සමාජයට ආදරය කිරීම පහසු නැත.මන්ද යත්,සමාජය යනු නිබඳවම ළගන්නා සුළු රම්‍යාරණ්‍යයක් නොවන බැවිනි.එහි වැඩිපුරම ඇත්තේ කළකිරීම්,බිද වැටීම් සහ සිත් රිදීම් ය.එනිසාම බොහෝ දෙනෙකුට ඇත්තේ සමාජය කෙරෙහි අධි චෝදනා පත්‍රයකි.ඇතැමෙක් එළිපිට ද තවෙකෙක් රහසේ ද සමාජය පිළිකුල් කරති.වනගත වීමට බැරි කමට එහි වෙසෙති.
‘මෙකල සමාජය නම් ගන්නට දෙයක් නැතැයි’ හැම තැනම හැම විටම ඇසෙන්නේ ද ඔය හේතු නිසාය.මෙකල පමණක් නොවේ.කිකලක වුවද සමාජය නම් දුරාචාරයේත් අනාචාරයේත් විෂමාචාරයේත් ගොදුරු බිමක් විය.සූරා කෑම ද නිසි පදමට තිබිණි.දශමෙටම නිර්මල පරමාදර්ශී සිහින රාජ්‍යය වූයේ දාර්ශනිකයන් ගේ රොමෑන්තික සංකල්පනා තුළ පමණි.
සුචරිත ගම්ලත් මහැදුරු විසින් රචිත ‘බුද්ධ චරිතය’ කෘතියෙහි බුද්ධ කාලීන භාරතයේ සමාජ පසුබිම අලළා පුළුල් විවරණයක් වේ.අපට ජීවත් වීමට බල කෙරී ඇත්තේ බුද්ධෝත්පාද සමයක නොවේ.අලුත් සහශ්‍රකයක තෙවන දශකයේ නව ලිබරල් ධනේෂ්වර කොන්දේසි යටතේය.යථාර්තවාදී ලියැවිල්ලකදී නම් අපගේ යුගය හදුන්වා දීමට ඉතාම සාධාරණ විශේෂණ පද කිහිපයක් උවමනා වේ.මේ යුගය නරුම යැයි ස්වාර්ථකාමී යැයි ස්වෝත්තමවාදී යැයි පාරිභෝජනවාදී යැයි කිසිදු විචිකිච්චාවකින් තොරව ලිවිය හැකිය.එහෙත් බුද්ධ කාලීන භාරතය අධ්‍යයනය කරන විට හැඟී යන්නේ එකී යුගය නිර්වචනය කරන්නට ඊට ද වඩා දුෂ්ඨ විශේෂණ අවශ්‍ය බවය.
එය එපමනටම ජරාජීර්ණ වූ සමාජයකි.පස් පවින් කිළිටි වූ,දරිද්‍රතාවයෙන් හෙම්බත් වූ,සූරා කෑමෙන් පීඩිත වූ සමාජයකි.තුච්ඡතම ව්‍යාධිය එහි වූ දේශපාලනයයි.එය තනිකරම බලලෝභීත්වයේ රුධිර ගංගා තුළ ගිල්වාලන ලද්දකි.
සිංහාසනය වෙනුවෙන් යටි පතුල් පලා,ලුණු ලා පිය රජු ඝාතනය කර වූ අජාසත්ත කතා වස්තුව අප අසා තිබේ.එතැන් පටන් පරම්පරා සතක් මගධයේ රාජාභිෂේකය සිදු වූයේ ඒ සාහසික පිළිවෙලටමය.පුත් කුමාරවරුන් විසින් පිය රජවරුන් ඝාතනය කිරීමෙනි.බලන්න.බල තණ්හාවක තරම!
එපමණක් ද නොවේ.අංග,මගධ,කාසි,කෝසල යන ප්‍රමුඛ රාජ්‍ය අතර භාරතය බෙදා හදා ගැනීමේ අධිරාජ්‍යවාදී සංග්‍රාමයක් ද දියත් වුණේ මෙකලය.එය දුනු ඊතල පමණක් භාවිතා කළ ‘චාම් යුද්ධයක්’ නොවීය.පැවති නැගී ගෙන එන තාක්ෂණයට සාපේක්ෂව ඉතා විනාශකාරී අවි ආයුධ නිර්මාණය විණි.ශිෂ්ඨාචාරයේ එළිපත්ත මළකදන් ගොඩ ගැසූ අමු සොහොනක් බවට පත් වෙමින් තිබුණි.
සිද්ධාර්ථ පහල වූයේ එවන් යුගයකය.විනාශය වෙනුවට විමුක්තිය උදා කර දිය හැකි බුදුවරයෙක් සමාජයට අවශ්‍යව සිටියේය.
ප්‍රිය උපදවන කිසිවක් ශේෂ වී නොතිබුණද උන් වහන්සේ සමාජය පිළිකෙව් කළේ නැත.ඉන් පිටමං වූයේ නැත.නිරාමිස ආනන්දයක ධ්‍යානගත වීම වෙනුවට මිනිස් ඇසුරේ දැවටෙමින් සමාජය හා ගැවසීම දෛනික භාවිතාවක් බවට පත් කර ගත්හ.තනිව බුදු වුව ද නිවන් දකින්නට රිසි වූයේ සාමූහිකවය.
පිළිකෙව් කිරීම හෝ ගැරහීම පහසුය.උන් වහන්සේ වඩාත් අපහසු දේ තෝරාගත්හ.එනම්,සමාජයට ආදරය කිරීමය.සමාජය නිසි මග රැගෙන යාමය.
මේ කලියුගයයි.කලියුගයේ දී බුදුවරු පහල වන්නේ නැත.තවත් බුද්ධෝත්පාදයකට මහා භද්‍ර කල්පය ගෙවෙන තුරු බලා සිටිය යුතුය.එසේ බලා සිටින්නට තරම් ඉස්පාසුවක් සමාජයකට නැත.එබැවින් මේ යුගය අයිති කර ගත යුත්තේ විප්ලවවාදීන්ය.මන්ද යත්,බුදුවරුන්ට පසුව, සමාජයක ගොරබිරම් යථාර්තය දරා ගනිමින් එය වෙනස් කරනු වස් පාරමී පුරන්නට හැක්කේ ඔවුන්ට පමණක් බැවිනි.සමාජයට ආදරය ප්‍රදානය කරන්නටත් එය විමුක්ති මාර්ගයේ රැගෙන යාමටත් වගකීමක් ඔවුන්ට තිබේ.එය කිසියම් සර්ව බලධාරියෙකු විසින් ඔවුන් වෙත පැවරූවක් නොවේ.තනිකරම හෘද සාක්ෂියේ විධානයකි.
විධානයට අවනත වූ පරම්පරා දෙකක් 71 දීත් 89 දීත් මුළුමහත් සමාජයක සුබ සෙත උදෙසා ඇස්,හිස්,මස්,ලේ දන් දුන්හ.එකී වීරිය පාරමිතාවෙන් ප්‍රලය වූ රත්න ශ්‍රී විජේසිංහ කවියා ‘සල් ගහ යටින්’ අසුලා ගත් කවි කුසුමක් නාදුනන සහෝදරයන් ගේ සොහොන් කොත් මතට පූජා පිණිස විසි කළහ.
ශෝකී ඉල් මාසයේ දී ඒ කවි කුසුම මට සිහි කරන්නේ උදාරතර පරම්පරාවක සුන්නද්දූලිව ගිය උස් ප්‍රාර්ථනා පමණක් නොවේ.නාදුනන බුදුවරුන් ගේ ගුණ සුවද මාත්‍රයක් ද එහි වේ.
බෙදී විසිරී ගියත් දස අත
කැදලි හැර දා සියල්ලෝ
කොහේ නුඹ කොයි කොතැන ඉන්නෙද
නොදත්තෙමු අපි කුරුල්ලෝ
වැදී හී සර නුඹ වැටුණු වග
කියන විට වැඩි මහල්ලෝ
මගේ පෑනෙන් ලේ ගලන්නට වුණා
සෝයුරු කුරුල්ලෝ
පියාපත් සිඳ තලා මැරුවද
තුඩින් ගී පද නොවෑහේ
මුසා රන් ලියකමින් සැදුවද
එයින් සත්‍යය නොසෑදේ
අපේ සිත් තුළ ඇස පියා නුඹ
නිදන මේ රැය නිමා වේ
එදා දහසක් බුදුන් බුදුවුණ
උදෑසන යළි උදාවේ
මව්බිම