Breaking News

පොලීසියේ නිත්‍යානුකූල නොවන ක්‍රියාවන් පොලීසිය බාර ඇමතිත් අනුමත කරයි

පොලීසිය සිවිල් ඇඳුමෙන් සැරසී යන්නේ අපරාධකාරයෝ ඇල්ලීමට බවත් නිල ඇඳුමෙන් ගියහොත් අපරාධකාරයන් ඇල්ලිය නොහැකි බවත් ඔවුන් හැංගෙන බවත් පොලීසිය බාර ඇමති සරත් වීරසේකර පවසා තිබේ.

මෑතකදී කොතලාවල පනතට එරෙහිව සහ ගුරු උද්ඝෝෂනයේ යෙදුණු පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් සම්බන්ධවීම ගැන බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂාව සම්බන්ධ අමාත්‍ය සරත් වීරසේකර මේ බව පවසා තිබේ.

“මම පැහැදිලිව කියන්නේ මෙතැන ආණ්ඩුවේ කිසිම බලපෑමක් නෑ, කිසිම දේශපාලන ඇඟිලි ගැසීමක් නෑ. නීතිය කැඩුවොත් තමා පොලිසිය ඇක්ෂන් ගන්නේ.”

පොලිසිය එසේ ‘ඇක්ෂන්’ ගන්නේ ආණ්ඩුව විවේචනය කරන හෝ ආණ්ඩුවට විරුද්ධව හඬක් නගන පුද්ගලයන් සම්බන්ධයෙන් පමණක් දැයි කළ විමසීමට සෘජු පිළිතුරක් නොදුන් අමාත්‍යවරයා කියා සිටියේ, උද්ඝෝෂණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බව තමන් පිළිගන්නා නමුත් “ඒකෙන් ජාතික ආරක්ෂාවට, මිනිස්සුන්ගේ සෞඛ්‍යයට බලපෑමක් තියනව නම් නිරෝධායන නීති යටතේ පොලිසියට අත්අඩංගුවට ගන්න පුළුවන්,” බවය.

“ආණ්ඩුවට පක්ෂ වුනත්, නැතත් ඒගොල්ල ජනතාවට අවහිර කරනවා නම් ඒක වැරදියි,” යනුවෙන් සරත් වීරසේකර අමාත්‍යවරයා සඳහන් කළ විට බීබීසී ප්‍රශ්න කළේ එසේ නම් මෑතදී පෙළපාලි දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ඇතුළු පිරිස ද අත්අඩංගුවට ගතයුතුව තිබුණා නොවේ ද යන්නය. ඇමතිවරයා කියා සිටියේ තමන් ඒ පිළිබඳව නොදන්නා බවය.

රටේ නීතිය ක්‍රියාත්මක කිරීම පිණිස පොලිස් නිලධාරීන් සිවිල් ඇඳුමින් සැරසී පැමිණෙන්නේ මන්ද යන්න බීබීසී සිංහල සේවය ඔහුට යොමු කළ තවත් ප්‍රශ්නයකි.

එයට අමාත්‍ය සරත් වීරසේකර ගේ ප්‍රතිචාරය වූයේ, “පොලිසිය සිවිල් ඇඳුමෙන් යන්නේ අපරාධකාරයෝ අල්ලන්න, නිල ඇඳුමෙන් ගියාම කොහොමද අපරාධකාරයෝ අල්ලන්නේ? එතකොට අපරාධකාරයෝ හැංගෙනවා නේ,” යන්නය.

එහි අදහස ගුරුවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ ශිෂ්‍යයන් අපරාධකරුවන්ය යන්න දැයි විමසූ විට අමාත්‍යවරයා කියා සිටියේ තමන් ගුරුවරුන්ට ගරු කරන නමුත් අදාළ උද්ඝෝෂණවල අපරාධකරුවන් ද සිටි බවය.

“ගුරුවරුන්ට අපි ගරු කරනවා, මම තාමත් මගේ ගුරුවරුන්ට වඳිනවා,” යනුවෙන් සඳහන් කළ අමාත්‍යවරයා, “බීබීසී එකට ඕන වෙලා තියෙන්නේත්, කඩාකප්පල්කාරීන්ට ඕන වෙලා තියෙන්නේත් කවුරු හරි මරාගන්න, මරාගෙන ඒකෙන් වාසියක් ගන්න,” යනුවෙන් චෝදනාවක් ද එල්ල කළේය.

එමෙන්ම අමාත්‍යවරයා පවසන්නේ, රටේ සම්පූර්ණ ආදායම අහිමි වී ඇති මෙවැනි දරුණු වසංගතයක් අවස්ථාවක වැඩි වැටුප් ඉල්ලමින් උද්ඝෝෂණය කිරීම සාධාරණ නොවන බවය.

එසේ නම් දැනට ඇණවුම් කොට තිබෙන සුඛෝපභෝගී වාහන ශ්‍රී ලංකාවට ගෙන්වූ විට එය ලබා නොගන්නේ දැයි බීබීසී ය කළ විමසීමට පිළිතුරු දුන් අමාත්‍යවරයා, “අපි නම් ගන්නේ නෑ, මේ වගේ කාලෙක මන්ත්‍රීවරුන්ට දෙන දීමනාවලට බාහිරව දේවල් ඉල්ලනවා නම් මම ඒක පිළිගන්නේ නෑ, මම ඒකට විරුද්ධයි,” යනුවෙන් ද පැවසීය.

පොලිස් නිලධාරියෙකුට නිල ඇඳුමක් ලබාදී ඇත්තේ ඔවුන් නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට අදාළ රාජකාරියකදී ඔවුන් සමාජයට වගකීම් සහගතව කටයුතු කිරීම සඳහා බව නීතිඥ මිගාර ඩොස් පවසයි. ඊයේ(10) ‘උද්ඝෝෂණ මර්දනය සහ ප්‍රජාතන්ත්‍රවාදය’ යන මැයෙන් කොළඹදී පැවැත්වුණු සංවාද සභාව අමතමින් ඔහු පැවසුවේ පොලිස් නිල ඇඳුමක නිලධාරියාට අයත් අංකයක් සහ නමක් සහිත එම නිල ඇඳුමේ පරමාර්ථය වන්නේ කිසියම් ආකාරයක සමාජ වගවීමකින් යුක්තව ඒ කාර්ය කිරීම සඳහා බවයි.

නීතිඥ මිගාර ඩොස් වැඩිදුරටත් පැවසුවේ,

“එතකොට මේ අත්අඩංගුවට ගැනීම් සිදුකරන්නේ පොලිස් ඇඳුම් ඇඳගෙන නෙමෙයි. ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ සහ දේශපාලන විරුද්ධවාදීන්ගේ ගෙවල්වලට නිතර යන එක සිදුකරන්නේත් පොලිස් නිල ඇඳුම ඇඳගෙන නෙමෙයි. බහුතරයක් අත්අඩංගුවට ගැනීම්වලදී අපිට වාර්තා වූ කරුණක් තමයි පොලිස් ජීප් එකෙන් නෙමෙයි මේගොල්ලෝ එන්නෙ. ඔවුන්ගේ පෞද්ගලික වාහනවලින්, බොහෝ විට වෑන් රථවලින් තමයි එන්නෙ. පොලිස් නිලධාරීන් ඇයි මේ වගේ වෑන් රථවලින් ඇවිත් සුදු වෑන්වලින් ඇවිත් මිනිස්සු අත්අඩංගුවට ගැනීම සිදුකරන්නේ කියලා හිතලා බැලුවොත් මේක ලොකු ප්‍රශ්නයක්. මොකද පොලීසියට ඕනෑතරම් ජීප් තියෙනවා. පොලීසියේ පරිහරණය සඳහා ලඟදිත් වාහන ගෙන්නලා තිබුණා. ත්‍රීරෝද රථත් අරගෙන තිබුණා ඔවුන්ගේ පරිහරණය සඳහා. මෙවන් තත්ත්වයක් යටතේ ඇයි මේ පොලිස් වාහනත් නැතුව වෙනත් වාහනවලින් ඇවිත් සිවිල් ඇඳුමින් මිනිස්සුන්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්නෙ. මෑතකදී ආරංචි වෙච්ච කාරණාවක් තමයි පොලිස් නිලධාරීන්, ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් සහ දේශපාලන විරුද්ධවාදීන්ගේ නිවෙස්වලට ගිහිල්ලා ඔවුන්ගේ ගෙදර ඉන්න අයට කියනවා මෙයාව බාරදෙන්න නැත්තම් ඔයගොල්ලන්ව අත්අඩංගුවට ගන්නවා කියලා. මේක හරිම භයානක තත්ත්වයක්. මේ තුළින් පොලීසිය යම් පණිවිඩයක් දෙන්න හදනවා. මොකක්ද මේ පණිවිඩය. තවදුරටත් දේශපාලන විරුද්ධවාදීන් සහ විකල්ප දේශපාලන මත දරන්නවුන් ඔවුන්ගේ ක්‍රියාකාරකම් ඉදිරියට කරනවා නම් මේ එන්නේ නිත්‍යානුකුලව කටයුතු කරන්නාවූ පොලීසියක් නෙමෙයි. මේ එන්නෙ මර්දනකාරී පොලීසියක් කියන්නාවූ කාරණාව. රාජ්‍ය මර්දනය ඉදිරියේදී ඔයගොල්ලන්ට මුහුණ දෙන්න වෙනවා කියන පණිවිඩය තමයි මේ ආකාරයට දේශපාලන විරුද්ධවාදීන් සහ විකල්ප මත දරන දේශපාලන කණ්ඩායම් සඳහා මේ ලබාදෙමින් සිටින්නේ. මේකෙ භයානක කම තමයි අපිට දිගින් දිගටම දකින්නට ලැබුණා වූ තත්ත්වයත් එක්ක මේ පොලිස් නිලධාරීන් ඔවුන්ගේ රාජකාරිය ක්‍රියාත්මක කිරීමේදී නීතිය අභිබවා යාමක් සිද්ධ කරනවා. මේකෙන් ගම්‍යවන කාරණය තමයි නීතිය අභිබවා ගිහින් කටයුතු කිරීම සඳහා පොලීසියට යම්කිසි ආකාරයක ආත්ම ශක්තියක් ලැබී තියෙනවා මේ කාල වකවානුව පුරාවටම. මේක ඉතාම භයානක තත්ත්වයක්. මේක ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකටත් මිනිසුන්ගේ අයිතිවාසිකම් ගරු කරන්නා වූ පුරවැසියන් ඉන්න රටකටත් ඉතාමත් භයානක තත්ත්වයක්. “

leave a reply