Breaking News

ගැහැණු වන අලියෙකු – කෙනෙරක අල්ලා විල්පත්තු ජාතික උද්‍යානයට

සුපුන් ළහිරු ප්‍රකාශ්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වලස්වැව ප්‍රදේශයේ වළක වැටී සිටි ගැහැණු වන අලියෙකු – කෙනෙරක අල්ලා විල්පත්තු ජාතික උද්‍යානයට පරිස්ථාපනය කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කිරීම සම්බන්ද පුවත ඇසීමට ලැබීමෙන් මහත් විමතියටත් ඉච්ඡාභංගත්වයටත් පත්වීමි. අලි ඇතුන්ගේ සාමාජීය හැසිරීම් රටා පිළිබඳව තඹ සතයකට මායිම් නොකර අත්තනෝමතික, අසාධාරණ හා අවිද්‍යාත්මක ආකාරයෙන් මෙසේ සිදු කිරීමට පෙරමුණ ගෙන ඇත්තේ මෙරට වනජීවී සංරක්ෂණයේ මූලික වගකීම පැවරුණු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වීම විමතිය දනවන සුළුය. තවද මේ ආකාරයෙන් ගැහැණු සතෙකු පරිස්ථාපනය කළ ප්‍රථම අවස්ථාව මෙය බව මාගේ වැටහීමයි.

මෙරට ඉතිහාසයේ කිසිම අවස්ථාව අලි-මිනිස් ගැටුම් වලට ගැහැණු සතුන් දායක වන බවට වාර්තාවී නැත. අලි -මිනිස් ගැටුම් වලට දායක වන්නේ වැඩිවියට පත්වූ පිරිමි අලින් සමහරක් පමණක් බව ඔබට අමුතුවෙන් කිවයුතු නැත. එනිසා මෙරට අලි-මිනිස් ගැටුම් කළමනාකරණ උපායමාර්ග ක්‍රියාත්මක වන්නේද පිරිමි අලින් කේන්ද්‍ර කරගනිමිනි. මිනිසුන්ගේ ජීවිත හා දේපොළ වලට හානි කරන බවට චෝදනා ලබන තනි අලින් පරිස්ථාපනය කිරීම සහ හොරොව්පතාන වැනි එළිමහන් අලි සිරකඳවුරු වෙත ගෙනගොස් දැමීම මීට නිදසුන්ය. නමුත් එවැනි තනි අලින් පවා පරිස්ථාපනය කිරීම හෝ එළිමහන් අලි සිරකඳවුරු වෙත ගෙනගොස් දැමීම පවා අලි-මිනිස් ගැටුම් කළමනාකරණය හෝ වන අලින් සංරක්ෂණය අතින් ප්‍රතිපලදායක නොවන බව මේ වනවිට විද්‍යාත්මකව ඔප්පුවී හමාරය.

එසේ තිබියදී අලි-මිනිස් ගැටුම් ඇතිකරන බව පවසමින් එල්ලවූ හුදු ජනතා විරෝධය පාලනය කිරීම සඳහා ගැහැණු සතෙකු මෙසේ අල්ලා පරිස්ථාපනය කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක. වනජීවී සංරක්ෂණය හා වනජීවී-මිනිස් ගැටුම් කළමනාකරණය යනු විද්‍යාත්මක විෂය පඨයකි. අලි ගැහැණු සතුන් තමන්ගේ මුළු ජීවිත කාලයම ගතකරන්නේ තමන් ඉපදී හැදී වැඩුණු රංචුව සමගය. එම රංචුවෙන් ඉවත්වී තනිව ගැහැණු සතුන් කිසිම අවස්ථාවක කාලය ගතකරන්නේ නැත. එවැනි පසුබිමක මෙසේ වන අලි ගැහැණු සතෙකු තමන්ගේ රංචුවෙන් ඉවත්කර නොදන්නා ප්‍රදේශයක අතරමං කිරීමට විද්‍යාව මත පදනම්ව කටයුතු කළයුතු දෙපාර්තමේන්තුවක් ක්‍රියාකිරීම ඉතා බරපතල වැරදි පූර්වාදර්ශයකි.

එබැවින් එම ප්‍රදේශයේ ජනතාවට සහ ප්‍රජා නායකයින්ට මෙම යථාර්ථය අවබෝධකරදී එම අසරණ සත්වයා තමන්ගේ රංචුවට යොමුකිරීමට අවශ්‍ය කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අප සංවිධානය ඉල්ලා සිටිමු. එසේ නොමැතිව එම සත්වයාගේ ජීවිතයට ආගන්තුක ප්‍රදේශයේදී යම්කිසි අනතුරක් සිදුවුවහොත් ඒ සම්බන්ද වගකීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරගතයුතු බවත් අප සංගමය වැඩිදුරටත් අවධාරණය කරමු.

සුපුන් ළහිරු ප්‍රකාශ්
කැඳවුම්කරු ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය

leave a reply