කවියෙකු ගේ හෝ කිවිඳියක ගේ පරිණතභාවය වැඩෙන්නේ ඔහු හෝ ඇය අත්දැකීමෙන්, පරිකල්පනයෙන්, සතතාභ්‍යාශයෙන් මෙන්ම භාෂාවෙන් ද පොහොසත් වන විටය. එවිට සැම විට නිර්මාණය වන කවියෙහි රුව ගුණ මෝරා වැඩෙන ආකාරය දැක ගත හැකි වේ. කෙනෙකු සිය ජීවිත කාලය තුල සිය පංචේන්ද්‍රීය පාදකව අනන්ත වූ අත්දැකීම් සම්භාරයක් විඳින මුත් සිය කලා ප්‍රකාශනයන් සඳහා ඒ සියල්ල යොදා ගන්නේ ද නැත. ඔහු හෝ ඇය සිය අත්දැකීම් ගොන්න පෙරහන් කර වඩාත් ප්‍රබල, වඩාත් උචිත, වඩාත් බලපෑමක් කළහැකි ඒවා තෝරාගනී. එය පතල්කරුවෙකු මැණික් ගරනවා හා සමාන කටයුත්තකි. ගැරුම් කූඩයේ ඉතිරිවන මැණික් ගල ඉර එළියට අල්ලා එහි සුදුසු නුසුදුසු බව සොයාගන්නා සේ කවියා ද පෙරූ අත්දැකීම් පවා සිය පරිණතභාවයට අල්ලා විනිසුවයි. කවියෙකු හෝ කිවිඳියක ගේ පරිණතභාවය මැනෙන්නේ අනතුරුව ප්‍රකාශිත වන දෙයිනි.
බෝතල් මූඩි ගැලවෙන
වියත් සංවාද වල
ඔබේ කවි අතර
මගේ කවි නොසොයන්න
ඔබ පියඹ
දියණිය හෝ
මව සමග
ගොම්මන් එළියෙන්
සීරුවට කියවන්න!
(එන්න, මගේ කවි කියවන්න)
සුහර්ෂණී ධර්මරත්න කිවිඳිය සිය පස්වන කාව්‍ය සංග්‍රහය වන “එහෙම වරදක් කරල නෑ මම” කාව්‍ය සංග්‍රහයෙන් ඇය සහ ඇගේ කවිය කියවන්න යැයි අපට ආරාධනා කරන්නේ එලෙසිනි.
මේ ආරාධනා කවිය තුලම ඈ ඇගේ දෘෂ්ටිවාදය ගැන ඉඟියක් සපයයි. ආසියානු කලාපයේ දී බහුතර ගැහැනිය මුහුණ දෙන දෙවන පුරවැසිභාවය පිළිබඳ ගැටලුව ඒ තුල දිදුලන ආකාරය දක්නට ලැබේ. ඇය සිය “ආරාධනා කවියෙහි” තැනෙක මෙසේ සඳහන් කරයි.
අකමැතිය මා
ගැහැනියක මොළය
හැඳිමිටෙන් මනිනවාට
අකමැතිය
යටිබඩ කොරවෙන
මාස් වේදනාවට
කොට්ටය තෙරපාගෙන
අප නගන කෙඳිරියට
ඔබ හිනා වෙනවාට
සුහර්ෂිණී ධර්මරත්න කිවිඳියගේ මෙම කාව්‍ය එකතුව තුල කාව්‍ය ධාරාවන් දෙකක් දැකිය හැකිය. ඉන් එකක් ආදරය, ප්‍රේමය ඔස්සේ ගැහැණිය කියවීමයි. දෙවැනි ධාරාව සමාජ දේශපාලන කාරණා ඔස්සේ ගැහැණිය කියවීමයි.
ළැමෙහි කෝමල රටා සැලෙන දෑඟිලි අතර
රල නගන ඇසිල්ලේ
අදිසි පියවර හඬක්
මහා ගිගුමක්ව නැග
සිංහගිර සත් යලක් කම්පාව සැලුණේය
සිංහ මුඛයට බිලිව
සොඳුරු සිත්තර සිහින
දිය අගල බොඳව රත නැගුණේය
සියුම් සිත්තර ඇඟිලි
සිහිනයෙන් දිවෙන කල ළැම පුරා
මහා වංශයෙත් නැති
මහා දුක් ගින්දරක්
ළැම හසුන් දවාගෙන ඇවිළේය.
(අප්සරාවක කඳුළු – පිටුව 24)
සීගිරි පුරාවෘත්තයේ ගැහැනිය මුහුණ පාන්නට ඇතැයි ඇය ගේ පරිකල්පනයේ වැඩෙන අදහස නූතන ගැහැනියට වුව එක හෙලා සමපාත කළ හැකිය.
නූතන තාක්ෂණික මෙවලම් භාවිතයේ දී පවා ගෘහය තුල ගැහැනිය මුහුණ පාන අර්බුදය ඇය අපූරුවට තවත් තැනෙක කවිකරයි. සිය ස්වාමියා සමග අමනාපව සිටින ගැහැනිය මුහුණු පොතේ සැරිසරද්දී ඇයට පැරණි පෙම යළි හමුවෙයි. සිතින් වේදනා විඳියි. තවත් විටෙක පිරිමින් ගේ සාදයක දී ගැහැනිය “පිරිමි ඇස් කියවපු වෙලාවක” පිරිමියා උරණ වන්නේ ඇයි දැයි ඇය ප්‍රශ්න කරයි පිරිමි ලෝකය තුල පිරිමියාට මේ සියල්ල කැපය. පිරිමි ලෝකය තුල ගැහැනියට එය අකැපය.
සීතාගේ පතිවත
බිම්බාගෙ වතගොත
සම්බුලා සත්පත්තිනි
විඳපු – විඳවපු ගෑනියෙක් මං
ඒ හැමෝගෙන අක්මුල්
දුවල සම් මස් නහර ඇතුලට
ඔයා ඔය බුම්මගෙන හිටියට
එහෙම වරදක් කරලා නෑ මම.
(එහෙම වරදක් කරලා නෑ මම – පිටුව 34)
“පුත නුඹ රඳවා හුණු වටය තුල”, “මේ එතැන”, “මා ප්‍රිය දැරිය”, “පරමල් මතක”, “සානුකම්පා”, “වවුලුවට පසු වදනක්”, “ගෙඹිවත”, “අසම්මත”, “උවමනාය”, “එක්තරා සුරංගනා කතාවක්” වැනි නිර්මාණ තුල පුරුෂ මූලික සමාජ ව්‍යුහයක ගැහැනිය ගැහැනියකවීම නිසාම අත්විඳින විවිධ කටුක අත්දැකීම් ඇය අපූරුවට පරිකල්පනය කරන්නේ විවිධ පර්යාලෝකයන් ගෙනි. සිය සැමියා නැති මොහොතක දරුවා සමග නිවසක තනිව වෙසෙන ගැහැනියක මුහුණු පාන කටුක අත්දැකීම ඇය නිර්මාණය කරන අයුරු අපූරුය.
“මදු බඳුන් පිරේ ය
පසිඳුරන් බමා ය
තණ්හා රතී රඟා ය
ඔබේ හිමි පමා ය”
කිය කියා ගතු
වවුලෙකු තටු ගසා ය
ලද අවස්ථාවෙන් අනතුර ඇය හඹා එන ආකාරය පවසන හැඩ මනරම්ය. වවුලා නිවෙස ඉදිරිපසට පැමිණ ඇත. වවුලා සංකේතවත් කරන්නේ සල්ලාල පිරිමියෙකි.
එළිපත්තෙ එල්ලිලා
කල් බලන ගමන්
නිදිද අහනව
පොඩි රුවන්
විහඟෙකැයි කීවාට
ඒ ගැනත් සැකයි
දොර හිලෙන් බලන කල
උල් දත්ම දෙකයි
ඇය අනතුරේ ස්වාභාවය හඳුනාගනී. ගැලවීමට ඇති එකම මාර්ගය උපයෝගී කරගනී.
නැගිටින්න නැගිටින්න
කාකෝව නංවන්න
පොඩි රුවන්
ඔයා දැන් ලොකුයි.
(වවුලුවට පසු වදනක් – පිටුව 49)
ගැහැනිය මුහුණ දෙන කටුක අත්දැකිම් කවිකරන අතර වෙනත් සමාජ දේශපාලන ගැටලු ගැහැනු ඇසකින් විමසීමට ද සුහර්ෂණී ධර්මරත්න කිවිඳිය සිය නිර්මාණ එකතුව තුල උත්සාහ ගනී. ඒවා තුල ඇගේ දේශපාලන දෘෂ්ටිවාදය ද සියුම්ව මතුවී පෙනෙයි. කෘතියේ පළමු නිර්මාණය වන “සාමිනාදන් විමල්” නිර්මාණයේ ඇය අවසන සටහන් කරන්නේ අතිශය ප්‍රබල නිමාවක් සහිතව ය.
ආදරය සෙනෙහස
පසුතැවුම
මහ පොතක් සේ
එකට බැඳ
එවන මේ
පණිවිඩය
කියවන්න
පඬිපුර
සෙනෙහසින් අවුලන්න
මගේ වම් පියවුර
අසල
ගැහෙනා හදවත
කඩා
පොළොවේ ගසක බව
දන්වන්න.
(සාමිනාදන් විමල් – පිටුව 23)
ගැහැනියක සතු මව්වත් ගුණය යනු සියලු ප්‍රතිවිරෝධතා ඉවත ලන මහා බලයකි. ඕනැම සමාජ දේශපාලන සංසිද්ධියක් දෙස ඇයට මව්වත් ගුණ පූර්ණව බැලිය හැකිය. “ජූලි මාසය කළු උනේ ඇයි?” නිර්මාණය එබන්දකට මාහැඟි උදාහරණයකි. රට අභ්‍යන්තරය ජූලි මාසය මලින් හැඩ වේ. එහෙත් එක් ජූලි මසක් අපේ ඉතිහාසය තුලින් ඒ ස්වාභාවික ලස්සන උදුරාගෙන ගියේය. පාරවල් දිග දමිළ මිනිසාගේ සිරුරු අලුවිය. ඔවුන් ගේ භෞතික දේපල ධූලි බවට පත්විය. නිල් අහස වසා පුළුටු දුම්රොටු පිරී ගියේ ය. එහෙත් අප තවමත් අපේ අනෙකා දුරින් තබා සිටී.
කඳු මුදුන්වල මීදුමෙන් මට තාම දුම්රොටු පේනවා
කන්ද පාමුල බාලචන්ද්‍රන් කිරි හිනාවක් පානවා
නුඹට ගෙන ආ දෝසි අහුරක් පුංචි දෑතේ තියනවා
ජූලි කළුවර සුදු කරන්නට හීනයක් මට තියෙනවා
(ජූලි මාසය කළු උනේ ඇයි? – පිටුව 29)
“දන්වා සිටිමි” නිර්මාණය ද අපූරු කාව්‍යනුභූතියක් විසිතුරු ලෙස භාෂාත්මක කවියට නැගූවකි. මෙය ඇය ගොඩනගන්නේ ලිපියක ආකෘතියකිනි.
විදුහල්පතිතුමනි
සංවත්සරයා දා
ඔබෙන් ඇරයුම් ලැබ
විදු බිමට ඇවිත් ගිය
මහලු මුල් ගුරු යුවල
ඔබට මතකැයි සිතමි
පාසැලේ සංවත්සරයට පැමිණෙන පැරණි විදුහල්පති යුවලගේ අඳුරු මතකයක් ගුරු නිවසේ බිත්ති අතර රැඳි තවමත් තිබේ.
යෝධයා සැතපෙන
යහන්ගල කඳු පාමුල
පුංචි ගුරු නිවහනේ
සිඟිති දරු කැකුළක්
මිලින වී ගිය අතීතය
ඔබ නොදන්නා බව දනිමි
සහලවා උණෙන් පෙලෙමින්
එදවස බලා උන්
ඒ පුංචි ළදැරිය
මා බැව් කියමි
එය හොඳාකාරවම දකින එකම තැනැත්තිය කිවිඳියයි. ඒ අතීත අඳුරු මතකාවර්ජනයේ සොවින් පැරණි විදුහල්පති පියා මියයයි.
සුසුම් හංගා හිත යට
දරුණු දහ අට වංගුව ගෙවා විත්
සුපැතුම් තබා ගිය
ඒ විසල් හදවත
නතර වූ බැව් කියමි
කවියේ අපූරු පරිපාකයක් වෙත සුහර්ෂීණී අපව ගෙන යන්නේ අනතුරුව ය. එය අපගේ හෘද ස්පන්දනය නතර කරවන සුළු ය.
ආදි විදුහලේ
මුල් ගුරු පින්තූරයට
මල් දමක් පළඳවන්නැයි
මතක් කර සිටිමි.
(දන්වා සිටිමි – පිටුව 71)
සුහර්ෂණී ධර්මරත්න කිවිඳිය යනු සෙමෙන් එහෙත් තිරව සවිමත් ව වැඩෙන කිවිඳියක බව මේ නිර්මාණ එකතුවෙන් සනාථ කර සිටින්නීය. මීට කලකට පෙර මොනිකා රුවන්පතිරණ කිවිඳිය රැගෙන ආ යෂ්ඨිය සුමට ලෙස භාර ගැනීමට තරම් සවිමත් කවි සුරතක් ඇයට හිමි බව දැන් ඉඳුරාම කිව හැකිය.