Breaking News

පැණිය ගැන හොයන්න පත්කළ කමිටුව රැස්වෙලාවත් නැහැ – පැණියේ අඩංගු සංයෝග ගැන ආයුර්වේද විශේෂඥයන්ගෙන් අනතුරු ඇඟවීම්

ධම්මික බණ්ඩාර නමැත්තා සකස් කළ කොවිඩ් සුව වන බව කියන පැණිය ආසාදිතයන්ට ලබාදීමේ ක්‍රමවේදය සැකසීම සඳහා පත්කළ විද්වත් මණ්ඩලය මෙතෙක් රැස්වී නොමැති බවට වාර්තා වේ.

කමිටුව රැස්වී මෙම පැණිය පිළිබඳ සායනික පරීක්ෂණයක් සිදුකර රෝගීන්ට ලබාදීම සුදුසු බව ප්‍රකාශ කිරීමට පෙර පැණිය ජනගත කිරීම පිළිබඳව කමිටුව කනස්සල්ලට පත්ව ඇතැයි අරුණ පුවත්පත වාර්තා කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් මෙම කමිටුව පසුගිය දා පත්කළ අතර සතියක කාලයක් ගතවී ඇතත් කමිටුව රැස්වී සාකච්ඡා පවත්වා නැත. මහාචාර්ය සේනක පිලපිටියගේ සහභාගිත්වයෙන් යුත් මෙම කමිටුවට විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, මහාචාර්ය සිසිර සිරිවර්ධන, මහාචාර්ය සරෝජ ජයසිංහ, මහාචාර්ය ලේකම්වසම්, මහාචාර්ය ජනක ද සිල්වා, මහාචාර්ය සෑම් කුලරත්න, මහාචාර්ය කමනි වනිගසූරිය යන අය ඇතුළත් වෙති.

එසේම සායනික පරික්ෂාවේ ප්‍රගතිය පිළිබඳව කමිටු සභාපති රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සේනක පිලපිටියගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ සායනික පරීක්ෂණය සඳහා අවශ්‍ය පැණි සාම්පල මෙතෙක් ආයුර්වේද දෙපාර්තමේන්තුව ලබාදී නොමැති බවයි. රජරට විශ්වවිද්‍යාලයේදී සායනික පරීක්ෂණය සිදු කිරීමට නියමිතය. සායනික පරීක්ෂණයේ මූලික අදියරේ කරුණු පමණක් මේ වනවිට සූදානම් කර ඇති බව ද මහාචාර්යවරයා පවසා ඇත.

පසුගියදා ධම්මික නැමැත්තා විසින් විශාල ජනතාවක් රැස්කරමින් මෙම පැණිය ලබාදුන් අතර කිසිදු සායනික පරීක්ෂාවකින් තොරව ලබාදීම සම්බන්ධයෙන් සමාජයෙන් විරෝධයක් එල්ල විය. සමඟම ක්‍රියාත්මක වූ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පැවසුවේ පැණිය ආහාරමය අතිරේකයක් ලෙස ආයුර්වේද සූත්‍ර කමිටුව විසින් අනුමත කර ඇති බවයි. නමුත් එය පට්ටපල් බොරුවක් බව පසුව අනාවරණය විය.

පැණිය කොවිඩ් ආසාදිතයන්ට අතිරේක ආහාරයක් ලෙස ලබා දීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණවක් ගෙන නැතැයි ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග සදහන් කර තිබුණි. ඒ සදහා එය සුදුසුදැයි තව දුරටත් සායනික පර්යේෂණ සිදු කරමින් ඇතැයිද ඔහු පවසා තිබේ. පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ අදහස් පළකර තිබේ.

මේ අතර සාදික්කා යොදාගෙන කරන ලද සත්ව පරීක්ෂණයේදී එය අධි මාත්‍රාවක් භාවිතා වුවහොත් විෂ සහිත තත්ත්වයක් ඇති වන බව තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමය අවධාරණය කරයි. එම සංගමයේ සභාපති වෛද්‍ය ප්‍රසාද් හෙන්දාවිතාරණ අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ එවැනි ඖෂධ හිතුමනාපයට නොගන්නා ලෙසත් අධි මාත්‍රාව ශරිරියට අනිවාර්යයෙන්ම අහිතකර බවයි. මේ හේතුව නිසා නව ඖෂධයක් නම් අනිවාර්යයෙන්ම රසායනාගාර පරීක්ෂාවක්,සත්ව පරීක්ෂාවක් සහ නිරෝගී වැඩිහිටියෙකුට ලබා දී එම පරීක්ෂාවෙන් පසු ලැබෙන නිර්දේශ මත රෝගීන්ට ලබා දීම සිදුකළ යුතු බව ඔහු පවසා ඇත.

එමෙන්ම ඇතැමුන් මෙම ඖෂධ නිවසේදී සාදාගන්නා ආකාරය ගැන සමාජ මාධ්‍ය හරහා විමසා තිබුණ අතර නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව සදා සෞඛ්‍ය ගැටළුවක් මතු වුවහොත් එහි වගකීමද එය භාවිතා කළ අය විසින්ම ගත යුතු බවද වෛද්‍ය හෙන්දාවිතාරණ සඳහන් කරයි. එමෙන්ම ඒවාට අනවශ්‍ය ප්‍රචාරයක් දෙන කණ්ඩායම්ද එහි වගකීම ගත යුතු බව ඔහු අවධාරණය කරයි.

leave a reply