මැයි මාසය බෞද්ධයාගේ අවිහිංසාවේ මාසය යි. ඒ බුදුන්ගේ තෙමඟුල සිහි කරන මාසය යි. ඉපදීම බුදුවීම සහ පිරිනිවීම නම් සංසාරික ජීවිතයේ කරුණාව මෛත්‍රිය උපේක්ෂාව ආත්ම කොටගත් අවිහිංසාවයි. මේ මාසයම සිංහලයාට තවත් අලුත් මාසයක් බවට පත් වූයේ 2009 පසුව යි. යුද ජයග්‍රහණයේ සැමරුම් මාසය යි. එම සැමරුම් මාසය අවිහංසාවේ ප්‍රතිපක්ෂය උත්කර්ෂයට පත් කරනු ලැබූ හිංසනයේ ජයග්‍රණය සැමරනු ලැබූ වර්ගවාදී මාසය යි.
යුද්ධයෙන් පසුව මේ දක්වා ජයග්‍රහයකයාගේ අර්ථයෙන් හිංසනයේ යුක්තිසහගත දෘෂ්ටිවාදය පවත්වාගෙන යන්නට විය. එම හිංසනයට ගොදුරු වූවන්ගෙන් එක් කොටසක් වූ මෙරටේම දෙමළ ජනයාට මැයි මාසය යනු කළුපාට මාසය යි. සිය සෙනෙහවන්තයින්, ඥාතීන් සොයුර සොයුරියන් ස්මරණය කිරීමේ දුක්ඛදායක මාසය යි. ඉතිහාසයේ ද, ස්වභාදහමේ ද සරදමක් පරිද්දෙන් 2022 මැයි මාසයේ 9 වැනි දින ඉතිහාසය අලුත් කරන්නට උදව් වූයේ වර්ගවාදී ස්වෝත්තම දෘෂ්ටිවාදය පෝෂණය කළ වුන් විසින්ම ය. එනම් ධනය, බලය කොල්ලකෑමට ලක් කළ රාජපක්ෂවරුන්ට පාරා වළල්ක් කළ මාසයක් බවට පත් කිරීමෙන් ය. 2009 මැයි 19 වැනි දින කිරිබත් කන්නට වූ ජනයාට 2022 මැයි 9 කිරිබත් කන්නට සිදු වූයේ 2009 විරුද්ධාභාසයක් ලෙස ය.
එය මෙසේ සටහන් කරන්නේ, අයුක්තිය යුක්තිය බවටත්, වර්ගවාදය දේශමාමකත්වය බවටත්, අමානුෂිකත්වය මානුෂිකත්වය බවටත් බෞතිස්ම කරන ලද ඊනියා සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය විසින්ම සමතලා කර දමන්නට වූ මාසයම මැයි මාසය වීම තරම් දෛවෝපගත සරදමක් තවත් නැති නිසාවෙනි. මෙය මෙසේ කීමෙන් වුවත් අපට මනුෂ්‍යයන් ලෙස ගැලවිය නො හැකි ය. ඒ හිංසනය යන්න සාපේක්ෂතාවාදයට ද නැතිනම් නිරපේක්ෂිත අර්ථයක් ද යන්න ඥාණනය කර ගැනීමේ ගැටලුව ඇති බැවිනි.
එදා රාජ්‍යය විසින් කරන ලද ප්‍රචණ්ඩත්වයට මෙදා තරම් විරුද්ධත්වයක් නැති වුවත්, මෙදා ප්‍රචණ්ඩත්වය එදා ඇති කළ වුන් විසින්ම විෂම චක්‍රයක් බවට පත් කොට, සිය බල ලෝභය සහ පැවැත්ම විසින් ඇති කරන භීතිය නිසාම, ඔවුන්ට ඇති විකල්පය වූයේ ප්‍රචණ්ඩත්වයෙන්ම ගොඩ යෑම අවසාන තුරුම්පුව ගසන්නට වීමෙන් ය. එහෙත් ඒ වන විටත් ගොඩ නැගී වර්ධනය වෙමින් පැවැති තරුණ පරම්පරාවේ නව සංස්කෘතිය සහ භාවිතාවට රාජපක්ෂලාගේ තුරුම්පුව වැඩ කළේ නැත. රට පුරා නැගී සිටි ජනයාගේ හිත් තුල කැකෑරී තිබුණු පීඩනයට පෙට්ට්‍රෝල් දමන්නට බලය හා තණ්හාව කුස මත තබා සිටි රාජපක්ෂලාටම දෛවය මග පෙන්වීය.
ඉතින් රටම ඇවිලුණේ වහල් හිමියන්ට විරුද්ධව නැගී සිටි වහල් කැරැල්ලක් ලෙස ය. සත්‍ය වශයෙන්ම ලංකාවේ පුනරුදයට හා නිදහසට නව මාර්ගයක් සොයා ගැනීමේ නිවහල් කැරැල්ල ඇති වූයේ මැයි නව වැනි දා ය.
ඉතින් ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රචණ්ඩත්වය කරා ගමන් කිරීම අවබෝධ කර ගැනීමේ උභතෝකෝටිකයක අප හැමෝම සිර වී සිටීමු. ප්‍රචණ්ඩත්වය පිටු දකින අප, විෂය මූලිකව පරමාදර්ශීබවක් පෙන්වා, ආත්ම මූලිකව දෙබිඩි බවක ජීවත් වීමට සිදුව ඇත. එය වරදක් ලෙස හෝ බලෙන් යටපත් කරගතයුතු දෙයක් ලෙස නො සිතමි. නමුත් මා තුල පවතින ගැටලුව වන්නේ මහා කරුණාවේ, උපේක්ෂාවේ හා “වෛරයෙන් වෛරය නොසන් සිඳේ” යන අදහසේ හෝ අලුත් ගිවිසුමේ ඇති සතුරාටද ප්‍රේම කිරීමේ ආත්මීය කුටියට සත්‍ය වශයෙන්ම ඇතුල් වන්නේ කෙසේ ද යන්නටය. රාජපක්ෂලාගේ ද, මැති ඇමතිලාගේ ද ගෙවල් ගින්නෙන් දැවි යන විට නො වැලක්විය හැකි සතුටක් ලබන්නට හැකි වූ හේතුව දේශපාලනිකව යුක්තිසහගත කර ගත හැකි වුවත්, ආචාර ධාර්මිකව යුක්ති සහගත කර ගත හැකි ද යන විඝටනයේ පසු වෙමි.
ලෝකය පුරාම අපි ඊනියා ශිෂ්ටත්වයක ගිලී ඇත. එක්සත් ජාතීන්ගේ සිට, ඊනියා මානව හිමිකම් ද, සිවිල් අයිතිවාසිකම් හා ආගමික හා අධ්‍යාත්මික මිනිසුන් ද ඇතුලු සතුරාගේ ද මිතුරාගේ ද මුව අග හෙලා දකින ප්‍රචණ්ඩත්වය යනු සාපේකෂක අර්ථයක් ය. අමෙරිකාව ප්‍රචණ්ඩත්වය හෙලා දැකීම ගෝඨාභය ප්‍රචණ්ඩත්වය හෙලා දැකීමට සමානය. රුසියාවට විරුද්ධ වන්නා යුක්රේනයට පක්ෂපාතීය. මේ ආකාරයට අපිට අපගේ දැක්මට බැඳීමට අභිලාෂයට අනුව හිංසනය සාපේක්ෂක ය. එසේ සිතීම දේශපාලනිකය.
එහෙත් මේ මොහොතේ ප්‍රචණ්ඩත්වයට එරෙහි බව මෙතෙක් පුන පුනා කියා සිටිය ද, එය ඇත්තක් නොවන බව මට අවබෝධ වී ඇත. යුක්තිය හා මනුෂ්‍යත්වය සමාජයෙන් වියුක්තය. දේශපාලනිකව සිතන්නාට සමාජයයෙන් වියුක්ත විය නො හැකි ය. මේ නිසා අපට ප්‍රචණ්ඩත්වයට විරුද්ධව ශාන්තුවරයන් විය නො හැකි ය. ඩාවින්වාදයට හා සාපේකෂතාවාදය තුල අපට නතර වීමට සිදුව ඇත. මේ නිසා අප හැම දෙනාම මේ විශ්වය තුල පරාජිතයන් ය. අලුත් මාවතක් හෝ අලුත් සංස්කෘතියක් නිර්මාණය කර ගැනීමේ පරම පිවිතුරු අසීමාන්තයේ නැවතීමට දේශපාලනයට නො හැකි අතරම අන්තවාදයේ මධ්‍යස්තය තුල යුක්තිය හා සාධාරණය සොයා ගැනීම කළ යුතු වන්නෙමු.
ප්‍රචණ්ඩත්වය නැමැති සිල් පදය හැම මහත්මයෙක්ම මහත්මියක්ම ආගමක් ලෙස ජප කරමු. එහෙත් තවමත් ජීවත් වන්නේ ආත්ම මූලිකවත්, විෂය මූලිකවත්, වහල් සමාජයක ය. එක්කෝ වහලෙක් නැතිනම් හිමියෙක්, එසේත් නැතිනම් අතර මැදියෙක්. මැයි නමය (9) යනු වහල් භාවයට පක්ෂ සහ විපක්ෂ ගැටුමක ප්‍රථිඵලයකි. අවසානයේ වහලුන්ගේ කැරැල්ල අධිනිෂ්චය විය. අපි නූතන වහල් සමාජයෙන් එලියට එන්නට වහලුන් විසින් ඇති කළ ප්‍රචණ්ඩත්වය දේශපාලනිකව හා යුක්ති අයුක්ති බව තුලින් අවබොධ කර ගත යුතු වුවත්, දැන් ප්‍රචණ්ඩත්වයේ පාරිශුද්ධත්වය සෙවීමට තරම් ශාන්තුවරයන් වීමට නො හැකි වී ඇත්තේ විෂය මූලිකව අප සිටින්නේ මහා ඛේද වාචකයක වීම නිසාය.
වසර 75ක් 100 පුරා රට වැසියාගෙන් හොරා ගෙන කමින් ගොඩ ගසා ගෙන කඳ බඩ තරකර ගත් ඊනියා නියෝජිතයන්ගේ ගෙවල්වලින් බඩු ගන්නවුන් හොරුන් ද මන්කොල්ලකරුවන් ද යන්න නිර්චනය කරන නීතිය තව දුරටත් පරණය. එය ප්‍රංශ විප්ලවයටත් වඩා පරණය. අපි මනුතාපයේ ජනවර්ජනට (ජෝන් වෙල් ජෝන්ට) ආදරය කරන අතර අසඩක් ද වැළඳ ගනිමු. දාරියෝ ෆෝගේ ගෙවන්නැත්තං බම්බු ගහන්න ද යන්න නාට්‍යක් ලෙසම පමණක් හිතන්නෙමු ද?
යුක්තිය පිළිබඳ සොක්‍රටීස්ගේ සංවාද ද කියවන්නෙමු. එහෙත් ආත්ම මූලිකව ලංකා සමාජයේ පමණක් නොව ලෝකයම හමුවේ ද අප අසරණයන් ය. ප්‍රචණ්ඩත්වය යන්න හේතුවක ප්‍රකාශනයක් ය. එම ප්‍රාකාශනය සංනිවේදනයක් ය. එම සංන්නිවේදනය යනු භාෂාවක් ය. භාෂාව යනු වචන පමණක් ම නොවේ නම්. මේ වචන නොවන භාෂාව සොයා ගත යුතු ය. මේ නිසා ලංකාව අමාරුවෙන් වුවත් නිමා කරමින් සිටින්නේ වහල්භාවයෙන් මිදීමේ අරගලයකි. ආත්ම මූලිකව සන්තාප වී, විෂය මූලිකව යුක්ති සහගත වී, එසේත් නැතිනම් මෙහි අනිත් පැත්ත බවට පත් වී දෙබිඩි බවක ජීවත් වන්නට සිදුව ඇත. ගලක් අතට ගෙන ඇත. එහෙත් පව් නොකළෙක් ද යන්න දන්නේ ඔබ මා පමනි.
“ප්‍රචණ්ඩත්වය පිටු දකිමු” කියා කියන කොට මට මා තුල වරදකාරී බවක් ඇති වේ. එය සාධාරණීකරණය කර ගැත හැකි වන්නේ යහපත් ලෝකයක් තුල පමණි යන්න පමණක් දැනට අවබෝධ වේ. ඉතින් ඒ නිසා යහපත් ලෝකයක් තනන්නට කොහේ හිටියත් හැකි ලෙස හිතමු, ක්‍රියාකරමු. ලංකාවේ දැන් සිදු වන අරගලය යනු සුචරිතවාදීන්ගේ ප්‍රචණ්ඩත්වයට එරෙහි අරගලයක් නොවේ. වහල් බවින් මිදීමේ අරගලයකි. ඉදිරියේ දී, ජනතාවට කන්න නැති වුණොත් කළ යුත්තේ කුමක් ද යන්න නීතියට කළ හැකි දෙයක් නො වනු ඇත. අග්ගඥ්ඥ සූත්‍රයට අනුව අනාගතය දෙස බැලමු. ක්‍රියා කරමු. ඒ අපේ සංස්කෘතිය නිසා ය. චේට මාක්ස්ට ලෙනින්ට අනුව සිතමු ක්‍රියා කරමු. ඒ අපේ දේශපාලනය නිසා. ඔබට මීටත් වැඩිය වෙනස් දෙයක් තිබෙන්නට පුළුවනි. ඒ අනුව හිතන්නට හැකි ය.
උදය ආර්. තෙන්නකෝන්