අපේ පරම්පරාව පත්තර කලාවට පා තැබූ අනූව දශකයේ මුල වන විටත් ලූෂන් රාජකරුණානායකලා ඒ පොරපිටියේ දෑවැන්තයෝ ය.
මාධ්‍ය නිදහස පමණක් නොව ජීවත් වීමේ නිදහස ද අන්ධකාරයට යටවී තිබූ යුගයක දී නිදහස් මාධ්‍ය ව්‍යාපාරය බිහිවන විට, අපි කචල්කාර අංකුර පත්තරකාරයෝ වීමු.
කචල්කාරකමත්, ආධුනිකත්වයත් නිසා අපට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ දොර ඇරුනේ තවත් ටික කලක් ගියාට පසුව ය.
එහෙත් එදා ඒ සංවිධානගතවීමට එකතු වූ ලොකු ලොකු පත්තරකාරයන් අතරත් ඉහළම තේජසක් තිබූ ලූෂන් එහි පළමු කැඳවුම් කරු වූයේ ය.
ඒ ආරම්භක කාලයේදී ම, මා පළමු වතාවට ලූෂන් හා සම්මුඛ සාකච්ඡාවක් කළේ ලංකාදීපයට ය. මතක හැටියට එකල අතිශය ජනප්‍රිය ‘බදාදා පිළිසඳර’ නම් කාලීන-දේශපාලන-සංස්කෘතික සංවාදය වෙනුවෙනි. අපේ හමුව සිදුවූයේ ‘පන්සල ඉස්සරහා දේවාලේ’ ලෙසින් ඔහු ම නම් කළ හැව්ලොක් ටවුමේ දැන් මට නම අමතක සුප්‍රසිද්ධ අවන්හලකදී, එක්තරා සන්ධ්‍යාවක ය. මධු බඳුන් ද සමඟිනි.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරෙයේ වැඩවලට එකල නිතර සම්බන්ධ වූ අපට ලූෂන් නිරන්තරයෙන් හමුවිය. අප ඒ වනවිටත් ඉහ නිකට පැහී සිටි ඔහු ඇමතුවේ නිකම්ම ලූෂන් කියා ය. වැඩි ම වුණොත් ලූෂන් සහෝදරයා කියා ය. නාහෙට නාහන අංකුර පත්තරකාරයන් වූ අපෙන් පවා ඒ ඇමතුම ඉල්ලාසිටින තරමට, සිංහල බසින් පත්තර රස්සාවේ යෙදෙන ‘වයසක උදවිය’ බහුතරයකට නැති ‘පෞරුෂයක්’ ඉංග්‍රීසි පත්තරකාරයෙක් වූ ඔහුට තිබිනැයි අපි එකල සිතීමු.
ඔහුගේ අභාවය ගැන සටහනක් තබන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ම අපට නැවත මතක් කරදෙන පරිදි, එහි ආරම්භක කැඳවුම්කරු වූ ඔහු වැඩිකලක් එම සංවිධානයේ රැඳීසිටියේ නැත.
ඊළඟට අප ඔහු හා සම්මුඛ වන්නේ ලේක්හවුසියේ දී, චන්ද්‍රිකා ගේ ආණ්ඩු කාලයේ දී ය.
ඔහු ලේක්හවුස් සභාපතිවරයා වූයේ ය. අපි පත්තරකාරයන්ට අමතරව ලේක්හවුස් සේවක සංගම් හා ජනමාධ්‍ය සංගම් ක්‍රියාකාරීහු ද වී සිටියෙමු.
අප ලේක්හවුසියේ දී හැමදාටමත් පවත්වාගත් ප්‍රතිපත්තියට අනුව, මොන ‘මචං-අයියා-සහෝදරයා-මහත්තයා-මිස්ටර්’ ලේක්හවුසියේ පරිපාලන තනතුරකට ආවත්, අප ඒ පුද්ගලයා ඇමතුවේ හුදෙක් ම තනතුරු නාමයෙනි. ඒ අනුව ලූෂන් ලේක්හවුසියේ දී අපට ‘සභාපතිතුමා’ විය. එදා ලූෂන් හෝ ලූෂන් සහෝදරයා කියා ඇමතූ තමන්ට දැන් සභාපතිතුමා කියනවාට ඔහු අකමැති නොවුණත්, හැකි හැමවිටම ‘සහෝදරයා’ ලෙස අප ඇමතීමට ඔහු උත්සාහ කළේ ය. එහෙත් අතීතයේ තිබූ සැබෑ සහෝදරකම වෙනුවට අධිකාරීමය පරතරයක තානය ඒ ඇමතුමෙන් අපට සංවේදනය විය.
ලේක්හවුසියේ දී අපේ සම්බන්ධය නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සිටි සටන් නියමුවාගේ, දුර පළාත්වල විවිධ උද්ඝෝෂණවලට යනවිට හැමෝම බොන ‘ගල්’ බොන්නත් බැරි, එහෙත් ගල් නොබොන බව පෙන්නන්නත් බැරි, ඒ නිසාම හැමෝටම දෙන්නට බැරි බැවින් තමන්ගේ ‘ලෝකල් බ්‍රෑන්ඩ් එක’ (මට යාන්තම් මතක හැටියට ඕල්ඩ් ඇරැක් හෝ ඩබල් ඩිස්ටිල්ඩ් වැන්නකි – මට හරියටම මතක නැත) ගල් බෝතලයක දමාගෙන අනෙක් අය හා හරි හරියට සප්පායම් වු, ඕනෑම හුජ්ජ කොල්ලෙකුට – ඌ විශේෂයෙන් පත්තරකාරයෙක් නම් – ‘සහෝදරයා’ හෝ ‘මචං’ කියා ඇමතූ ලූෂන් සමග තිබූ සම්බන්ධය නොවේ.
එය ආතතික සම්බන්ධයකි. අසාර්ථක පරිපාලකයෙක් සමග වෘත්තිය සංගමයකට දියත්කරන්නට සිදුවන ගැටුම්කාරී සම්බන්ධයකි. (මගේ පරම්පරාව මේ කියන කාලේ වෘත්තීය හා ජනමාධ්‍ය සංගම් කලාපයේ සිටියේ දෙවැනිපෙළ නායකත්වයේ පමණක් බව ද කිව යුතු ය.)
ඊළඟට ලූෂන් හා අප හමුවන්නේ මීටත් වඩා බරපතල ගැටුම්කාරී කඳවුරු දෙකකදී ය.
එදා ලූෂන්ලා හෙබවූ ජනමාධ්‍ය සංවිධානවල නායකත්ව භූමිකාව, දශකයක් ඇවෑමෙන් අපේ පරම්පරාවේ උර මත අත්හල නොහැකි වගකීමක් සේ කඩාවැටී තිබිණි.
ලූෂන්ලා අරගල බිමේ සතුරු කඳවුරට ම මාරුවී, අතිශය දැවැන්ත වූ ද, ව්‍යූහාත්මක වූ ද මාධ්‍ය මර්දනයක් දියත්කළ රාජපක්ෂ රෙජීමයේ ප්‍රධානියාගේ උපදේශකයෙක් වී සිටියේ ය. (උපදේශකයෙක්ද, අධ්‍යක්ෂවරයෙක්දැයි මට හරියට ම මතක නැත. ඒ තනතුරක්වත් හරියට දැනගන්නට අපට එදාත් ලොකු වුවමනාවක් තිබුණේ නැත.) එදා වේදිකා දෙදරවන්නට නිදහස් මාධ්‍ය ගැන ආවේගශීලී කතා පවත්වන ලූෂන් සහෝදරයාට අත්පොඩි තලමින් වේදිකාව පහළ සිටි අපේ පරම්පරාව, ඔහුගේ ප්‍රධානියා වූ ජනාධිපතිවරයා සමග වාග් සංග්‍රාම බඳු අතිශය ආතතික සංවාදවල පැටලෙන විට ලූෂන් අපට පසුපස අසුන් පේලියක කම්මුලට අත තබාගෙන බලාසිටින්නකු බවට පත්ව සිටියේ ය.
ඒ හැම සාකච්ඡාවක් අවසානයේ ම අපේ නිර්දය උසුලු විසුලුවලට ‘ලූෂන් සහෝදරයාට’ මුහුණදෙන්නට සිදුවිය.
හිනා වී අපේ කරට අතක් දමා සංවාදයෙන් පැනයාම හැර එදා ඔහුට තමන්ගේ භූමිකා පෙරළිය සාධාරණීකරණය කරගනු වස් කියන්නට දෙයක් තිබුණේ නැත.
“ඇයි බං ලූෂන්ට එහෙම වුණේ?” වැන්නක් ඇතැම් විට අප-අප අතරම කතාකරගත්තත්, ‘එහෙම වීම’ ගැන අපට මහලොකු පුදුමයක් හෝ දුකක්-කණගාටුවක් තිබුණේත් නැත.
ඇත්තටම නම් අනූව දශකයේ අංකුර පත්තරකාරයන් හැටියට සිටියදී අපට හමුවූ ලූෂන්ලා දේශපාලන අධිකාරයන් හමුවේ සිය ආස්ථානය හිලව්වට දී කිසිවක් ලබාගත යුතු පුද්ගලයන් නොවේ. විශේෂයෙන් ලූෂන් වැන්නෙක්. මන්ද යත් ඔහු ලංකවේ පසුගාමී ගැමියන් අතරින් හෝ ලුම්පන් නාගරිකයන් අතරින් හෝ අවස්ථා අහිමි නිර්දනයන්, පීඩිතයන් අතුරින් හෝ පත්තර රස්සාවට ආ, සිංහලෙන් පමණක් වැඩකළ හැකි, මේ දූපතේ සීමාව ඉක්මවා යාම හිතාගන්නටත් බැරි ජාතියේ පත්තරකාරයෙක් නොවූ නිසා ය.
එහෙත් මොන පන්තියෙන්, පවුල් පසුබිමෙන්, සංස්කෘතික වටපිටාවෙන් ආවත්, මොන භාෂාව භාවිත කළත්, මොන ජාත්‍යන්තර මාධ්‍යය හා වැඩකළත්, ලංකාවේ සාතිශය බහුතරය පෙළෙන අන්ත පසුගාමීත්වයෙන් මිදෙන්නට ලූෂන්ලාටත් නොහැකි විය.
මගේ පරම්පරාවේ සටන්කාමීන් අතරත් සිටි අතිශයින් ම ප්‍රතිපත්තිගරුක, සටන්කාමී ම ‘කුඩා ස්ථරය’ ගැන මා අදටත් අතිශයින් උද්දාම වන්නේ, දණගැසුවා නම් නොව එක වචනයක් එහා මෙහා කළානම් ලූෂන්ලාට එහා යාමට හැකියාව හොඳටම තිබියදීත්, ඒ වාසිදායක පාවාදීමේ මාර්ගය තෝරාගන්නේ නැතිව අතිශය දුෂ්කර වූ ද, මරණීය වූ ද සාමූහික මාර්ගය තෝරාගැනීම වෙනුවෙනි.
මියගිය පුද්ගලයන් විවේචනය නොකළ යුතුය යන සුප්‍රසිද්ධ ‘ආචාර ධර්මය’ මේ අවකාශයේ ද තේරුමක් ඇතිවත්, නැතිවත් නිතර උච්චාරණය වේ.
එහි ඇති සරල ම තර්කය වන්නේ, ජීවිතය අවසන් කළ පුද්ගලයාට තවදුරටත් ඒ විවේචනවලට පිළිතුරු දීමට අවස්ථාවක් නොමැති බැවින් මරණින් පසු එවැනි විවේචන සදාචාරාත්මක නොවන්නේ ය යන්න යි.
ජීවත්වන තාක්කල් විවේචනය නොකළ පුද්ගලයෙක් මියගියාට පසු විවේචනය කරන්නේ නම්, එතැනදී මේ කතාව අදාළ විය හැකි ය.
එහෙත් මා මෙහි ඉතාම සංක්ෂිප්තව කියාඇති විවේචන අප මෙයින් දශක එක හමාරකට පෙර ලූෂන්ගේ මූණටම ඉදිරිපත් කර ඇති ඒවා ය.
එදාත් ඔහුට ඒවාට කටක් ඇර දියහැකි හරිහමන් පිළිතුරු තිබුණේ නැත.
එදා එක් අතිශය තීරණාත්මක කාලවකවානුවක අප ඔහුගෙන් ඍජුව ඇසූ ප්‍රශ්නවලට පිරිමසින පිළිතුරක් පහුගිය දශක එකහමාරටමත් ඔහු වෙතින් සැපයී තිබූ බවක් ද අප දැක නැත.
ඇත්තට ම ඔබ මේ කියවන්නේ ලූෂන් ගැන සටහනක් වුවත්, ලූෂන්ට කියවීම සඳහා ලියූ සටහනක් නොවේ.
මේ, මෙය කියවන ඔබට ලියූ සටහනකි.
ඔබ කවදාකම හරි පුංචි ම පුංචි තාරකාවක් විදියට හෝ සිටියා නම්, කවදාවත් උල්කාපාතයක් වගේ අන්ධකාර පාතාලයකට කඩාවැටෙන්න උත්සාහ කරන්න එපා!
තාරකාවක පුංචි ම පුංචි, දිගුකාලීන එළිය උල්කාපාතයක අතිදීප්ත එසැණ ආලෝක දහරාවකට වඩා බෙහෙවින් අගනා බැවිනි.
අනෙක, මොනතරම් එසැන දීප්තියකින් වුවත්, ඉහළ අහසක සිට ඔබ කඩාවැටෙන්නේ පතුළක් නොපෙනෙන අන්ධකාර පාතාලයකට නම්…?
ලූෂන්, ඔබට සදාකාලික සුව නින්දක්!