“COMICS කොලම”
චිත්‍ර කතා ගැන ලියද්දී “සිත්තර” පත්තරය ඉතා වැදගත් වෙයි.
සතුට පත්තරයෙන් පසුව බිහිවූ සිත්තර පත්තරය ලංකාවේ දෙවන චිත්‍ර කතා පත්තරයයි.
සිත්තර පත්තරේ ආරම්භය සිදුවන්නේ 1975 ඔක්තෝබර් 20 වැනිදා සඳුදාය. මල්ටි ෆැක්ස් සමාගම මුද්‍රණය කළ එහි කතුවරයා වූයේ චින්තන ජයසේනයි. සිත්තරට නම දුන්නේද , සරත් මධු ගේ “ඉතින් ඊට පස්සේ” කතාවට නම දුන්නේද ඔහු බවයි රසිකයාට අසන්නට ලැබුණේ.
“මේ හැත්තෑව දශකයේ මුල් යුගයයි. එවක මා කතුකම කළේ “සිත්තර” පත්තරයේය. සිත්තර ප්‍රකාශනය කළ සීමාසහිත මල්ටිපැක්ස් සමාගමට සිත්තර අලෙවිය නොසිතූ විරූ ලෙස ඉහළ ගිය නිසා තවත් පත්තරයක් අරඹන්නැයි මට ඇරයුමක් ලැබුණි….”
“එවක,මගේ කාර්‍යාලය පිහිටා තිබුණේ බ්ලූමැන්ඩල් පාරේ දියගල බොයිස් ටවුන් හිය. සිත්තර හා සිත්සර පත්තර කරගෙන යනු ලැබුවේ මෙහි සිටය.
සිත්තර පත්‍රයේ සිත්තර යන අකුරු හතර නිර්මාණය කරන ලද්දේ මහින්ද විසිනි.” (චින්තන කතා, චින්තන ජයසේන) ඒ චින්තන හා සිත්තර අතර සබැඳියාවයි.
සිත්තර බිහි වන්නේ සතුට පත්තරය චිත්‍රකතා ලෝලීන් අතර බෙහෙවින් ජනප්‍රිය වෙමින් තිබූ කාලයක දීය.
“70 දශකය අවසන් භාගයේදී බිහිවුණේ දැඩි වාණිජවාදී මුහුණුවරකින් සැකසුනු කතා රැගත් චිත්‍රකතා ප්‍රකාශනයි. 75 දී බිහිවූ සිත්තර ඒ අතරින් ප්‍රධාන විය. වර්ණයෙන් සඟරා ප්‍රමාණයෙන් බිහිවූ මෙම පත්තරය පාඨකයන් වැඩි පිරිසකගේ අවධානයට යොමු වූවක් විය. ඕප්සෙට් තාක්ෂණයේ මහිමයත් නව ප්‍රමාණයේ හැඩයත් දැඩි ආකර්ෂණයක්ම විය. මුල්ම සිත්තර පත්‍රයේ සිට ඉතිං ඊට පස්සෙ, යුනිකෝ, කළු සිංහයා, ගජමෑන්, සල්ෆා, වැනි ජනප්‍රිය චිත්‍ර කතා හා කාටූන් අඩංගු විය. සරත් මධු, ෆිලික්ස් පෙරේරා, ජිනප්‍රේම බෝදාහන්දි, ඇන්ටන් පෙරේරා වැනි නව පරපුරේ චිත්‍රශිල්පීන් රැසකගේ කළ එළි බැසීමට සිත්තර පුවත් පත ප්‍රබල අත්වැලක් විය. කැමිලස් පෙරේරාගේ ගජමෑන් කාටූනය වැඩි ජනප්‍රියත්වයක් හිමි කර ගත්තේ සිත්තර බිහිවීමත් සමගය. තරුණ පරපුරේ ජනප්‍රියත්වය වඩාත්ම හිමිකර ගත්තේ ඉතිං ඊට පස්සෙ කතාවය. (චිත්‍ර කතාවේ සමාජ මුහුණුවර, නිසිත වර්ණසූරිය)
සිත්තර ආරම්භය ගැන එයට මූලිකත්වය ගෙන කටයුතු කළ හා පසුව කතුවරයා වූ කැමිලස් පෙරේරා මහතා පවසා ඇති විස්තරයක් පත්තරයක මෙසේ පළ වී තිබුණා.
“චින්තන ජයසේන මට අලුත් චිත්‍ර කතා පත්තරයක් පටන් ගන්න කතා කළා. පත්තරේ නම ‘සිත්තර'”. කැමිලස් කියන අන්දමට මැෂින්වල අඩුපාඩුකම් නිසා ටැබ්ලොයිඩ් ප්‍රමාණයටත් වඩා කුඩාවට වෙළෙඳ පොළට පැමිණි සිත්තර පත්‍රය ජනප්‍රිය වුණේ තටු ලැබූ කලෙක මෙනි. සරත් මධු, රංජන් දන්තනාරායන, ගුණපාල ජයලත්, සුසිල් ප්‍රේමරත්න, බන්ධුල හරිශ්චන්ද්‍ර වැනි ඉතා දක්ෂ චිත්‍ර කතා ශිල්පීන් සිත්තරට එකතු විය. පසු කළෙක සිත්තරේ මුළු වගකීම කැමිලස් පිට පැටවුණු අතර පත්තරය වෙලාවට නොගියොත් පාඨකයන් පත්තර කඩ කුඩු කරන තරමට එය ජනප්‍රිය විය. ”
“අද කලා ක්ෂේත්‍රයේ බොහෝ ඉදිරියට ගිය දැවැන්තයෝ එදා සිත්තරට ලියන්න අඳින්න ආවා. ස්පාටකස් කතාවේ දෙවැනි කොටස ලීවේ ජයන්ත චන්ද්‍රසිරි. ජැක්සන් ඇන්තනි චිත්‍රකතා අඳින්න හරි දක්ෂයි. බර්ටම් නිහල් වගේම චන්ද්‍ර රත්න මාපිටිගමත් ඒ කාලෙ ජනප්‍රිය චිත්‍රකතා රචකයො”(ප්‍රියංකා කහවණුගොඩ සමග කළ සම්මුඛ සාකච්ජාවකිනි, රිවිර,2006.07.23)
කැමිලස් පෙරේරා මහතා තව දුරටත් තම අත්දැකීම් මෙසේ හෙළි කොට තිබුණා.
“නව පරපුරේ ශිල්පීන් රැසක් සහ ප්‍රේම කතා, වීර කතා, කාටූන්, දැනුම මිනුම පිටුවක් වගේ විශේෂාංග රැසක් සමග 1975 දී සිත්තර ඇඹුණා. මගේ ගජමෑන් කාටූනය වැඩි ජනප්‍රියත්වයක් ලැබුවේ සිත්තර තුළින්.” (වත්මන, 1998.08.15)
සිත්තරට විවිධ චෝදනා එල්ල වූ අතර කැමිලස් පෙරේරා මහතා ඒවාට මෙසේ පිළිතුරු සපයා තිබුණා.
• අඩ නිරුවත් රූප පළ කිරීම
“ඒක බොරුවක්. අපි කවදත් සදාචාරයට ගරු කළා. සිත්තර පත්‍රය චිත්‍ර කතා මාධ්‍යය තුළ වෙනසක් ඇති කළා නම් ඒ හරය තුළින් හා දීප්තිමත් වර්ණ භාවිතයෙන් පමණයි. ”
• ප්‍රේම කතා වීර කතා විතරක් පළ කිරීම
“ප්‍රේම කතා විතරක් නෙවේ. ඓතිහාසික චරිත වලින් පවා අපි චිත්‍ර කතා නිර්මාණය කළා. දැනුම මිනුම සඳහා පිටුවක්ම වෙන් කළා.”
(වත්මන, 1998.08.15, ප්‍රියංකා කහවණුගොඩ)
• පාඨක ඉල්ලීම මිස පොදුජන රුචිය හෝ සංස්කෘතිය නොතැකීම
“…පාඨකයා සංස්කෘතියට අයත්, පාඨක ඉල්ලීමක් ඇත්නම් එතැන සංස්කෘතියක් නියෝජනය වෙනවා. පාඨක ඉල්ලීමත් සංස්කෘතියත් එකක් මිස දෙකක් නොවේ. මේ නිසා අප කතා තෝරා ගැනීමේ දී සංස්කෘතික පදනමෙන් ඈත් වී පාඨක ඉල්ලීම පමණක් සලකනවා කියන මතය මා පිළිගන්නේ නැහැ…”
(දෙසතිය, 1980.05.15)
සිත්තර පත්තරය සමග කියවෙන ජනප්‍රියම චිත්‍ර කතාව වූයේ සරත් මධු ගේ ‘ඉතිං ඊට පස්සෙ’ නම් ආදර අන්දරයයි. ඉතින් ඊට පස්සෙ කොතරම් ජනප්‍රිය ද කියනවා නම්
“සිත්තර පත්‍රය ජනප්‍රිය වූ කාලයේ දේදුනු කැලුම් ලාගේ යුගයක් අපට තිබුණා. මේ යුගයේ දේදුනු කැලුම් නමින් එකිනෙකා අමතාගත් පෙම්වතුන්, ඔවුන්සේ හිස පීරන තරුණ තරුණියන්, සමාජයේ සුලභ දසුනක් වුණා. ( වත්මන)
” ඉතින් ඊට පස්සෙ චිත්‍ර කතාවේ නිර්මාතෘවරයා සරත් මධු මහතායි. ඔහු හදිසියේම සිත්තර පත්තරෙන් ඉවත්ව ගියාට පසු එම පුවත්පත් ආයතනයේ ඉල්ලීම මත මා ඒ චිත්‍ර කතාව ඉදිරියට ගෙන ගියා. අවුරුදු හතරක් පමණ මා ඉතින් ඊට පස්සෙ ඇන්දා. (රිවිර, ගුණපාල ජයලත්)
ඒ අනුව සරත් මධු එහි කොටස් 105 ක් දක්වා ඇඳ ඇත. ඉන් පසුව ගුණපාල ජයලත් සහ රාණි හේමලතා අතින් එය නොකඩවා ඉදිරියට නිර්මාණය වුණා. යුනිකෝ පවා නොකඩවා පළ වුණේ මේ අයුරිනි.
සිත්තර පත්තරය සමග මතකයට නැගෙන චරිත අතර චින්තන ජයසේන මහතාගේ නම මුල් තැන ගනියි.
“චින්තන ජයසේන යනු සිත්තර චිත්‍ර කතා පත්තරයේ නිමැවුම්කරුවාය. ජනප්‍රියත්වය කියන්නේ එවරස්ට් කඳු මුදුන නම්, ලංකාවේ එක යුගයක සිත්තර පත්තරය තිබුණේ යුරේනස් ග්‍රහයාට කිට්ටුවෙනි. ලංකාවේ පළමු චිත්‍රකතා පත්තරය වූ, ලේක්හවුසිය මුද්‍රණය කළ සතුට පත්තරයට විස්මිත අභියෝගයක් වෙමින් වෙළඳපොළට ආ සිත්තර පත්තරය යනු, එහැම පිටින්ම චින්තන ජයසේනගේ පරිකල්පන අධිරාජ්‍යයකි. (කැටිපෙ, සත්හඬ, 2016.08.07)
මේ ඒ ආරම්භක කර්තෘ චින්තන ජයසේන මහතා මුල්ම සිත්තර පත්තරයට තබා ඇති කර්තෘ සටහනයි.
“වසර විසි දහසක් පමණ දුරාතීතයේ පටන් විකාශනය වූ ප්‍රබල මාධ්‍යයෙකි චිත්‍ර කථාව. වචන සිය දහස් ගණනකින් විස්තර කළ යුතු යමක් එක රූපයකින්, රේඛාවකින් දෙකකින් නිරූපණය කිරීමට හැකි වීම මෙම කලාවේ විශේෂය වේ.
බොහෝ කලා මාධ්‍යයන් කාලානුරූපව අභාවයට ගොස් ඇත. විද්‍යාත්මක පුනර්ජීවනය හා අත්වැල් බැඳ ගනිමින් ගල් යුගයෙන් සඳ යුගය දක්වා දියුණු වීමේ භාග්‍යය චිත්‍ර කථාවට ඇති විය. එදා, කලු ගල් මත ලී පතුරු මත ගස්, පොතු මත වර්ණවත් ගල් කැට වලින් මඩ වලින් කහට වලින් නිරූපණය වූ චිත්‍ර කතා දැන් වෛවර්ණයෙන් නවීන යන්ත්‍රානුසාරයෙන් මුද්‍රණය වෙයි.
එදා නොදියුනු මිනිසුන්ගේ නොදියුනු අදහස් උදහස් ඒ මාර්ගයෙන් නිරූපණය වූවා සේම අද දියුණු මිනිසුන්ගේ අදහස් උදහස් මෙසේ ප්‍රබල ලෙස නිරූපණය වෙයි.
ලංකාව වැනි අර්ධ සංවර්ධිත රටක ජනතාවගේ ගමන සඳහා මේ මාධ්‍යයෙන් ලද හැකි විපුල පල අපමණය. ආර්ථික සමාජීය දේශපාලනික ඵමණක්නොව විද්‍යාත්මක සහ අධ්‍යාපනික පදනමක් මත මෙම කථා නිර්මාණය කිරීමෙන් මෙම අරමුණ මුදුන් පත් කර ගත හැක.
බොහෝ චිත්‍ර කතා පොත් අද වෙළඳපොළේ ඇත්තේ පදනමක් නැතිවය. ඇති චිත්‍රකථා පත්තර වුව ද වාණිජ පරමාර්ථයෙන් විනා මෙවැනි පොදු ජන සුබසෙතට අදාළ පදනමක පිහිටා නැත.
සිත්තර බිහි වන්නේ මේ අඩුව පිරවීම සඳහාය. ජනතාවගේ ඉදිරි ගමනක් දැනුම මිනුමත් දියුණු කරමින් කිසියම් ආස්වාදයක් ගෙන දීම මෙහි අරමුණයි. මේ අරමුණ මුදුන්පත් වීම ‘සිත්තර’ බිහිවීමයි. (සිත්තර, 1975.10.20) 1975 ඔක්තෝබර් 20 සඳුදා නිකුත් වූ
සිත්තර මංගල කලාපයේ පළ වූ චිත්‍ර කතා
- කළු සිංහයා (ජිනප්‍රේම බෝදාහන්දි)
- ටික්කා- (කැමිලස් පෙරේරා)
3.සෙල්ලං සේන-(කැමිලස් පෙරේරා)
4.ගජමෑන්-කැමිලස් පෙරේරා
5.සුවඳි-(චිත්‍ර ඉන්ද්‍රජිත් රන්ජන් දන්තනාරායන, කතාව පියසේන හපුආරච්චි)
6.පළිඟු දිවයින-(චිත්‍ර හැන්රි බෙම්මුල්ල, කතාව බෙම්මුල්ලේ නිමල්සිරි මුණසිංහ)
7.මෙහෙව් රටේ (කාටූන්)
8.රන් මකරා (චිත්‍ර සරත් කවිරත්න, කතාව මහින් හේවගේ)
9.ටෝරස් ( ඇන්ටන් බී පෙරේරා)
10.රතු කැටය (ධනපාල ගාල්ලගේ )(එක දවසේ කතාව)
11.යුනිකෝ (බලන්ගොඩ සරත් මධු)
12.ඉතිං ඊට පස්සෙ (බලන්ගොඩ,සරත් මධු)
(ජීවිතේ ලස්සනම,දවස් ගැන කියන කතාවක්)
13.ඉතිහාසගත් චරිත (ධර්මසිරි විජේරත්න/ හෙන්රි බෙම්මුල්ල)
සිත්තර අච්චු ගැසීම සල්ලි අච්චු ගැසීමක් හා සමානය යන කියමන හැදුනේ එහි අලෙවිය හා ජනප්‍රියත්වය හේතුවෙනි.
“මංගල කලාපය පිටපත් 35.000 කින් ඇරඹුණු සිත්තර පත්‍රය චිත්‍රකතා ලොවේ නව බලවේගයක් ලෙසින් ඉස්මතු වන්නට පටන් ගත්තේ බිහිවී අවුරුදු පහක් ගත වෙන්නටත් පෙරය. අලෙවිය පිටපත් 1,75,000 ඉක්මවන තරමට එහි ඉල්ලුම වැඩිවී තිබේ. එහි පාඨක පිරිස ලක්ෂ 20 ක් පමණ වූ බව ඔවුන්ගේ මතය විය.” (චිත්‍ර කතාවේ සමාජ මුහුණුවර)
මේසා ජනප්‍රියත්වයක් හිමිකර ගත් චිත්‍රකතා පත්තරයක් සේම කලාවක් අභාවය පත් වීම පිළිබඳව අප නැවත සිතා බැලිය යුතුයි. චිත්‍රකතා කලාවට නැවත පණ පෙවිය හැකි වන්නේ ඒ හේතු සාධක සොයා බලා කරන ස්වයං විවේචනයකින් පසුවය.
සුප්‍රි සමරසිංහ
2023.10.20
ස්තුතිය :
*උපුටා ගැනීම් සිදු කළ සියලු මූලාශ්‍රයන්ට හා ඒවායේ නිර්මාණකරුවන්ට.
*Sri Lankan Comics (ශ්‍රී ලංකා චිත්‍රකතා) සමූහයට
සහ තොරතුරු ලබා ගැනීමට සහය වූ සියලු දෙනාටම