Breaking News

අරගලකරුවන්ගෙන් වන්දි ඉල්ලන්න තියෙන තදියම එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වන්දි ගන්න නැත්තෙ ඇයි ?

මේ දිනවල ප්‍රසන්න රණතුංග බෙරිහන් දෙමින් පවසා සිටින්නේ අරගලකරුවන් නිසා ගෝල්ෆේස් භූමියට සිදුවූ හානිය අරගලකරුවන්ගෙන් අයකරගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවයි. මෙලෙස වන්දි මුදල් අයකරනොගතහොත් නිලධාරීන්ට ප්‍රශ්න ඇතිවිය හැකි බවත් ගෝල්ෆේස් භූමියට සිද්වු හානිය ගැන තක්සේරු වාර්තාවක් සකස් කරමින් තිබෙන බවද ඇමතිවරයා පවසා ඇත.

නමුත් අරගලකරුවන්ගෙන් වන්දි ලබාගැනීමට තිබෙන තදියම රටට මහා විනාශයක් සිදුකළ සමාගම්වලින් වන්දි ලබාගැනීමට අදාළව නැති බව පෙනේ.

මේ අතර මෙරට මුහුදු සීමාවේදී ගිනිබත් වූ එක්ස්ප්‍රස් පර්ල් ( M.V Express Pearl ) නෞකාවෙන් නිකුත්වූ ප්ලාස්ටික් හා අපද්‍රව්‍ය ඉවත්කොට මන්නාරම සිට හම්බන්තොට කිරින්ද දක්වා වූ වෙරළ තීරය පිරිසිදු කිරීමට මෙතෙක් රුපියල් නව කෝටි තිස් අටලක්ෂ පනස්හත් දහස් දෙසීය අනූ තුනක් වැයවී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ළහඳපුර ඊයේ පවසා තිබුණි.

එම නෞකාවේ බහාලුම් වලින් නිකුත්වන ප්ලාස්ටික් හා රසායන ද්‍රව්‍යයන් ඉවත්කොට මුහුදු තීරය සම්පූර්ණයෙන්ම පිරිසිදු කිරීමට තවත් වසර කිහිපයක්ම ගතවනු ඇතැයි ද ළහඳපුර මහත්මිය පැවසුවාය.

මේ වනවිට නෞකාවෙන් නිකුත්වූ ප්ලාස්ටික් පබළු හා රසායන ද්‍රව්‍යයන් මෙට්ට්‍ර්ක් ටොන් 1600 ක ප්‍රමාණයක් පමුණුගම ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් ගබඩාවල තැන්පත් කර තිබෙන බවත් නීති උපදෙස් මත ඒවා සම්බන්ධ ඉදිරි පියවර ගන්නා බවත් ඇය සඳහන් කළාය.

සිංගප්පූරු ධජය යටතේ භාණ්ඩ රැගෙන යාත්‍ර කරමින් තිබූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් බහාලුම් ප්‍රවාහන නෞකාව කොළඹ වරායට නාවික සැතපුම් 9ක් දුරින් ගිනි ගෙන මුහුදුබත් වූයේ පසුගිය වසරේ ජුනි මස 02 වැනිදාය.

බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවකදී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය මෙි බව කීවාය.

මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී. එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවෙන් සමුද්‍රයට වූ හානිය සම්බන්ධයෙන් වන්දි මුදල් ලෙස රුපියල් බිලියනයක මුදලක් මේ වන විට ලැබී ඇතැයි එකළ අධිකරණ ඇමැති ලෙස කටයුතු කළ අලි සබ්රි මේ වසරේ පෙබරවාරි මාසයේ පවසා තිබුණි.

එමෙන්ම නැවෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් වන්දි මුදල් ලබා ගැනීම ඉදිරි කටයුතු පිළිබඳ නීති උපදෙස් ලබා ගැනීම සඳහා ඔස්ටේ‍්‍රලියානු නීති සමාගමක් සමග කටයුතු කරමින් සිටින බවත් නැව ගිනි ගැනීමට ලක්වූ අවස්ථාවේ සිට මේ දක්වා සියලූ කටයුතු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් සමග එක්ව කටයුතු කරමින් සිටින බවද අධිකරණ ඇමැති අලි සබ්රි ඒ අවස්ථාවේ පවසා තිබේ.

නමුත් පෙනී යන්නේ තවමත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය වී නොමැති බවයි. එයට හේතුව ඊයේ පැවති සාකච්ඡාවේදී නෞකා අනතුර සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පවතින නීති ප්‍රමාණවත් නැත්නම් ඒ සඳහා නව නීති සම්පාදනය කරන ලෙස නාගරික සංවර්ධන සහ නිවාස ඇමති ප්‍රසන්න රණතුංග උපදෙස් ලබාදී ඇති බව සඳහන් වේ. නීතිපති දෙපාර්තමේන්තුවේ සහ අධිකරණ අමාත්‍යංශයේ උපදෙස් ලබාගනිමින් කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බවද ඇමතිවරයා පවසා ඇත.

ඒ අනුව පෙනී යන්නේ පෙනී යන්නේ වන්දි ලබාගැනීමේ ක්‍රියාවලිය කිසිදු ප්‍රගතියක් සිදුවී නොමැති බවයි. මෙම නැව ගිනිගැනීම නිසා ලංකාව ආසන්න මුහුදේ සහ වෙරළ තීරයන් ආශ්‍රිතව විශාල විනාශයක් සිදුවූ අතර මෙම ඛේදවාචකය සිදුවී වසරකට වැඩි කාලයක් ගත වුවත් නෞකාවේ බහාලුම් වලින් නිකුත්වන ප්ලාස්ටික් හා රසායන ද්‍රව්‍යයන් ඉවත්කොට මුහුදු තීරය සම්පූර්ණයෙන්ම පිරිසිදු කිරීමට තවත් වසර කිහිපයක්ම ගතවනු ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසා තිබේ. එසේම ආණ්ඩුවේම නිල සංඛ්‍යා ලේඛණවලට 2021 වසරේ ජුලි 11 වැනිදා වනවිට වෙරළට ගොඩගැසූ සතුන් ගණන 250ක් පමණ වේ. එසේම ධීවර ජනතාවගේ ජිවනෝපාය කටයුතු මුළුමනින්ම අඩපණ විය. සාගරයට, වෙරලට සහ මුහුදු ජිවින්ට සිදුවූ හානිය අවම වීමට තවත් වසර කිහිපයක් ගතවෙනු ඇත.

නමුත් මෙතෙක් ලංකාවේ ආණ්ඩුව පරිසරයට සිදුවූ හානිය සම්බන්ධයෙන් නිසි තක්සේරු කිරීමක් සිදුකර නැත. දැනට ලැබී ඇති වන්දි මුදල සිදුවූ හානිය දෙස බැලීමේදී ඉතා කුඩා මුදලක් බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ. නමුත් ආණ්ඩුව තවමත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නැත. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් පසු රජය හැසුරුණු ආකාරය ඉතා සැකකටයුතු බවට චෝදනා එල්ල විය. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිට කොළඹ වරාය මෙහෙයුම් මැදිරියට එවූ පණිවිඩ සම්බන්ධ දත්ත මැකී ගොස් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කිරීමත් සැකය වැඩිවිය. ඇතැම් පරිසරවේදීන් චෝදනා කරේ නැව මුහුදුබත් වීමෙන් සිදුවූ හානිය වැලක්වීමට ආණ්ඩුවේ බලධාරීන් නැව අයත් සමාගමෙන් අල්ලස් ලබාගෙන ඇති බවයි.

leave a reply