Breaking News

දියවන්නාව ඇතුළට බලපෑම් කළ හැකි ජනතා බලයක් දියවන්නාවෙන් එළියේ හදමු – පුබුදු ජයගොඩ

ජනපති සිතන ආකාරයට වැඩියෙන්ම ණය ගන්න පුළුවන් කෙනා සොයා අගමැති කරවීමෙන් මෙම ජනතා ප්‍රශ්න විසදිය නොහැකි බවත් පසුගිය කාලය තුල වැඩිපුර ණය ගැනීම නිසා මේ වන විට මෙම ගැටළු සියල්ල නිර්මාණය වී ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ බවසයි.

ඔහු මේ බව සදහන් කලේ ජනතාවගේ 21 වන ව්‍යවස්ථා සංශෝධන සභාව අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ සදහන් කලේය.
“ලෝකයේ බලතලවලින් වැඩිම ජනපති තමයි මේ රටේ ජනතාව දණගස්සලා තියෙන්නේ. දැන් ඔහු බංකරයක් අස්සේ හැංගිලා ඉදගෙන සැරින් සැරේට මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා නහයෙන් අඬනවා. මම ජනාධිපති බලතල අඩුකරන්නම් ,19 වන ව්‍යවස්තාව ආයෙත් ගේන්නම්, 19+ හරි ගේන්නම්, විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්නම් කියලා. මේක කරේ කවුද ජනතාව ඒකට තමයි අපි කිවුවවේ දියවන්නාවෙන් ඔබ්බට මේ බලය ගෙනියන්න ඕන කියලා. ඒක තමයි මේ ජනතාව කරලා තියෙන්නේ. දැනුත් කරමින් ඉන්නේ.

අපි කියන්නේ ජනතාව ඉතා වේගයෙන් දේශපාලනයට එක් වීම ඉතා හොදයි. ලොකේ කොහෙත් මෙහෙම තමයි ජනතාව ඉතා ආවේගශීලීව තමයි මුලින්ම කටයුතු කරන්නේ අපි ඒකේ වැරැද්දක් දකින්නේ නැහැ. ජනතාවට අපි කියනවා දැන් මේක සන්සුන්ව ඉදිරියට ගෙනිහිල්ලා ජයග්‍රණයෙන් අවසන් කරන්න කියලා. ඒ වෙනුවෙන් මග පෙන්වන්න මැදිහත් වෙන්න අපි සූදානම්. ජනාධිපතිවරයා නහයෙන් අඬන තත්වෙට පත්කරලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මාරු කරලා නෙමෙයි. ඒක තමයි ජනතා බලය. ඒ නිසා එම බලය ඒකරාශී කරලා ඒ ඒ පිරිස් එකරාශී වෙලා ජනතා කවුන්සිල් හදන්න කියලා අපි ජනතාවට කියනවා.

ඒ තුලින් ඉදිරියේදී පත්වන ජනාධිපතිවරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන්ම දැනට සිටින පාලකයින්ට මේ ජනසභා තුලින් අවශ්‍ය අවස්තාවලදී බලපෑම් කරන්න පුළුවන්. ඒ් නිසා මේවා වැඩි දියුණු කරන්න කියලා අපි ජනතාවට කියනවා. ඒකට තමයි ජනතා බලය කියන්නේ. එතකොට අපිට පුළුවන් දියවන්නාවෙන් ඉළියේ ඉදගෙන දියවන්නාවේ ඉන්න අයට ජනතා අභිලාසයන් ඉටු කරන්න කියලා බලපෑම් කරන්න.

ඒ වගේම අපි ආණ්ඩුවට කියනවා මේ ධනකුවේරයන්ගේ ලාභ කදු සොලවන්නේ නැතිව මේවාට විසදුම් ලබා ගන්න බැහැ. අපි ආයෝජකයෝ ආයෝජකයෝ කිය කිය සෙව්වට පසුගිය අවුරුදු කිහිපය පුරාවටම ආයෝජකයෝ මෙරටට වසරකට ඩොලර් බිලියන .0.50කට වඩා ගෙනැල්ලා නැහැ. වැඩිම ප්‍රමාණය වන ඩොලර් බිලියන 07ක් ලැබිලා තියෙන්නේ විදේශීය ශ්‍රමිකයන්ගෙන්. එයිනුත් වැඩිම දායකත්වය දරලා තියෙන්නේ මැදපෙරදිග ඉන්න ශ්‍රමිකයින්. ඊට පස්සේ වැඩිම ආදායම ඇගළුම්වලින් ඩොලර් බිලියන 05ක් .ඉන් අනතුරුව තේ කර්මාන්තය ඒ් කියන්නේ වතු කම්කරුවො.
අපි මේ ආයෝජකයෝ හොය හොය රටේ මහජන දේපල බදු දීම හෝ විකිණීම එහෙමත් නැත්නම් ණය ඉල්ල ඉල්ල ඉන්න එක කර කර ඉන්නවට වඩා විදේශ ශ්‍රමිකයින්, ඇගළුම් කර්මාන්ත ශුමිකයින්, වතුකම්කරුවන් වගේ අයට අවශ්‍ය දේවල් සපයලා මේවා දිරි ගන්වන්න ඕන එතකොට මේ ප්‍රශ්න විසදගන්න අපිට පුළුවන් එහෙම නැතුව වැඩිම ණය ගන්න පුළුවන් කෙනෙක් ගෙනැල්ලා ආයෙත් අපි දිගින් දිගටම ණය ලබා ගන්න ගියොත් මීටත් වඩා අර්බුධයකට අපිට ඉදිරියේදී මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා අපි ජනතාවට කියන්නේ අවදියෙන් ඉන්න දිගමට මේ විදියටම දේශපාලනය කරන්න රටේ පාලනය සදහා මැදිහත් වෙන්න කියලා. ඒ සදා අවශ්‍ය ඔනෑම සහයක් ලබා දෙන්න පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදියට අපි සූදානම් කියලා අපි ජනතාවට කියනවා.”

leave a reply