Day: February 26, 2021

  • ස්මාර්ට් වී තිබෙන විදෙස්/රාජ්‍ය සේවය

    ස්මාර්ට් වී තිබෙන විදෙස්/රාජ්‍ය සේවය

    මේ කථාව විදෙස්ගත ලාංකීය ශ‍්‍රමිකයා මැදිවී සිටින ගැටලූ රාශියක් පිළිබඳවය. කථාව ආරම්භ කරන්නේ කොතනින්දැයි තෝරාගැනීමට අපහසු ආකාරයට ප‍්‍රශ්න ගොඩගැසී ඇත. වසංගත තත්වයක් තුල තම කටයුතු සංවිධානය කරන්නේ කෙසේද යන්න සිතා බලන්නට ප‍්‍රමානවත් කාලයක් ගතවී තිබුනත් මිනිසුන් අපහසුතාවයට ලක් නොකර කාර්යක්ෂම සේවයක් ලබා දෙන්නට ඔවුන් තවමත් අපොහොසත්ව ඇත. ඉහල සිට පහලට වල්වැදී ඇති රාජ්‍යයකින් කුමක් බලාපොරොත්තු වන්නද එසේනම් ජනතා අයිතීන් දිනා ගන්නට හඩ නැගිය යුතුමය.

    විදේශගත ලාංකිකයා මැදිවී සිටින ගැටලූ රාශියකි.

    හදිසියකදී හෝ ගසාකෑමෙන්/සූරාකෑමෙන් තොරව තම රටට යන්නේ කෙසේද කවදාද යන ගැටලූව. පොදුවේ විදෙස්ගතව රැකියා කරන ලාංකිකයින්හට ලංකාවට යෑමට ඒමට පහසු මගක් තවමත් නිර්මාණය වී නැත. කෝවිඞ් වසංගත තත්වය තම ජාවාරම කරගනිමින් කටයුතු කිරීම මෙම අර්බුදයට ප‍්‍රධාන හේතුව වී තිබේ. ඒ නිසා ගුවන් ටිකට්පතේ සිට පීසීආර් හොටෙල් නිරෝධායන ආදිය සඳහා විශාල මුදලක් වැයකිරීමට සිදුවී ඇත. මෙහිදී ඉතා පහසුවෙන් නිසි නියාමනයක් යටතේ තම නිවෙස් තුල නිරෝධායනයට යොමු කිරීමට හැකියාව තිබුනත් එය නොකරමින් සිටින්නේ ගසා කෑමට හැර වෙන කුමකටද. ඉතාලි සහ එංගලන්ත අත්දැකීම් සලකා බලන විට මෙය තවත් තහවුරු වේ. මැදපෙරදිග කලාපයේ සේවය කරන අයගේ තත්වය ඉතා බරපතලය. ඔවුන්ගේ ගැටලූව රැකියා අහිමිව වැටුප් අහිමිව නවාතැන් අහිමිව ඉන්නට කන්නට දෙයක් නැතිව කාන්තාරයේ අතරමංව කිසිදු හවුහරනක් නොමැතිව අසරණවී සිටීමයි. එවන් අසරණ කමකට මුහුණදී සිටින එම ජනයා වෙනුවෙන් හෝ සහනදායී ක‍්‍රමවේදයක් අනුගමනය කල යුතුය. ඔවුන්වද මේ ආකාරයට සූරාකෑම ශිෂ්ටසම්පන්න රටකට තරම් නොවේ. එය තවත් තහවුරු වන්නේ අනෙක් සියලූ රටවල් ඔවුන්ගේ ජනයා තම රටවලට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබීමයි. ඔවුන්ගේ තත්වය තේරුම්ගෙන එයට ප‍්‍රමුඛතාවය දී එම ගැටලූව විසඳීමට මැදිහත්වන රජයක් නොමැති වීම අප රටේ ජනයාගේ ඛේදවාචකයයි.

    මැදපෙරදිග කලාපයේ ශ‍්‍රමිකයින්ට ප‍්‍රමුඛතා වැඩපිළිවෙලක් සකසන්නේ කවදාද

    ඊටම එක්වුන තානාපති කාර්යාලවල කටයුතු සිදුවන ආකාරයද ඉතා ශෝචනීයයි. මැදපෙරදිග කලාපයේ මේ මොහොතේ ප‍්‍රමුඛ ගැටලූව වන්නේ අසරණවී සිටින තම රටේ පුරවැසියන් ආරක්ෂා කරන්නේ කෙසේද යන්නයි. එහෙත් එවන් වගකීමක් තමන්ට ඇතිබව හෝ ඔවුන් දන්නේදැයි සැකයකි. වෙනත් රටවලට අවධානය යොමුකරන විට ඇත්තේ වෙනත් ගැටලූය. බැලූ බැල්මට ඉතා පහසුවෙන් ඉටුකල හැකි කටයුතු පවා ජනයා පීඩාවට පත්කරන ගැටලූ බවට ඔවුන් විසින්ම පත්කර තිබීම ඛේදවාචකයකි.

    ඉතාලියේ තානාපති සේවයේ නොහැකියාව

    ඉතාලියේ රෝමයේ තානාපති කාර්යාලය හා මිලානෝ කොන්සල් ජෙනරල් කාර්යාලයේ කටයුතු අතර ඇත්තේද වගකීම් විරහිත තත්වයකි. මේ දිනවල යුරෝපයට තද සීතලය. කොරෝනා සමග කටයුතු කිරීමද මන්දගාමීය. එසේනම් කටයුතු සැලසුම් කල යුත්තේ ඒ සියල්ල සලකා බලාය. දැන් සීත කාලයෙන් සැලකිය යුතු ප‍්‍රමානයක් ගෙවීගොස් තිබියදීත් කිසිදු සැලැස්මක් නැත. මිලානෝ කොන්සල් කාර්යාලය දිනකට ඇතුල්කර ගන්නේ 45 දෙනෙකු පමනි. එම ප‍්‍රමානයට හෝ සේවා සපයන ඔවුන් රස්තියාදු නොකරන කිසිදු වැඩපිළිවෙලක් සකස්කර නොතිබීමයි. දින වෙලාවන් කලින් වෙන්කරවාගෙන සේවා සැපයීමේ ක‍්‍රමයක් පහසුවෙන් සකස් කල හැකි වුවත් මේ දක්වා ඊට අවධානය යොමුකර නැත. කිසියම් අංක ප‍්‍රමානයක් දිනකට නිකුත් කිරීමත් ඊට අමතරව හදිසි කටයුතු වෙනුවෙන් තවත් කොටසක් වෙන්කිරීමත් කරන්නේනම් පැමිනෙන්නන්ට ඉතා පහසුය. මිනිසුන් පැමිනෙන්නේ දුර ගෙවාගෙන මුදල් වියදම් කරගෙන රැකියාවන්ගෙන් නිඩාඩු අරගෙනය. එසේ පැමිනියත් තම කාර්යය කරගැනීමට හැකිවේදැයි කිසිදු සහතිකයක් නැත. මේ වන විට පාන්දර 3.00 සිට මිනිසුන් පැමින එහි රැඳී සිටී. පැමිනෙන්නන් විසින්ම කොලයක් ගෙන පැමිනෙන ආකාරයට නම් ලැයිස්තුවක් සකස් කරයි. ඒ වෙනත් ක‍්‍රම මගින් තම අවස්ථාව අහිමිවේයැයි යන බියද සමගිනි. තම පුද්ගලික වාහනයක යන කෙනෙකුට යම් සහනයක් ඇත. ඒ තානාපතිකාර්යාලය විවෘතකරන තුරු සීතලෙන් ආරක්ෂාවීමට හැකි නිසාය. එහෙත් පොදු ප‍්‍රවාහන සේවා භාවිත කරන අයට මුලූ කාලයම රැඳී සිටීමට සිදුවන්නේ සීතල කාගෙනය. කුඩා දරුවන් සමග පැමිනෙන අයවලූන් පත්වන්නේ ඉමහත් අසීරුතාවයකටය. ඒ අතර මෙය ආදායම් මාර්ගයක් කරගත් පිරිසක්ද සිටී. ඒ දුරබැහැර සිට පැමිනෙන අය වෙනුවෙන් ඒ ප‍්‍රදේශයේ වාසය කරන අය පැමින නම ලියා ඔවුන් පැමිනි පසු යුරෝ 20ක් හෝ 30ක් ඒ වෙනුවෙන් අයකර ගැනීමයි. ගිය සතියේ පාන්දර 4.00ට ගිය හිතවෙතෙකුට ලැබී තිබුනේ අංක 8ය. ඔහු යන විටත් තවත් 7 දෙනෙකු පැමින සිටි අතර ඔවුන් පවසා තිබුනේ පාන්දර 3.00 සිට තමන් සීතලේ ගැහි ගැහි මෙහි සිටින බවයි. පාන්දර 5.30 වන විට එදිනට අදාල අංක 45 සම්පූර්ණ වී ඇත. උදේ 9.00 වන විට පැමින සිටි පිරිස 70 ඉක්මවා තිබුනි. ඉතින් ඒ අයට සිදුවන්නේ හිස් අතින් ආපසු හැරෙන්නටය. එසේ හිස් අතින් යන්නට සිදුවන්නේ ඇයි එසේ නොවී එය වලක්වන්නට ඉතා පහසුවෙන් හැකියාව තිබුනද ඊට වගකීම ගන්නට කිසිවකුත් නැත. තාක්ෂණය මෙතරම් පහසුවෙන් භාවිතා කරන්නට හැකියාව තිබියදී පවා කලින් දින සහ වෙලාවන් වෙන්කරදී මෙම කටයුත්ත පහසු කරන්නට ඇති හැකියාව ජනතාව වෙත ලබා නොදෙන්නේ කාගේ වුවමනාවටද නොඑසේනම් නොසැලකිල්ලටද එසේ පාන්දර සිට පැමිනෙන අයවලූන්ගේ කටයුතු අනුව එදින හවස් වන තුරුම රැුඳී සිටීමට සිදුවේ. සාමාන්‍ය කාර්යාල වෙලාව වන්නේ සවස 3.30 වන අතර සමහර දිනවල පැමිනෙන්නන්ගේ බලපෑම නිසාම සවස 5.30 දක්වාද කටයුතු කර ඇත.

    රෝමයේ තානාපති කාර්යාලයේ තත්වයද මීට වෙනස් නැත. දිනකට එහි අංක 60ක් පමන ලබා දේ. එහිදීත් ජනතාවගේ බලපෑම මත සමහර දිනවල එය 100 දක්වා වැඩිවී ඇත. එහිද පාන්දර 2.00 සිට පැමිනෙන ජනතාවට ඉන්නට ඇත්තේ දෙතුන් දෙනෙකුට සරිලන ඉඩක් පමනි. නාපෝලි වැනි නගර වලින් තානාපති කාර්යාල කටයුතු සඳහා පැමිනෙන්නන්ට වෙනම සේවා සපයන ඒජන්සි කරුවන්ද බිහිවී සිටී. මේ වන විට වෙනදාට වඩා වැඩි මුදලක් ඔවුන් අයකර ගනී. ඒ ප‍්‍රවාහන කාර්යයට අමතරව අංකයක් ලබා දීමේ කටයුත්තද ඔවුන් බාරගෙන තිබෙන බැවිනි. එහිදී සිදු වන්නේ පාන්දර සිට අංක ලබාගැනීමට පැමිනෙන්නන් පෝලිමේ සිටින අතර මෙසේ ඒජන්සි කරුවන් වෙත අවශ්‍ය අංක වෙන්කර දීමට කාර්යාලය ඇතුලත කිසිවකු කටයුතු කිරීමයි. තානාපති කාර්යාලයට වේලාවට පැමිනෙන එම ඒජන්සිකරුවන් කාර්යාල තුලට ගොස් අදල වෙන්කල අංක ගෙන තමන් සමග පැමිනි අයවෙත ලබා දේ. එවිට පාන්දර පෝලිමේ සිටිය අයවලූන්ද පසුකර ඔවුන්ගේ කාර්යයට අවස්ථාව හිමිවේ. ඒ අතර තානාපති ජංගම සේවාවන්ද විටින් විට ක‍්‍රියාත්මක වුවත් මේ දිනවල එයද ඇනහිට ඇත. එවන් කටයුත්තක් සංවිධානය කිරීමේදී පවතින්නේද තානාපති සේවයට ආවේනික වූ දේශපාලන ගැතිකමමය. ඒ නිතරම එම සේවාව සංවිධානය කිරීමේ අවස්ථාව හිමිවන්නේ පවතින ආණ්ඩුවට පක්ෂපාතී සංවිධාන හෝ කණ්ඩායම් වලටය. කෙසේ වෙතත් පෙබරවාරි 26 සහ මාර්තු 6 දිනයන්හි නාපෝලි නගරයේ තානාපති ජංගම සේවා පවත්වන බවට පොදු පෙරමුණ හා සිංහල සංවිධානය නමින් දැන්වීම් පලකර තිබුනි. නමුත් 23 වන දින වන විට කොරෝනා නිසා එය අවලංගු කල බවට දැන්වීම් පලකර තිබුනි. එහෙත් තානාපති කාර්යාල වෙබ් පිටුවේ ජංගමසේවය පිළිබඳ කිසිවක් සඳහන්ව නොතිබුනි. එය පැවැත්වීම හෝ අවලංගු කිරීමට අදාල කිසිවක් එහි සඳහන්ව නොතිබුනි. එහිදී මතුවන්නේ ගැටලූවකි. යම් හෙයකින් ජංගම සේවය එදින පැවතියා නම් එදින රෝමයේ තානාපති කාර්යාලයට පැමිනෙන්නන්ට සිදු වන්නේ රස්තියාදු වී හිස් අතින් යන්නටය.

    සැමදාම වාගේ සිදුවූ ආකාරයට මේ මොහොතේද සිදුවන්නේ ලාංකීය ජනතාවට සරිලන සේවාවක් සැපයීමට ඔවුන් අසමත් වීමයි. එයට මූලිකම හේතුව වූයේ පත්වී එන තකානාපතිවරයාගේ සිට බොහෝ අය දේශපාලන හෙන්චයියන් වීමයි. ඔවුන් කිසිසේත්ම ජනතාවට වගකියන්නේ නැත. ඒ අතර සිටිනා අවංක නිළධාරීන්ගේ කැපවීම නොවන්නට මේවා මෙයටත් වඩා අකාර්යක්ෂම ආයතන වේ. ඉහත දැක්වූ කරුණු වලට අමතරව අදාල ලිපි ලේඛණ බාරදී තම ලේඛණ ලැබෙන තුරු විශාල කාලයක් බලා සිටීමටද බොහෝ පිරිස් වලට සිදුවී ඇත. ගමන් බලපත උප්පැන්න සහතික පුරවැසි සහතික නැවත ලබාදීමට වැඩි කාලයක් ගතවන නිසා ඉන්ද බොහෝ දෙනෙක් අපහසුතාවයන්ට ලක්වේ. ඒ විතරක් නොවේ තම අවශ්‍යතා අනුව එම ලේඛණ ඉක්මනින් ලබා ගැනීමට දරණ උත්සහයන් වලදී විවිධ පුද්ගලයින්ට මුදල් ගෙවීමට සිදුවී ඇති බවද අප හොඳාකාරවම දනිමු. වෙනත් ලිපියකින් ඒ පිළිබඳ සාක්ෂි සහිතව හෙළිදරව් කිරීමට අප පසුබට නොවෙමු. ඒ නිසා රෝමයේ තානාපතිකාර්යාලයට හා මිලානෝ කොන්සල් ජෙනරල් කාර්යාලයට අප දැඩිව කියා සිටින්නේ තවදුරටත් ජනයා පීඩාවට පත් නොකර තම සේවාව වගකීමෙන් ඉටු කිරීමට කටයුතු කරන ලෙසයි.

    තීමස් විජිත්
  • ඇන්ටිජන් පරීක්ෂණයට බේත් කාඩ් එක රැගෙන හෙට පැමිණෙන්න

    ඇන්ටිජන් පරීක්ෂණයට බේත් කාඩ් එක රැගෙන හෙට පැමිණෙන්න

    Covid -19 ඉක්මන් පරීක්ෂණයකට ඔබටත් අවස්ථාවක් .2021 පෙබරවාරි 27 සෙනසුරාදා නාපොලියේ OPG ශාලාවේදී . මේ සඳහා අවස්ථාව ලැබෙන්නේ 60 දෙනකුට පමණයි.

  • නීති ශිෂ්‍යයෙකුට පහරදුන් පෑලියගොඩ පොලීසියේ නිළධාරීන් පිරිසකගේ වැඩ තහනම්

    නීති ශිෂ්‍යයෙකුට පහරදුන් පෑලියගොඩ පොලීසියේ නිළධාරීන් පිරිසකගේ වැඩ තහනම්

    පෑලියගොඩ පොලිස් ස්ථානය තුලදී නීති සිසුවෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකු ගේ සේවය අත්හිටුවීමට පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදී තිබේ.

    මේ එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා තිබේ.

    පොලිසිය විසින් රඳවාගෙන සිටි සැකකරුවෙකුට ආහාර පාර්සලයක් රැගෙන පැමිණි නීති සිසුවෙකුට පෑලියගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පහරදී දරුණු ලෙස තුවාල කර ඇතැයි වාර්තා විය.

    සැකකරුවන්ට සහ සාමාන්‍ය ජනතාවට එරෙහිව කෲරත්වය මුදාහැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය ඉහළ අපකීර්තියක් උසුළන මේ පිළිබඳ අදහස් දක්වන බොහෝ දෙනෙකුගේ අදහස වී තිබේ.

    මිගාර ගුණරත්නට පහරදීම සම්බන්ධයෙන් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් සිය ෆේස්බුක් පිටුවෙහි සඳහන් කළ විස්තරය පහතින් දැක්වේ.

    නීති විද්‍යාලයේ අවසන් වසරේ සිසුවෙකු වන මිගාර ගුණරත්න ට පෑලියගොඩ පොලිස් ස්ථානය තුල දී සහ පොලිස් වාහනයක් තුල දී බරපතල ලෙස පහරදී තුවාල සිදු කර ඇත.
    සිය ජ්‍යෙෂ්ඨ නීතිඥයාගේ සේවාදායකයෙකු වෙත කෑම පාර්සලයක් රැගෙන ගිය අවස්ථාවේ දී පෑලියගොඩ පොලීසියේ ලින්ටන් සිල්වා සහ තවත් පොලිස් නිලධාරින් 10 දෙනෙකු විසින් පොළු සහ අතින් පයින් මෙම පහරදීම සිදු කර ඇත.

    පෙබරවාරි 23 දින නීතිඥ චරිත ගුණරත්න මහතා සිය සේවාදායකයෙකු අත්අඩංගුව ගැනීමෙන් පසුව පෑලියගොඩ පොලිස් ස්ථානයට ගොස් ඇත. එහි දී ලින්ටන් සිල්වා යන පොලිස් නිලධාරියා සිවිල් ඇදුමෙන් සහ සෙරෙප්පු දෙකක් දමාගෙන සේවාදායකයාට තර්ජනය කර ඇත. මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට පත්වී තිබූණි. ‘‘අනෙක් සැකකාරයොන්ට චෝදනා ගොඩක් තියෙනවා. ඒ සිද්ධියකට සම්බන්ධ කරලා තමුසේත් ඇතුලට දානවා යැයි‘‘ ජනතාව ඉදිරියේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් නීතිඥවරයා මෙහි දී පොලිස් නිලධාරියාට සිය විරෝධය පළ කර ඇත.

    සිවිල් ඇදුමෙන් සිටි පුද්ගලයාට ‘සාජන්‘ යැයි නීතිඥ චරිත ගුණරත්න විසින් අමතා ඇත. පසුව අනාවරණය වී ඇත්තේ ඔහු CI ලින්ටන් සිල්වා බවයි. ලින්ටන් සිල්වා විසින් නීතිඥ චරිත ගුණරත්නට බැන වැදුණු බවත් ඔහුගේ නීතිඥ හැඳුණුම්පත රැගෙන එහි විස්තර සිය සටහන් පොතෝ සටහන් කර ගත් බවත් නීතිඥවරයා පවසයි.

    මෙම සිද්ධියෙන් දින දෙකකට පසුව පෙබරවාරි 25 දින චරිත ගුණරත්න නිතිඥවරයා ගේ උපදෙස් මත ඔහුගේ රුවට බොහෝ සමානකම් ඇති ඔහුගේ සහෝදරයා වූ නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න සැකකරුට ආහාර පැකට්ටුවක් රැගෙන පොලීසියට ගොස් ඇත. එහි දී පොලිස් නිලධාරීන් මිගාර ගුණත්නට ‘මෙතන ප්‍රශ්න ඇතිකළේ තමුසේ නේදැයි‘‘ යි අසා පහර දී ඇත. කෙසේ නමුත්, පහරදෙන අතර මිගාර ගුණරත්න යනු හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ගේ පුතා බව කිසිවෙකු විසින් පොලීසියට පවසා ඇත. ඒ සමඟම පොලිස් නිලධාරීන් මොහු අංක එන්ඊ 0825 දරණ පොලිස් ජීප් රථයෙන් රැගෙන ගොස් නැවත පහර දී ඇත.

    සිද්ධිය සමතයකට පත් නොවන්නේ නම් රාජකාරියට බාධා කිරීම යටතේ අත්අඩංගුවට ගන්නා බවට පොලීසිය මිගාර ගුණරත්නට තර්ජනය කර ඇත. බරපතල තුවාල සහිතව රාගම රෝහළ වෙත ඇතුළත් කළ මිගාර ගුණරත්න ට ටිකට් කපා රෝහලෙන් පිට කිරීම වෛද්‍යවරුන් විසින් ප්‍රතික්ෂේප කොට ඇත. ඒ සමඟම, තුවාලකරුගෝ තත්වය පිළිබඳවත් පොලීසියේ බලපෑම පිළිබඳවත් වෛද්‍යවරුන් විසින් සටහන් තබා ඇත.

    පොලීසියක් තුල සිදුවන පහරදීම්, පොලිස් නිලධාරින් විසින් සිදු කරන පහරදීම් බොහෝමයක් අවසන් වන්නේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ වෙනත් අපරාධ චෝදනාවක් සැකකරුවන්ට එරෙහිව ගොනු කිරීමෙනි. නීතිඥයින්ට තර්ජනය කිරීම හා පහරදීම දක්වාම තත්වය වර්ධනය වීම මිලේච්ඡ තත්වයකි.

    සැකකරුවෙකුට තර්ජනය කිරීම පිළිබඳව පොලීසියට විරෝධය පළ කළ නීතිඥ චරිත ගුණරත්න යැයි වරදවා වටහා ගෙන අවසන් වසරේ නීති ශිෂ්‍ය මිගාර ගුණරත්නට පහරදී ම සිදුව ඇතැයි පෑලියගොඩ පොලිස් නිලධාරියෙකු මා සමඟ පැවසීය. (දෙදෙනාම රූපයෙන් බොහෝ සෙයින් සමානය)

    ගුනරත්න ට සිදු කළ පහරදීම් හේතුවෙන් රෝහල් ගත කර ඇති මිගාර ගුණරත්න ගේ ඡායාරූප මේ සමඟ අමුණා ඇත.

    Note – නීතිඥ චරිත ගුණරත්න හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ගේ වැඩිමහල් පුත්‍රයා ය. ඔහු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති කොමිෂන් සභාවේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායමේ ද සාමාජිකයෙකි. චරිත යැයි වරදවා වටහාගෙන පොලිස් නිලධාරීන් (ඔහු නීතිඥයෙකු බව හොදින් දැන) ප්‍රහාරය එල්ල කර ඇත්තේ රූපයෙන් ඔහු හා සමාන සහෝදරයා වන මිගාර ගුණරත්න වෙත ය. මිගාර ගුණරත්න නීති විදුහලේ අවසන් වසර සිසුවෙකි.

    • රජිත් කීර්ති තෙන්නකෝන්

     

     

  • මෛත්‍රී ගැන හොයන්න බලයක් දීලා නැහැ – පාස්කු වාර්තාව ගැන ශ්‍රීලනිපයෙන් නිවේදනයක්

    මෛත්‍රී ගැන හොයන්න බලයක් දීලා නැහැ – පාස්කු වාර්තාව ගැන ශ්‍රීලනිපයෙන් නිවේදනයක්

    අසම්පුර්ණ හා තමන්වෙත ලබා‍දෙන ලද විධානය පරිදි සකස්නොකරන ලද පාස්කු කොමිෂන් සභා වාර්තාව ප්‍රතික්ෂේප කිරීම හැර ‍වෙන කලයුතු ‍දෙයක් ‍නොමැතිබව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කාරක සභාව ඒකමතිකව තීරණය කල බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින්කිය සිටියි.

    එහි සඳහන් වන්නේ මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කරන ලද එකී කොමිෂන් සභාවේ විෂය පථය පිළිබඳව සළකා බැලීමේදී පැහැදිලිවම එකී කොමිෂන් සභාව විසින් රාජ්‍ය සේවකයින් නිලධාරීන් වශයෙන් සිටි හෝ දැනට සිටින තැනැත්තන් මෙම සිද්ධි දාමයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධතා ඇත්දැයි සොයා බලා වාර්තා කරන ලෙස නියෝග කර ඇති නමුත් කිසිසේත්ම රාජ්‍ය නායකයා හෝ අමාත්‍යවරුන් ඇතුළු දේශපාලන නායකයින්ගේ ක්‍රියාකලාපයන් ඔවුන් වෙත පැවරී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගකීම් ක්‍රියාත්මක කිරීම අදාල හෝ වගකීම් පැහැර හැරීම පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට කිසිඳු බලයක් ලබාදී නොමැති බවයි.

    මෛත්‍රීපාල සිරිසේන පිළිබඳව කර ඇති ප්‍රකාශයන් කොමිෂන් සභාව වෙත පවරන ලද බල සීමාව තුලට නොවැටෙන එයින් ඔබ්බට ගිය ක්‍රියාමාර්ගයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව පවසා සිටියි.

    සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

    මාධ්‍ය නි‍‍වේදනය

    2019 අප්‍රෙල් 21 දින ලංකාවේ කතෝලික ජනතාව සහ විදේශ සංචාරකයින් ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද චිරස්ථීන බෝම්බ ප්‍රහාරය හේතුවෙන් මියගිය හා තුවාල ලැබූ සමස්ථ කතෝලික බැතිමතුන් සහ ඔවුන්ගේ ආදරණීයන් මෙන්ම, කොළඹ ප්‍රධාන හෝටල් කිහිපයක් තුළ සිදුවූ ප්‍රහාරය තුළින් මියගිය හා තුවාල ලැබූවන් සහ ඔවුන් වෙනුවෙන් ශෝක වන්නන් පිළිබඳවද අප පක්ෂය හා එහි සාමාජිකත්වයේ දැඩි සංවේගය පළමුව එම සියලු දෙනා වෙත පළ කර සිටිමු. එසේම එම සියලු දෙනා වෙනුවෙන් යුක්තිය හා සාධාරණත්වය ඉටුවිය යුතු බවද දැඩිව අවධාරණය කරමු.

    පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබදව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශයන් පිළිබඳවද, විශේෂයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිළිබඳව එම වාර්තාවේ සඳහන් කරුණු හා නිර්දේශයන් පිළිබඳව අද දින පැවැත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සිය දැඩි අවධානය යොමු කරන ලදී.

    ඉහතින් සදහන් කරන ලද මෙම ප්‍රහාරය පිළිබදව කරුණු විමර්ශනය කර වාර්තා කිරීම සදහා ජනාධිපති කොමිෂන් සභාව අප පක්ෂයේ නායක හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2019 සැප්තැම්බර් 22 දින පත් කරනු ලැබූයේ මූලික අපේක්ෂාවන් කිහිපයක් ‍පෙර දැරි කරගෙනය. පහත කරුණු ඒ අතර ප්‍රධාන විය.

    මෙම ප්‍රහාරය පිටුපස වූ දේශීය හා විදේශීය බලවේග හදුනාගැනීම.
    එකී බලවේග වල ප්‍රමුඛ අරමුණු හා ප්‍රාර්ථනා තේරුම් ගැනීම.
    මෙම ප්‍රහාරය සැලසුම් කර ක්‍රියාවට නැංවීම සදහා සෘජුව හෝ වක්‍රව දායකත්වය සැපයූ පුද්ගලයින් හෝ කණ්ඩායම් පවත්නා නීතිය හමුවට පැමිණවීම සදහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම.
    කෙසේ වුවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙ‍්න මැතිතුමාගේ ධුර කාලය අවසන් කිරීමට පෙර එම වාර්ථාව අවසන් කර ඉදිරිපත් නොවූ අතර, ඉන්පසු ජනාධිපති තනතුර සදහා පත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යටතේ එම කොමිෂන් සභාව ක්‍රියාත්මක විය. කොමිෂන් සභාව විසින් පළමු අතුරු වාර්ථාව 2019 දෙසැම්බර් 20 දිනද, දෙවන අතුරු වාර්ථාව 2020 මාර්තු 02 දිනද භාරදෙන ලද අතර අවසන් වාර්ථාව 2021 පෙබරවාරි 01 දිනද භාර දී ඇත. එම වාර්ථාව පිටු 472කින්ද ඇමුණුම් 215කින් හා වෙලුම් 06 කින් සමන්විතය. කෙසේ වෙතත් මේ දක්වා මෙම වාර්තාව පුළුල් මහජන පරිශීලනය සදහා විවෘතව නොමැත.

    මෙම කාර්ය්‍ය සිදුවන්නේ මෙම වාර්ථාවෙන් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීම පීළිබද සොයාබැලීම සදහා පත්කල පාර්ලිමෙන්තු කාරක සභාව පිළිබදවද විශාල සමාජ කතිකාවතක් ඇතිව තිබෙන මොහොතකය. දැනටමත් සමගිජන බලවේගය ජනතාවිමුක්ති පෙරමුණ හා මෙරටේ ගරුතර මහා සංඝරත්නය පාස්කු ‍කොමිෂන්සභා වාර්තාව අසම්පූර්ණ බවද කොමිෂන් සභාව පත්කිරීමෙන් බලා‍පොරොත්තුවු කාරණා ඉටු නොකල බව ප්‍රකාශයට පත්කර ඇත.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවද විධායක සභාවද වාර්ථාවේ අන්තර්ගතය හා නිර්දේශ පිළිබදව වාර්තාවන කරුණු දැඩිව සංවාදයට බදුන්කරමින් සිටින අතර එහිදී පහත කරුණු අප අවධානයට ලක්ව ඇත

    මෙම කොමිෂන් සභාව ස්ථාපිත කල අරමුණු සාධනය සඳහා සාධනීය පිළිතුරු නිගමන හා නිර්දේශ මෙම වාර්ථාවේ අඩංගු නොවන බව අප පක්ෂයේ පොදු මතය වේ.
    මෙම කොමිෂන් සභාව ස්ථාපිත කිරීමෙදී ඊට පවරන ලද වීෂය සීමාව ඉක්මවා ඔවුන් ගේ නිගමන හා නිර්දේශ ඉදිපත් කර ඇත.
    විෂය පථයට කිසිලෙසකින්වත් අදාල නොවන කරුණු පිළිබදව විමර්ශනය කර නිර්දේශ ඉදිපත්කර ඇත.
    උදාහරණ මුස්ලිම් අන්තවාදී සංවිධාන පීළිබද තීරණාත්මක ලෙස කරුණු හෙලිකල බොදුබල සේනා සංවිධානයේ නායක අතිපූජ්‍ය ගලබොඩ අත්තේ ඥණසාර හිමියන් පිළීබද වන නිර්දේශ
    තවද කොමිෂන් සභා වාර්තාවේ 309 වන පිටුවේ මෙසේ සඳහන් කර ඇත. “සාක්ෂි සළකා බැලීමේ දී අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉස්ලාම් අන්තවාදය කෙරෙහි දැක්වූ ලිහිල් බව එවකට රජය ක්‍රියාශීලී පියවර ගැනීමට අපෝසත්වීම ප්‍රධාන හේතුවක් බව පරීක්ෂණ කොමිෂන් සභාවේ මතයයි.” නමුත් රනිල් වික්‍රමසිංහ මහතා පිළිබදව කොමිෂන් සභාව ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට එරෙහිව පමණක් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ද්විත්ව ප්‍රමිතියකින් සැළකීමක් බවත් පැහැදිලි වේ.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නීතිය හා සාමය අමාත්‍යාංශය තමා වෙත පවරා ගන්නේ 2018 ඔක්තොබර් 30 දින දීය. ඇත්ත වශයෙන් එතුමා මෙම අමාත්‍යාංශයෙ වගකීම භාරගෙන කටයුතු කර ඇත්තේ මෙම ප්‍රහාරය එල්ලවන දිනය දක්වා මාස 05කුත් දින 20ක පමණ කාලයක් පමණි. මීටපෙර මෙම අමාත්‍යාංශය භාරව සිටි කිසිදු මැතිඇමැතිවරයෙකුට මෙම සිද්ධිය පිළිබදව කිසිදු වගකීමක් මෙම කොමිසමේ විසින් පවරා නැත

    ප්‍රහාරය සැලසුම්කල අයවලුන් බෝම්බකරුවන් ප්‍රහාරය සදහා මුල්‍ය ශක්තිය සැපයු පාර්ශවයන් හා ඔවුනට ආරක්ෂාව සැපයු අය වාර්ථාව තුල සැලකිල්ලට භාජනයකර නැත.
    පාස්කු ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් දේවස්ථාන ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කිරීමේදී හමුවු ආයුධ නැව් මගින් ආනයනය කර ඇති බවට තොරතුරු ඇතත් වාර්ථාව එහි ගැඹුර සොයා යන්නේ නැත.
    මෙම ප්‍රහාරයේ මරාගෙන මැරෙන ප්‍රහාරකයකු වන අච්චි මොහොම්මදු මොහොම්මදු හස්තුන් නැමැත්තාගේ බිරිදවන සාරා නොහෙත් පුලස්තිනී රාජේන්ද්‍රන් නැමැත්තිය දිගු කලක් මඩකලපුව ප්‍රදේශයේ සැගව සිට ඉන්දියාවට පලාගිය අතර ඒ පිළිබදව විමර්ශනය කිසිදු සැලකිල්ලක් නොදක්වනවා පමණක් නොව එම නිසාම අනාවරණය කර ගත හැකිව තිබු තොරතුරු නොසලකා හරීනු ලබයි.
    පාස්කු ප්‍රහාර දිනට පෙර නාමල් කුමාර නැමැත්තෙකු කරලියට විත් එවකට ජනාධිපති හා අප නායක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද, එළබීමට නියමිතව තිබු ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස නම්ව තිබු ගෝඨාභය රාජපකෂ මැතිතුමා යන දෙදෙනා පිළිබඳ ඝාතන කුමන්ත්‍රණයක් හෙලිකරන ලද අතර ඒ සඳහා ප්‍රබල පාතාල මැදිහත්වීමක් පිළිබදව දක්වන ලදී. පසුව ඒ හා සම්බන්දයැයි විදේශීය ජාතිකයකුගේ නම කියවුනද ප්‍රබල මැදිහත්වීමක් මත ඔහු පසුව නිදහස් කෙරුනි. වාර්තාව මෙම සිද්ධිය අවධානයට ලක් නොකරයි.

    ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත්කරන ලද එකී කොමිෂන් සභාවේ විෂය පථය පිළිබඳව සළකා බැලීමේදී පැහැදිලිවම එකී කොමිෂන් සභාව විසින් රාජ්‍ය සේවකයින් නිලධාරීන් වශයෙන් සිටි හෝ දැනට සිටින තැනැත්තන් මෙම සිද්ධි දාමයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධතා ඇත්දැයි සොයා බලා වාර්තා කරන ලෙස නියෝග කර ඇත. එම කොමිසමට ලබාදුන් බලතල තුල කිසිසේත්ම රාජ්‍ය නායකයා හෝ අමාත්‍යවරුන් ඇතුළු දේශපාලන නායකයින්ගේ ක්‍රියාකලාපයන් ඔවුන් වෙත පැවරී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගකීම් ක්‍රියාත්මක කිරීම අදාල හෝ වගකීම් පැහැර හැරීම පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට කිසිඳු බලයක් ලබාදී නොමැති බව පැහැදිලිවම නිරීක්ෂණය වේ. එහෙයින් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිළිබඳව කර ඇති ප්‍රකාශයන් කොමිෂන් සභාව වෙත පවරන ලද බල සීමාව තුලට නොවැටෙන එයින් ඔබ්බට ගිය ක්‍රියාමාර්ගයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව තරයේ ප්‍රකාශ කර සිටී. තවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිළිබදව කර ඇති බොහෝ ප්‍රකාශයන් උපකල්පන මත පදනම් වූ ප්‍රකාශ බව පැහැදිලිය. මෙම කොමිෂන් සභා වාර්තාවේ 292 පිටුවේ සඳහන් වන පරිදි ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහරාන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට තරයේ උපදෙස් දුන් බවත් ජනාධිපතිවරයාගේ මෙවැනි උපදෙස් ලැබුණ බව රාජ්‍ය බුද්ධි අංශයේ නිලන්ත ජයවර්ධන මහතා සනාථ කර ඇති බව මෙම ප්‍රකාශයේ දැක්වේ. (පිටු අංක 292 හා 293)

    කරුණු මෙසේ තිබියදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය රාජකාරී හා වගකීම් පැහැර හැර ඇති බවත්, එය හුදෙක් සිවිල් නොසැලිකිලිමත් බව ඉක්මවා යන බවත් පරීක්ෂණ කොමිෂමේ අදහස බව ප්‍රකාශ කර ඇත. යම් කෙනෙකු විසින් වගකීම පැහැර හැරීම ඔහුගේ සිවිල් නොසැලිකිලිමත්වය ඉක්මවා යන්නේ කෙසේද යන්න ප්‍රශ්නාර්ථයකි.

    එසේම කොමිෂන් වාර්තාවේ 296 වන පිටුවේ සදහන් කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉන්දියාවට හා සිංගප්පූරුවට යන අවස්ථාවන්හි දී ආරක්ෂක අමාත්‍යධූරය සදහා වැඩබලන පත්වීමක් ලබා නොදීම තුලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය වන බව පවසා ඇත. එම පිටුවේම ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වැඩ බලන පත්වීමක් සිදුකිරීම හුදු අභිමතයක් පමණක් බව ප්‍රකාශ කර ඇත.

    තවද පාස්කු කොමිෂන් සභා වාර්තාව 487 වන පිටුවෙහි මෙසේ දැක්වේ. “ඔහු හෝ ඇය විදෙස් ගත වන්නේ නම් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයකු පත්කිරීම ජනාධිපතිවරයාට අනිවාර්ය කිරීම සදහා ව්‍යවස්ථාමය විධිවිධාන පැනවිය යුතුය. ආර්කෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සතු සියලු බලය වැඩබලන අමාත්‍යවරයාට තිබිය යුතුය. ජාතික ආරක්ෂක මණ්ඩලය කැදවා උපදෙස් දීමට වැඩබලන අමාත්‍යවරයාට බලය තිබිය යුතුය.” මෙයින් පැහැදිලිව දැක්වෙන්නේ වැඩබලන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයකු පත්කිරීමට බලය පැවරෙන නීතිමය ප්‍රතිපාදන අප ව්‍යවස්ථාවේ නොමැති බවයි. එසේ පත් නොකිරීම පිළිබදව ජනාධිපතිතුමාට සාපරාධී වගකීමක් පැවරෙන්නේ කෙසේද ?

    අභිමතානුසාරී බලය ක්‍රියාත්මක නොකිරීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ කෙසේ වරදක් වේද යන්න දැඩි සේම අවිනිශ්චිතතාවයකි. ජනාධිපතිවරයෙක් තමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල හා වගකීම ක්‍රියාත්මක නොකිරීම කිසිසේත් ඔහුට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කිරීමට කරුණක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව තරයේ පෙන්වා දෙනු ලැබේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉතා පැහැදිලිව සිය වගකීම් ඉටුකර ඇති බව මෙම වාර්තාව තුලින්ම පැහැදිලි වන අතර, එතුමාට එරෙමහිව කිසිදු අපරාධ නඩුවක් පැවරීමට නීතිමය වශයෙන් හෝ කරුණු වශයෙන් ඉඩකඩ නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව ඒකමතිකව තීරණය කරයි.

    විධායක ජනාධිපතිවරයෙකුට එරෙහිව යම් පැහැර පැහැරහැරීමක් මත අපරාධ නඩු පැවරිය යුතු යැයි තීරණය කරන ලද සංකල්පය අහිතකර පූර්වාදර්ශයක් වන අතර එය රාජ්‍ය නායකයෙකු වෙත ව්‍යවස්ථාවෙන් ලබාදෙන ලද බලය හෑල්ලු කිරීමකි.

    ඇමරිකා එක්සත් ජනපදයේ සැප්තැම්බර් 11 වන දින පෙන්ටගනයට ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරය පිළිබඳව වූ පරීක්ෂණ කමිටුවේ දී එකී ප්‍රහාරය පිළිබදව පූර්ව තොරතුරු ඇමරිකානු රාජ්‍ය අංශයන්ට ලැබී තිබුණ බව සනාථ වී ඇත. එහෙත් ඒ පිළිබඳව ක්‍රියාත්මක නොවීම මත ඇමරිකානු ජනාධිපතිවරයාට හෝ බුද්ධි අංශ සාමාජිකයන්ට චෝදනා ගොනු කිරීම එම පරීක්ෂණ කමිටුව අනුමත නොකරන ලදී.

    නවසීලන්තයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව ද කරන ලද පරීක්ෂණ වලදී ඒ පිළිබඳ පූර්ව තොරතුරු එරට ආරක්ෂක අංශ වලට ලැබී තිබුන බව සනාථ වුවත් ආරක්ෂක අංශ වලට එරෙහිව සාපරාධි නඩු පැවරීමක් සිදු නොවීය. ත්‍රස්තවාදීන් විසින් කරනු ලබන ත්‍රස්ත ක්‍රියාවන් පිළිබදව ලොව පුරා පිළගත් වගකීම් පිළිබද ඇති සම්ප්‍රදායන් අනුව රාජ්‍ය නායකයින් හෝ දේශපාලන අධිකාරීන්ට එරෙහිව සාපරාධි අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමේ නීතිමය සම්ප්‍රදායක් නොමැති අතර මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉලක්ක කර ගනිමින් කරනු ලබන මෙවැනි ක්‍රියාවන් තුලින් අනාගතයේ දී ඕනෑම රාජ්‍ය නායකයෙකුට එරෙහිව සාපරාධි චෝදනා ගෙනඒමේ පූර්වාදර්ශයක් ස්ථාපිත වන බවද එය ඉතා භයානක හා අධූරදර්ශී ක්‍රියාවලියක් බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව පෙන්වා දෙයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරියේදී මෙම වාර්තාව පිළිබදව ගැඹුරු අධ්‍යයනයක්‍‍කොට ඒ පිළිබදව වි‍‍‍ශේෂ ප්‍රකාශයක් කරණ බවත් 1978 වසරේ මෙරටට හදුන්වාදුන් ජනාධිපති ආණ්ඩුක්‍රමය යටතේ ප්‍රථම වතාවට මානව නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ලාංකික සමාජයට හදුන්වාදෙමින් යහපත් නිදහස් සමාජයක් මෙරට ස්ථාපිත කිරීමට බිහිවු ප්‍රථම ගැමි ගොවි නිර්ප්‍රභූ ජන නායකයාවන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පිළිබද කර ඇති නිර්දේශ තරයේම ප්‍රතික්ෂේප කරන අතරම මෙයට අමතරව කොමිසමේ නිර්දේශ බහුතරයක් ප්‍රතික්‍ෂේප කරන බව දැනුම්‍දෙමි.

    අසම්පුර්ණ හා තමන්වෙත ලබා‍දෙන ලද විධානය පරිදි සකස්නොකරන ලද පාස්කු කොමිෂන් සභා වාර්තාව ප්‍රතික්ෂේප කිරීම හැර ‍වෙන කලයුතු ‍දෙයක් ‍නොමැතිබව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කාරක සභාව ඒකමතිකව තීරණය කල බව මෙයින් නිවේදනයකර සිටිමු.