකාරී අයිතියක් නොවන බව රජය මතක තබා ගත යුතුය. දේශීය යෙදවුම් සහ එයින් උත්පාදනය කෙරෙන නිෂ්පාදන මත පදනම් වූ තිරසාර ආර්ථික ප්‍රතිසාධන ක්‍රමයක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවක් පවතී. එහෙත් ඒ වෙනුවෙන් වූ සැලැස්මක් මෙතෙක් හෙළිදරව් කර නැත.

එය සාක්ෂාත් කර ගැනීම සඳහා අවම වශයෙන් යහපත් සමාජයක් සහ ආර්ථික සැලැස්මක් පැවැතිය යුතුව ඇත. පසුගිය සති අන්තයේ මම අවමංගල්‍යයකට සහභාගි වුණෙමි. මිය ගිය පුද්ගලයාගේ පෙනුම අවුරුදු 80කට වඩා වැඩිය. එහෙත් සැබෑ වයස අවුරුදු 63කි. මරණයට හේතුව පිළිකාවකි. එහි තිබූ ඛේදවාචකය වූයේ, පිළිකාව මුලින්ම හඳුනා ගන්නා අවස්ථාව වන විට, රජයේ පිළිකා රෝහලේ මූලික වශයෙන්, ආර්ථික වශයෙන් අඩු පහසුකම් ඇති අයට රසායනික චිකිත්සක ඖෂධ නොපැවතීමයි. මියගිය පුද්ගලයාගේ පවුලේ අය පැවසූ පරිදි, රෝගියා ශක්තිමත් වූ අතර රෝගය ආරම්භයේදීම රසායනික චිකිත්සාවට සාර්ථකව මුහුණදීමට හැකියාව පැවැතිණි. මාස කිහිපයක ප්‍රමදයකට පසු රසායනික චිකිත්සක ඖෂධ ලබා ගන්නා විට පිළිකාව ද පැතිරී යෑමෙන් රෝගියා දුර්වල වී ඇත. රෝගියාගේ දුර්වල ශරීරයට තවදුරටත් ශක්තිමත් ඖෂධ සමඟ සාර්ථකව කටයුතු කළ නොහැකි විය. අවසානයේ පවුලට පාඩුව විඳදරාගැනීමට සිදුවී ඇත.

තීරණාත්මක විනිශ්චය

මේ මොහොතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව දක්වන අකමැත්ත හඳුනාගත හැකිය. ඉහත සඳහන් කළ ආකාරයේ කතා අනන්තවත් ඇති බව ආණ්ඩුව දනී. ආණ්‌ඩුවට අවශ්‍ය වන්නේ, වඩා හොඳ ආර්ථික ප්‍රකෘතියක්‌ ලබාගනිමින්, ජනතාවට ප්‍රතිලාභ ගෙනදෙන සැළකිව යුතු ලකුණු පෙන්වමින් මැතිවරණයකට යෑමටය. බොහෝ ඡන්දදායකයන් ධනවතුන් නොව, වඩා දුප්පතුන් වන අතර, ධනවත් පිරිසට වඩා දුප්පතුන් විසින් පිරිවැයක් දරන ආර්ථික ප්‍රතිපත්තියක් ඇති ආණ්ඩුවකට එරෙහිව ඡන්දය භාවිත කිරීමට බහුතරය මේ මොහොතේ කටයුතු කරනු ඇතැයි සිතිය හැකිය. එබැවින් පළාත් පාලන මැතිවරණයට වියදම් කරනවාට වඩා,එම රුපියල් බිලියන 10ක මුදලින් ජනතාවට නොමිලේ සහල් ලබාදීමට ආණ්ඩුව කැමැත්තක් දක්වනු ලබයි. තම ජීවනෝපාය උපයා ගැනීමට මිනිසුන් සවිබල ගැන්වීම සඳහා, රජයේ අනුග්‍රහය මත යැපෙන සංස්කෘතියෙන් මිදීම අවශ්‍ය වේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් නියම කරන ලද මාර්තු 09 වැනි දිනය තම පාර්ශවයට ඉතා ඉක්මනින් වැඩි වූ බැවින්, මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව පියවර ගනු ලැබීය.

පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කරමින් 2023 අයවැය යටතේ මැතිවරණ කටයුතු සඳහා වෙන් කර ඇති මුදල් රඳවා නොගන්නා ලෙස මුදල් ලේකම්වරයාට සහ නීතිපතිවරයාට නියෝග කළේය. පළාත් පාලන මැතිවරණය මේ මොහොතේ හෝ නුදුරේදී නොපවත්වන බවට දරන ස්ථාවරයෙන් ඉවත්වීමට ආණ්ඩුවට මෙම අධිකරණ තීන්දුව මගින් බලපෑමක් එල්ල කෙරේ. මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන රජය විසින් නිකුත් කරන බවට මුදල් අමාත්‍යාංශය වහාම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. මැතිවරණ සඳහා නව දිනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ තීරණයට රජය අවනත විය යුතු මාර්ගය දැන් පැහැදිලිය. නව දිනය නියම කිරීමට පෙර පාර්ශ්වකරුවන් ගණනාවක් සමඟ සාකච්ඡා කරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර ඇත.

මෙම සුවිශේෂී තීන්දුව ලබා දීමේදී, එවැනිම ගැටලුවක් විසඳීම සඳහා පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවක වාසිය ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබී තිබේ. වරක් පාකිස්ථානයේ රජය කියා සිටියේ මූල්‍ය ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වූ බවයි. එහිදී පකිස්තානයේ ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණය පැවැත්වීම සඳහා පළාත් සභා විසුරුවා හරින දින සිට දින 90 ක කාල සීමාවක් නියම කළේය. මුදල් නොමැති බව පවසමින් මැතිවරණ කල් දැමීමට රජයකට අවසර දීම භයානක පූර්වාදර්ශයක් වනු ඇති බවට ශ්‍රී ලංකාවේ මෙන්ම පාකිස්තානයේ ද කනස්සල්ලක් නිර්මාණය විය. පකිස්ථානය සහ ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් නිරන්තරයෙන් මූල්‍ය සම්පත් හිඟයකට මුහුණ දෙන බැවින්, රජයට පරාජය විය හැකි යැයි හැඟෙන ඕනෑම වේලාවක මැතිවරණයක් කල් දැමීමට මෙම සාධාරණීකරණය භාවිත කළ හැකිය.

දෙරටේම පැවැත්වීමට නියමිත මැතිවරණ පාර්ලිමේන්තු මැතිවරණ නොව, උප ජාතික මට්ටමේ මැතිවරණ වීම සිත්ගන්නාසුළු කරුණකි. මහජන විඥානයෙන් ලිස්සා යමින්, වසර හතරකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණ කල් දමා ඇත. මැතිවරණයකට යෑමෙන් ආණ්ඩුවට විශාල පරාජයක් සහ ඒ ඔස්සේ කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු බවට ඉල්ලීමක් නිර්මාණය වනු ඇතැයි යන කනස්සල්ල දෙරටේම පවතී. පළාත් පාලන මැතිවරණය දැනට නීත්‍යානුකූලව පැවැත්වීමට නියමිත නමුත්, පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා තවත් වසර දෙකකට වැඩි කාලයක් ඉතිරිව ඇත. පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් මිස, පළාත් පාලන මැතිවරණයකින් ලැබෙන අවාසිදායක තීන්දුවකින් ආණ්ඩුව වෙනස් කළ නොහැකි බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමට ඉක්මන්වීමට මෙය හේතුවී ඇත.

ජනාධිපතිගේ විකල්ප

පසුගිය වසර පුරාවට ජනතාව මුහුණ දුන් ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මේ වන විට ආණ්ඩුව දරුණු මැතිවරණ පරාජයකට මුහුණදීමේ සම්භාවිතාවක් පවතී. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට තවත් වසර දෙකහමාරක කාලයක් ඇති බව නීතිමය ස්ථාවරය වුවද, පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව පරාජය වීම නිසා පාර්ලිමේන්තු මැතිවරණය කඩිනම් කරන ලෙස විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් ඉදිරිපත්වීමට ඉඩ ඇති අතර මෙය වීථිවල විරෝධතාවලට තුඩු දිය හැකිය. මෙම කනස්සල්ල ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ “ආණ්ඩුවේ ඕනෑම වෙනසක් පාර්ලිමේන්තු මැතිවරණයක් වැනි නිසි මාර්ග හරහා සිදු කළ යුතු බව සැළකිල්ලට ගැනීම වැදගත්ය. පාර්ලිමෙන්තු මැතිවරණයක් සඳහා වීථි බැසීම විකල්පයක් නොවන අතර, ස්ථාපිත ක්‍රියාවලිය යටපත් කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව සහ නීතියේ ආධිපත්‍යය උල්ලංඝණය කිරීමක් වනු ඇත.”

ආණ්ඩුව වෙනස් කළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය, පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩු පක්ෂය දුර්වල වුවද, කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවන්නේ නැති බවට වන පූර්ව අනතුරු ඇඟවීමකි. පළාත් පාලන මැතිවරණවලින් දරුණු ලෙස පරාජයට පත් වූ ආණ්ඩු, බිඳවැටීමකට ලක් නොවී, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් නීත්‍යානුකූලව පරාජයට පත්වනතුරු බලයේ සිටි බවට අතීතයේ උදාහරණ පවතී. 2018 පෙබරවාරි මාසයේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් පැවැති ආණ්ඩුව දරුණු ලෙස පරාජයට පත් විය. කෙසේ වෙතත්, ආණ්ඩුව පාර්ලිමේන්තු වාරයේ සම්පූර්ණ කාලය සඳහා අඛණ්ඩව බලයේ සිටි අතර, මහමැතිවරණය පැවැත්වුණේ 2020 අගෝස්තු මාසයේදීය. එම මැතිවරණයේදී ආණ්ඩුව බලාපොරොත්තු වූ පරිදිම දරුණු පරාජයකට මුහුණ දුන්නේය. වර්තමානයේදීද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව තම ධුර කාලය අවසන් වනතුරු බලයේ සිටීමට අධිෂ්ඨාන කරගෙන සිටින බව පෙනේ.

2018 පෙබරවාරි මැතිවරණයෙන් පරාජයට පත් වූ ආණ්ඩුවට අත්වූ ඉරණම වළක්වා ගැනීම වත්මන් ආණ්ඩුවට අභියෝගයක් වනු ඇත. වත්මන් තත්ත්වය වන්නේ, 2018 දී අගමැති ධුරය පමණක් දැරූ වික්‍රමසිංහ මහතාට 2018 දී මෙන් නොව, මේ වන විට ජනාධිපති ධූරයේ උපරිම බලයක් හිමිව තිබීමයි. මේ වන විට පාර්ලිමේන්තු වාරය වසර දෙකහමාරක කාලයක්, එනම් එහි සම්පුර්ණ කාලයෙන් අඩක් පසුකර ඇති බැවින්, ජනාධිපතිවරයාට තම අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය ලැබී තිබේ. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට යටත්ව කටයුතු කිරීමට බොහෝ දුරට ඉඩ ඇත්තේ, ඔහු පාර්ලිමේන්තුව විසුරුවා හැර, තමන් පරාජය වීමට ඉඩ ඇති, මේ මොහොතේ පැවැත්වෙන ඡන්දයකට පවතින අකමැත්ත හේතුවෙනි. එහෙයින්, ජනාධිපතිවරයාට තමාගේ අදහස වී ඇති ක්ෂේත්‍ර දෙක, එනම් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම (පිළිකා රෝගියා මෙන් නොසලකා හරින ලද අය ගැන සිහි තබා ගැනීම) සහ රටේ ජනවාර්ගික ගැටුම විසඳීම සඳහා පාර්ලිමේන්තු බහුතරයේ සහාය.ලබා ගැනීමට මේ මොහොතේ අවස්ථාව හිමිව තිබේ.

leave a reply