"මාර්ගගත ක්‍රම හරහා ආනයනය කරන භාණ්ඩ මත අය කරන වැට් බද්ද ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව කළා. මේ තීරණයත් එක්ක මේ වෙද්දි ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ බරපතල නොසන්සුන්තාවක් ඇති වෙමින් යනවා. ආණ්ඩුවේ මේ හදිසි තීරණය ගැන අපි ගැටලු කිහිපයක් මතු කරන්න කැමතියි. අපි අයවැය සම්මත වෙන මොහොතෙදිම රටේ ජනතාවට කිව්වා මේ අයවැයෙන් පස්සෙත් අතිවිශාල බදු වැඩිවීම් ප්‍රමාණයක් එන්න නියමිතයි ඒ සියල්ල හංගලා තමයි අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා. දැන් ජනතාවට එදා අපි කියපු දේ වැටහෙන්න පටන් අරගෙන. මුද්දර ගාස්තු වැඩි වුණා, බස් ගාස්තු වැඩි වුණා, මේ විදිහට පහුගිය කාලේ පුරාවටම විවිධ බදු සංශෝධන ක්‍රියාත්මක වෙමින් යනවා.
අපි දන්නවා මාර්ගගත ක්‍රම හරහා ලංකාවට භාණ්ඩ ගෙන්නන ක්‍රම දෙකක් තියනවා. එක ක්‍රමයක් තමයි B to B ක්‍රමය ව්‍යාපාර සඳහා භාණ්ඩ ගෙන්වීම. අනිත් ක්‍රමය තමයි B to C එනම් ව්‍යාපාරිකයාගේ සිට පාරිභෝගිකයා දක්වා භාණ්ඩ ගෙන්වීමේ ක්‍රමය. ලෝකේ ගොඩක් රටවල් මේ කැටගරි දෙක වෙන් කරලා තමයි සාමාන්‍යෙන් බදු ක්‍රියාත්මක කරන්නේ. නමුත් ජාතික ජන බලවේග ආණ්ඩුව මේ සියල්ල එකම මල්ලකට දාලා බදු ගහන්න තමයි සූදානම් වෙන්නේ. දැන් ආණ්ඩුවේ මේ තීරණය ඍජුව සහ වක්‍රව රටේ තවත් සේවා ගණනාවකට බලපාන්න නියමිතයි. විශේෂයෙන් සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් මෙමගින් වෙනවා. අපිට තියන ප්‍රශ්නෙ තමයි මේවා සම්බන්ධ නිවැරදි ඇගයීමක් ආණ්ඩුව කළාද කියන එක. ඔක්කෝටම එකම හැන්දෙන් බෙදනවා වගේ ආණ්ඩුව ගන්න තීරණ වලින් වෙන්නේ රටේ තියෙන කුඩා ව්‍යාපාර නැත්තට නැතිවෙලා යන එක
අනිත් වැදගත්ම කාරණය තමයි. අපි දන්නවා සමහරවිට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවට සෙල්ලම් බඩුවක් ගෙන්නනවා, කාන්තාවක් තමන්ට අවශ්‍ය රූපලාවණ්‍ය ද්‍රව්‍ය ගෙන්නනවා, තරුණයෙක් තමන්ට අවශ්‍ය ක්‍රීඩා උපකරණ ගෙන්නනවා. මේ විදිහට ඩොලර් එකක ඩොලර් 5ක වගේ ඉතාමත් සුළු භාණ්ඩයක් ගෙන්නද්දි ආණ්ඩුව සූදානම් වෙනවා ඒකටත් බද්දක් ගහලා කීයක් හරි හොයාගන්න. හැබැයි අපි ආණ්ඩුවෙන් අහනවා එතකොට වැට් බදු නොගෙවා වංචා කළ බදු හොරුන්ට එරෙහිව ආණ්ඩුව අරගත්ත ක්‍රියාමාරග මොනවද ? පහුගිය අවුරුද්ද අවසන් වෙනකොට රුපියල් බිලියන 560කට ආසන්න ප්‍රමාණයක රජයට ගෙවිය යුතු වැට් බදු අදාළ ව්‍යාපාරිකයන් විසින් ගෙවලා නෑ. මේ බදු හොරුන්ට එරෙහිව ආණ්ඩුව අනුගමනය කරන්නේ නිහඬ ප්‍රතිපත්තියක්. මේ කියන්නේ ආදයම් බදුත් නෙවෙයි මේවා ව්‍යාපාරික සමාගම් ජනතාවගෙන් අයකරගත්ත බදු. ඒ බදු රජයට නොගෙවා මොවුන් තමන්ගේ සාක්කුවට දාගෙන ඉන්නවා. ඒවට ක්‍රියාමාරග නොගන්න ආණ්ඩුව තමයි පොඩි එකාට ගෙන්නන සෙල්ලම් බඩුවටත් බද්දක් ගහන්න සූදානම් වෙන්නේ. මේකද ආණ්ඩුව හදනවා කිව්ව දිව්‍ය ලෝකේ ?
අපි දැක්කා පහුගිය දවස්වල රේගුවට කන්ටේනර් පරික්ෂා කරගන්න බැහැ කියලා රෙඩ් ලේබල් සහිත කන්ටේනර් 151ක් නිදහස් කරනවා. මේක ගැන රටේ මතු වෙච්ච ආන්දෝලනය තවම අවසන් නෑ. දැන් එතකොට මේ විදිහට කන්ටේනරයක්වත් පරීක්ෂා කරගන්න බැරි රේගුවක් ඉන්න රටක ආණ්ඩුව කියනවා තැපැල්මගින් එන පොඩි පොඩි භාණ්ඩ පරීක්ෂා කරලා බදු අයකරනවා කියලා. අපි හිතනවා මේක මෝඩ වැඩක් සහ හාස්‍යජනක කාරණයක්. පිට කොටුවේ ඉන්න කුඩා ව්‍යාපාරිකයගේ ඉඳලා බුකින් ඩොට්කොම් හරහා සංචාරක හෝටල් පවත්වාගෙන යන පුද්ගලයා දක්වා සියලු දෙනාටම ඉතාම අවාසිදායක අයුරින් ආණ්ඩුවේ මේ නව බදු සංශෝධනය බලපාන්න නියමිතයි. ඒ ව්‍යාපාර වැටෙනකොට ඒකෙ වාසිය එන්නෙත් මහාපරිමාණ සමාගම්වලට. ඒ නිසා ආණ්ඩුව නැවත වටයකින් මහාපරිමාණ කම්පැනිවලට ලාභ හොයලා දෙන්න ද මේ තීරණය ගත්තෙ කියන සැකයත් අපි මේ වෙලාවේ මතක් කරනවා. එහෙම මතක් කරන ගමන් අපි ආණ්ඩුවට කියනවා වහාම මේ තීරණය හකුලාගත යුතුයි. මොකද ආණ්ඩුවට ආදයම් හොයන්න වෙන ඕන තරම් ක්‍රම තියනවා. කෝටි ගණං මේ රටේ ධනය ඩොලර් බිලියණ ගණං එළියට ඇදපු ව්‍යාපාරිකයෝ බදු හොරු මේගොල්ලන්ට එරෙහිව ක්‍රියාමාරග අරගෙන එම මුදල් නැවත අයකරගැනීමේන් විශාල ආදායමක් රජයට ලබා ගන්න පුලුවන්. එහෙම නොකර සාමාන්‍ය ජනතාවගේ පොකට් එකට විදින්න නම් ආණ්ඩුව ලෑස්ති වෙන්නේ එයට එරෙහිව ජනතාව සංවිධානය කරන්න අපි සූදානම් කියන කාරණයත් මේ වෙලාවෙ මතක් කරනවා."
මාර්ගගත ක්‍රම හරහා ගෙන්වන භාණ්ඩ මත බදු අයකිරීමට ආණ්ඩුව ගත් තීරණය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මාධ්‍යය වෙත සිය ස්ථාවරය ප්‍රකාශ කරන ලදී.
Related