Breaking News

රැලි රැලි මුහුදු වෙරළේ

අපි මේ පාර තෝරගත්ත ගීතයට එළඹෙන්න කලින් වෙන කතාවක් කියල ඉන්න හිතුණා.ඒක පර්යන්තයේ ගමක මහජන අවකාශයේ සිද්ධ වෙච්ච කතාවක්.

එතන ගීතෙගෙ ” ටයිටැනික් “ සින්දුව වාදනය වෙමින් තිබුණා.තරුණ පිරිමි ළමයෙක් ඒ සින්දුව අහගෙන අතරමං වෙලා වගේ හිටියා.මේ කොළම ලියන ලේඛකයා හිතං හිටියෙ සින්දුව දරුණු විදියට මිනිහට බලපෑම් කරලා කියලා.එකපාරට ම මේ තරුණයා මෙහෙම ඇහුවා.

” මොනවද මේ කියන්නෙ ? ටයිටැනික් නැව ඇත්තට ම ගිළුණෙ නැද්ද ? මට පිස්සු වගේ ඕයි….”

අපි මේ කතාව මෙතන සඳහන් කළේ අපි මේ ජීවත් වෙන්නෙ, ගීතෙ “ටයිටැනික් නැව ගිළුණෙ නෑ…” කියලා ගයද්දි ඒක අහන්න ඉන්න සමාජය කොයි වගේ එකක් ද, කියලා පොඩි අදහසක් ගන්න.

ඒ සමාජයේ අතිබහුතරය ” උත්ප්‍රාසය “ වගේ සාහිත්‍ය මෙවළමක් පරිග්‍රහණය කර ගන්න බැරි මිනිස්සු.ඒ අතර වැඩි හරිය තරුණයන්.තමන්ගෙ මුළු ජීවිතය ම උත්ප්‍රාසයක් වුණා ම මිනිස්සු සින්දුවල උත්ප්‍රාසය හොයන්නෙ නෑ.ඒ වෙනුවට මිනිස්සුන්ට ඕන ඇහෙනකොට ම ඇතුළු වෙන්න පුළුවන් සින්දු.

විකල්ප සංගීතය හා ගීතය මත පැටවිලා තියෙන බරපතළ දේශපාලනික හා සෞන්දර්යමය අභියෝග අතර මෙන්න මේ අසන්නිය ගුණාත්මක පරිවර්තනයකට ලක් කිරීමත් ප්‍රධාන අභියෝගයක් විදියට තියෙනවා.ලංකාවෙ අද විකල්ප ධාරාව නියෝජනය කරන කලාකරුවන් අතර ඒ අභියෝගය බරපතළ විදියට ගන්න කලාකරුවන් හම්බ වෙන්නෙ හරි ම අඩුවෙන්.අජිත් කුමාරසිරි වගේ කෙනෙක් ඒ කිහිප දෙනා අතර ඉහළින් ම ඉන්නවා.ගීතෙ එදාට වඩා අද මේ ගැන බරපතළ විදියට හිතන බව පේනවා.ඒත් අද අපි කතා කරන්න තෝර ගත්ත ගීතෙගෙ ගීතෙ, ගීතෙගෙ මුල් කාලයේ ගීතයක්.

ඒක නිසා ම ද කොහෙද, ගීතෙ එයාගෙ සංගීතෙන් මේ සින්දුවට සාධාරණයක් ඉෂ්ඨ කරලා නෑ කියලා හිතෙනවා.ඒ අතර යූ ටියුබ් අවකාශයේ හමු වන මේ සින්දුවට අදාළ බොහෝ පිටපත්වල තියෙන පටිගත කිරීමේ දුප්පත්කම්, මේ සින්දුවට සෑහෙන තරමේ අසාධාරණයක් කරනවා.

හැබැයි මේ ඔක්කොම දෝෂ අතරෙ ගීතෙ, මේ සින්දුවෙන් ඉල්ලා සිටින කටහඬ යි මෙලඩිය යි අල්ල ගන්නවා.උත්තම පුරුෂ දෘෂ්ටි කෝණෙන් මේ සින්දුවෙ අත්දැකීම ඉදිරිපත් කරන තමන්ගෙ කෙල්ලත් එක්ක රවුම් ගහන රස්තියාදුකාර පෙම්වත් කථකයාගෙ සාංදෘෂ්ටිකවාදී නාස්තිකවාදී (Existential Nihilism) ප්‍රවේශය හරියට ම අල්ල ගන්න මේ කටහඬ යි මෙලඩිය යි සමත් වෙනවා.

සාංදෘෂ්ටිකවාදී නාස්‌තිකවාදයෙන් කියවෙන්නෙ මිනිසා කියන්නෙ වැදගත්කමක්‌ හෝ අරමුණක්‌ නැති ව ලෝකයට බිහි වූ ක්‍රියාදාමයක් කියලා.මුහුදු වෙරළෙ රැල්ල පාගන ගමන්,පන්සලේ පඬි පෙළ නඟින ගමන්,පදික වේදිකාවෙ ඇවිදින ගමන් ගෑනු ළමයා ” ඔයා මට ආදරෙයි ද ? ” කියලා අහද්දි පිරිමි ළමයා කරන්නෙ පිළිවෙළින් රැල්ල පාග පාග ඇවිදින එක ; පඩියෙන් පඩිය ගණින එක,නඟින එක;කොටුවෙන් කොටුව ගණින එක,පනින එක මිසක් උත්තර දෙන එක නෙවෙයි.පිරිමි ළමයට ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න බෑ ; දෙන්නෙ නෑ.ඒ තමයි වැදගත්කමක් අරමුණක් නැති ජීවිතේ නාස්තිකවාදී බව.

එහෙම වෙන්න හේතුව මොකක්ද, කියලා සින්දුවෙ පදවලින් හොයා ගන්න බෑ.සින්දුවකින් මේ ඔක්කොම කියන්න බෑ; ඕනෙත් නෑ.වික්‍රමසිංහයානු යථාර්ථවාදය කොහොමත් මේ වෙනකොට යල්පැනලා ඉවර යි.යථාර්ථය කියන්නෙ ම ප්‍රබන්ධයක් වෙද්දි ‍යාන්ත්‍රික හේතු – ඵල සම්බන්ධයකින් ලෝකය ප්‍රතිනිර්මාණය කරන්න බෑ: යථාර්ථය අභිභවනය කිරීම ගැන හිතන්නවත් බෑ.

හැබැයි ගීතෙ තමන්ගෙ කටහඬ යි මෙලඩිය යි පාවිච්චි කරලා කෙල්ලගෙ ප්‍රශ්නවලට උත්තර දීගන්න බැරුව ඉන්න කොල්ලගෙ අතෘප්තිය අල්ල ගන්නවා.ඒ කටහඬේ, උත්තර දෙන්න පුළුවන් වුණා නම් හොඳයි කියන හැඟීම ගැබ් වෙලා තියෙනවා.” මං ඔයාට ආදරෙයි ” කියලා කට ඇරලා හිතේ හැටියට කියා ගන්නවත් බැරි යථාර්ථයට එරෙහිව අපේ ප්‍රතිවිරෝධය හැදෙන්නෙ මෙන්න මේ කටහඬේ තියෙන පාළු ගතිය නිසා.අනිත් එක තමයි ඒ පාළු ගතිය සින්දුව ඇතුළෙ සෑහෙන කාලයක් පවත්වාගෙන යන එක.

මෙතන දි අනිවාර්යයෙන් කියන්න ඕන දෙයක් තමයි ඒ පාලු ගතිය ඇතුළෙත් තියෙන්නෙ ජීවිතයේ ශූන්‍යතාවයට මුහුණ දීම සඳහා සාංදෘෂ්ටිකවාදීන් යෝජනා කරන උදාසීන සීලවන්ත භාවයක් (Impassive stoicism) කියන එක.ඒ කියන්නෙ ගීතෙගෙ කටහඬ ආගමික වෙලා කියන එක නෙවෙයි.මේ සින්දුවෙ දි ගීතෙගෙ කටහඬේ තියෙන මත් ගතිය කියන්නෙ ශ්‍රද්ධාවෙන් ඇති වෙච්ච එකක් නෙවෙයි.
ඒක එන්නෙ ජීවිතයේ අර්ථ සෙවීම පිළිබඳ බලාපොරොත්තු සිඳිලා ගියා ම.

ඒ තමයි මේ වෙලාවෙ ජීවත් වෙන තරුණයගෙ ඇත්ත කටහඬ.හැබැයි ඒ ගීතෙගෙ පෞද්ගලික කටහඬ නෙවෙයි.ඒ, මේ වෙලාවෙ ජීවත් වෙන තරුණයගෙ ශූන්‍ය ආත්මයට එබිලා ගීතෙ හොයා ගත්ත කටහඬ.ගීතෙ ගයන්නෙ මේ ශූන්‍යත්වයට එරෙහිව.ගීතෙගෙ සාංදෘෂ්ටිකවාදය දේශපාලනික වෙන්නෙ ඒ නිසා.ඒ නිසා තමයි ගීතෙගෙ සින්දුවෙ ඉන්න කොල්ලට කෙල්ලව අත අරින්න ගීතෙ ඉඩ දෙන්නෙ නැත්තෙ.කෙල්ලගෙ ප්‍රශ්නවලට උත්තර දී ගන්න බැරි වුණාට කොල්ල යි කෙල්ල යි ඉන්නෙ මෙහෙම;

” තුරුළු කර ගෙන කිටි කිටියේ “

” ඉණ වටා අත දා ගෙන “

” අත්වැල් බැඳන් යන කොට “

මේ වෙලාවෙ උත්තර දෙන්න බැරි සමහර ප්‍රශ්නවලට කොහොම හරි උත්තර දෙන්න ඕන කියන අනාගතවාදී දැක්ම මේ සින්දුවෙ රැඳිලා තියෙන්නෙ එහෙම.යථාර්ථය අභිභවනය කරන්න කලාවට තියෙන ශක්තිය අපි තේරුම් ගන්න ඕනත් මෙහෙම.

උපුටා ගැනීම රල අතිරේකය 

ගායනය / පද / සංගීතය – චින්තක ගීතදේව(ගීතෙ)

leave a reply