Breaking News

ජීවිත තීරණය කරන කොළ

රසිකා මුහන්දිරමිගේ කොළම

මේ කොළ පණ නැතත් තීරක සාධකයෝය.
හඳහන කොළ අතර ප්‍රමුඛය.උපන් වෙලාව නැකත් කොට ජීවිතය ලියවෙන කොළය හඳහනයි.

එතැන් සිට ජීවිතයේ බොහෝතැන්වල හඳහන සුපර්ස්ටාර් වේ.

කෙල්ලක නම් වැඩිවිය පත්වන දා ඇගේ අනාගතය හඳහනට බාරවේ.

ඇගේ චරිතය ,විවාහය,දරුවන් ,රැකියාව මෙතැන්සිට හඳහනට බාරය.අවුරුදු ගණන් පෙම්කළ වුන් පවා මොහොතකින් ඈත්කරන්නට හඳහනට ඇත්තේ අරුම බලයකි.එසේම නොගැළපෙන වුන් ගළපන්නටත්,කසාද කඩා සීසීකඩ කරන්ටත්,ලෙඩ හඳන්ටත්,නසන්ටත් කොටින්ම කිව්වොත් හිත් හඳන්ටත්,හිත් නසන්ටත් හඳහනට හැක.

තවත් තීරක කොළයක් වන්නේ කසාද සහතිකයයි.නීතියෙන් තොරව ගොඩනැගුනුණු ප්‍රේමය නීතියෙන් කොටුකළ දා සිට බොහෝ ප්‍රේමවන්තයන්ට කොටුවෙන් පැනීමට හිතේ.

සහතිකය ප්‍රේමය තහවුරු කිරීමට වඩා ප්‍රේමය නීතිගතකරන සම්මතයක් බැවින් සම්මතයට එරෙහිව සිත් කැරලි ගසයි.නමුත් ගත එයට සූදානම් නොවෙයි .කසාදය දෙබිඩ්ඩක් කරන්නට බොහෝවිට සහතිකය මුල් වෙයි.

කසාද සහතිකය නොලැබුනානම් බොහෝ ප්‍රේමවන්තයින් සදාතනික ප්‍රේමවන්තයෝය.

ඊළඟ තීරක සහතිකය උප්පැන්න සහතිකයයි.උප්පැන්නය හොරා අධ්‍යයනය කරන්නේ කුහකයෝය. වාසගමින් කුලයත් ,සුජාතක බව පියාගේ නමිනුත් සොයයි.බොහෝවිට පාසල්වලට ළමයි බාරදෙන විටම හංවඩු සහතිකය වන්නේ උප්පැන්න සහතිකයයි.

එසේම ප්‍රතිඵල සහතික,උපාධි සහතික ,චරිත සහතික මේ ඔක්කොම කොළය.නමුත් මේ කොළ අපේ ජීවිතවල ගාමක බලවේගයෝය.අපි අල්මරි පුරා සැවැන්දරා මුල් දමා,ලැමිනේට්කර පණමෙන් කොළ රකිමු.

එහෙත් කොළවල සටහන් නොවූ ජීවත අගයන් රැසක් අපි අතර ඇත.නමුත් කොළ මිනුමට අහුනොවෙන එකී අගයන් ජීවිතවල සැඟවුන ,වටිනාකම් නොලත් ජීවන බලවේගයෝය …

leave a reply