Breaking News

වෙළඳපොලේ පොහොර ගුණාත්මක  නැහැ. සල්ලි වෙනුවට ආණ්ඩුව ගුණාත්මක පොහොර දෙන්න පටන් ගන්න ඕනා. 

 ” ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත් වෙලා මාස අටක් ගෙවිලා අවසන්. මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු යල සහ මහ කන්න දෙකක් ඉක්ම ගියා. නමුත් ආණ්ඩුවට තවම බැරි වුණා පොහොර ප්‍රශ්නය විසඳීම සඳහා සැලකිය යුතු මැදිහත් වීමක් කරන්න. පසුගිය මහ කන්නයේ පොහොර ටික වෙලාවට ලබා දෙන්න ආණ්ඩුව අපොහොසත් වුනා. පසුගිය පෙබරවාරි 29 වෙද්දිත් හෙක්ටයාර් 25,000ක භූමි ප්‍රමාණයක් සඳහා පොහොර ලබාගන්න අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීල තිබුණෙ නෑ. ඒ වෙලාවෙ කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිවරයා මාධ්‍යට කිව්වේ ආණ්ඩුව පත්වෙලා තවම කෙටි කාලයයි ඒ නිසා ඊලග කන්නය වෙද්දි පොහොර අර්බුදය විසඳනවා කියලා. හැබැයි දැන් මේ කන්නය වෙද්දිත් පොහොර ප්‍රශ්නයට ආණ්ඩු පාර්ශවයෙන් කිසිම විසඳුමක් නෑ. IMF එකඟතා අනුව මේ පාරත් ආණ්ඩුව සූදානම් වෙන්නේ පොහොර වෙනුවට ගොවියන්ට මුදල් ලබා දෙන්න. නමුත් ඒ මුදල් ටිකවත් අවශ්‍ය වෙලාවට ගොවියගෙ අතට ලැබිලා නෑ. අද වෙනකොට අම්පාර මොණරාගල ත්‍රිකුණාමලය ප්‍රදේශවල ගොයමට දින 45ක් වගේ කාලයක් ගත වෙලා. නමුත් තවමත් මේ දිස්ත්‍රික්කවල පොහොර සහනාධාරය නොලැබුණු ගොවීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. 

පසුගිය කාලෙම ගොවීන් මුහුණ දුන්න බරපතළ ප්‍රශ්නයක් තමයි පොහොරවල ප්‍රමිතිය සම්බන්ධ ප්‍රශ්නය. අපි දන්නවා පහුගිය කාලේ වෙළඳපොලේ තිබුණු යූරියා පොහොරවලින් ගොයම වර්ධනය වීම නිසි පරිදි වුනේ නෑ. ගොයම් පැල කහ පාට වීමක් තමයි වුනේ. සාමාන්‍යයෙන් වී වගාවට පොහොර යෙදුවේ දින 14කින් , දින 28කින්, දින 35කින්,  දින 42කින් වගේ නිශ්චිත කාල සටහනක් අනුව. නමුත් මේ ප්‍රශ්නය නිසා සතියෙන් සතිය කුඹුරුවලට පොහොර යොදන්න සිදු වුණා. එදත් අපි දිගටම ආණ්ඩුවලට කිව්ව කතාව තමයි වෙළඳපොලට එන පොහොරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් තියනවා කියන කාරණය. අපි කිව්වේ ආණ්ඩුව මැදිහත් වෙලා ගොවීන්ට ගුණාත්මක පොහොර ලබා දෙන්න කියලා. නමුත් ඒක කනකටවත් නොගෙන දිගින් දිගටම ගොවීන්ට පොහොර සඳහා මුදලක් තමයි ආණ්ඩුව ලබා දුන්නේ.  වෙළඳපොලේ පොහොර ගුණාත්මක නෑ කියලා අපි කියපු කතාව දැන් පසුගිය 14 වෙනිදා ඔප්පු වුනා.

        ඒ  පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිරිපුර ප්‍රදේශයේ ඉන්න වික්‍රමනායක කියන ව්‍යාපාරිකයගේ ගබඩාවක තිබිල 20%ක පමණ නයිට්‍රජන් ප්‍රතිශතයක් අඩංගු ඇමෝනියම් පොහොර යූරියා විදිහට වෙළඳපොලට නිකුත් කිරීමේ ජාවාරමක් හසුවීමත් එක්ක. හැබැයි තවමත් ඒ වංචනික ව්‍යාපාරිකයව අත් අඩංගුවට අරගෙන නෑ. ආණ්ඩුව බලයට එන්න කලින් ලොකු ලොකු කතන්දර කිව්වා හොර ඇල්ලීම ගැන. හැබැයි අද වෙද්දි ආණ්ඩුවේ දැලට අහු වෙන්නේ හාල්මැස්සෝ විතරයි. තෝරු මෝරු ඔක්කොම පැනලා යනවා. මාස ගණං පොලිසිය සමහරුන්ව හොයනවා මෙන්න ඒ පුද්ගලයා හෙමින් සැරේ ටයිකෝට් ගහගෙන ගිහිල්ලා උසාවියේ වාඩිවෙලා ඉන්නවා. මේක තමයි ආණ්ඩුවේ හොරු ඇල්ලිල. දැන් මේ සිරිපුර පොහොර වංචාවට සම්බන්ධ වෙච්ච අපරාධකරුව සතියක් ගිහිල්ලත් අත් අඩංගුවට ගන්න කිසිම මැදිහත්වීමක් කරලා නෑ. සිරිපුර පොලීසියයි පොළොන්නරුව අපරාධ කොට්ඨාසයයි දැන් කරලා තියෙන්නේ එම ස්ථානයේ හිටපු සාමාන්‍ය මිනිස්සු දොළොස් දෙනෙක්ව කුදලගෙන එන එක. එතනින් 10 දෙනෙක්ම එම ස්ථානයේ දෛනික කුලී වැඩ සඳහා තමයි ඇවිත් තියෙන්නේ. දැන් ඔවුන්ව මේ මාසේ 28 වෙනකල් ඔවුන්ව රක්ෂිත බන්ධනාගාරගත කරලා. මාධ්‍ය ප්‍රශ්නකළාම පොලීසිය පිළිගන්නවා මේ සිද්ධියට මේ පුද්ගලයින් සම්බන්ධ නෑ කියලා. හැබැයි ඒ පොලීසියම උසාවියේදී ඇප දීමට විරුද්ධ වෙනවා. දැන් පොලිසියත් උත්සහා කරමින් ඉන්නේ පොහොර වංචාවට ඇත්තටම සම්බන්ධ කූට ව්‍යාපාරිකයව බේරලා මේ කුලී වැඩට ආව අයගෙ පිටින් දාලා මේ ප්‍රශ්නය අවසන් කරන්න.

            අනිත් කාරණය තමයි මෙවැනි ප්‍රශ්නයක් වුනාම ජාතික පොහොර ලේකම් කාර්‍යලයේ හැසිරීම ප්‍රශ්න සහගතයි. 1988 අංක 68 දරණ පොහොර විධිමත් කිරීමේ පනත අනුව ලංකාවේ පොහොර සම්බන්ධයෙන් සම්පූර්ණ අයිතිය තියෙන්නේ ජාතික පොහොර ලේකම් කාර්‍යාලයට. දැන් පසුගිය 14 වෙනිදා තමයි මේ සිද්ධිය වුනේ හැබැයි දැන් අද 21 වෙනිදා. අද වෙනකල් ජාතික පොහොර ලේකම් කාර්‍යාලය කිසිඳු මැදිහත් වීමක් කරලා නෑ. අත් අඩංගුවට ගන්න වෙලාවේ ප්‍රමිතියෙන් බාල පොහොර බෑග් 1566ක් ලොරිය ඇතුළේ තිබිලා තියනවා. තව පොහොර බෑග් 1965ක් ගබඩාවේ තිබිලා තියනවා. ඒ වගේම තමයි හිස් කවර 3500ක් හසු වෙලා තියනවා. එතකොට පැහැදිලී මේක කාලයක් තිස්සේ කරගෙන ගිය වංචාවක්. ඒ කියන්නේ අදටත් මේ බාල පොහොර වෙළඳපොලේ තියනවා. අදාළ ව්‍යාපාරිකයට අයිති කඩත් මේ අතරේ තියනවා. ඒවා තවමත් විවෘතයි. අදාළ බාල පොහොර වෙළඳපොලෙන් ඉවත් කරන්නවත් ජාතික පොහොර ලේකම් කාර්‍යාලය තවම කටයුතු කරලා නෑ. 

    අපි ගොවි අරගල ව්‍යාපාරය විදිහට ආණ්ඩුවට කියනවා ආණ්ඩුව දිගින් දිගටම මේ ආකාරයෙන් නම් කටයුතු කරන්නේ ලංකාවෙ ගොවි සංවිධාන ඒකාබද්ධ කරගත් ක්‍රියාමාර්ගවලට යන්න අපිට සිදුවෙයි. ඒ නිසා ඉකමනින් මේ වංචනික ව්‍යාපාරිකයාව අත් අඩංගුවට ගත යුතුයි. අනිත් එක තමයි ගොවීන් දිගින් දිගටම පීඩාවට පත් වෙන පොහොර ප්‍රශ්නයට කඩිනම් විසඳුමක් අවශ්‍යයි. ඒ සඳහා මැදිහත් වෙන්න කියන මතක් කිරීම අපි ආණ්ඩුවට කරනවා.”

leave a reply