Breaking News

ශේක්ෂ්පියර් සහ සමාගම සාහිත්‍යයට කළ මෙහෙවර

සුභාෂිණී චතුරිකා

පැරිසියේ සුප්‍රසිද්ධ ඉංග්‍රීසි පොත් සාප්පුවේ නිර්මාතෘවරිය සිල්වියා බීච් සහ ඇයගේ පොත් සාප්පුව, ශේක්ෂ්පියර් සහ සමාගම සාහිත්‍යයට කළ මෙහෙවර

1919 වසරේ ඇමරිකානු ජාතික තරුණ සිල්වියා බීච් පැරිසියේ නිහඬ වීදියක ශේක්ෂිපියර් සහ සමාගම(Shakespeare and Company ) නමින් පොත් සාප්පුවක් විවෘත කරන විට, ඇයත් ඇයගේ අලුත් පොත් සාප්පුවත් සාහිත්‍ය ලෝකයේ මහා මෙහෙවරකට උර දෙනු ඇතැයි නිකමටවත් ඇය සිතන්නට නැත.

ශේක්ෂිපියර් සහ සමාගම නම් ආයතනය පොත් සාප්පුවකට සහ බැහැර දෙන පුස්තකාලයකට වඩා වැඩි යමක් වීය. පළමු ලෝක යුද්ධය සමයේ Lost Generation ලෙස හැඳින්වුනු ප්‍රකට සාහිත්‍යවේදීන්ට එය තමන්ගේ දෙවැනි නිවහන බවට පත් වීය. (එකල පළමු ලෝක යුද්ධය සමයේ තම රටින් බැහැරව ප්‍රංශයේ, විශේෂයෙන් පැරිසියේ ජීවත් වූ ඇමරිකානු සහ යුරෝපීය සාහිත්‍යධරයන් හැඳින්වීමට Lost Generation නම් යෙදුම යොදා ගන්නා ලදි. මෙය ප්‍රථම වරට භාවිතයට ගනු ලැබුවේ ඇමරිකානු සාහිත්‍යවේදිනියක වන ගර්ට්රූඩ් ස්ටේන් විසිනි. ඉන් අනතුරුව එම හැඳින්වීමට අයත් ප්‍රකට ලේඛකයෙක් වුනු අර්නස්ට් හෙමින්ග් වේ විසින් එම යෙදුම ඔහුගේ කෘතියක් තුළ ද භාවිතයට ගන්නා ලදි.) එසේ “අතරමං වුණු පරපුරට” අයත් වූ සහ ශේක්ෂිපියර් සහ සමාගම සිය දෙවැනි නිවහන කරගත් ප්‍රකට ලේඛකයන් අතරේ අර්නස්ට් හෙමින්ග්වේ, ගර්ට්රූඩ් ස්ටේන්, ජේම්ස් ජොයිස්, එස්‍රා පවුන්ඩ්, ස්කොට් ෆිට්ස්ජෙරල්ඩ්, ටී. එස් එලියට් ප්‍රධාන තැනක් ගනිති.

ඒ අනුව එම පොත් සාප්පුව, විසිවැනි සියවසේ සාහිත්‍යයික දැවැන්තයින් පිරිසකට එකිනෙකා මුණ ගැසීමට, එකට ගැවසීමට, එක්ව වැඩ කිරීමට සහ සිය මිත්‍රත්වය වර්ධනය කර ගැනීමට ඉඩ සලසා දුන් ඓතිහාසික වටිනාකමින් යුත් වැදගත් ස්ථානයක් බවට පත් වූයේය. එම මිත්‍ර සබඳතා අතරින් පොත් සාප්පුවේ අයිතිකාරිය සිල්වියා බීච් සහ අයර්ලන්ත ලේඛක ජේම්ස් ජොයිස් අතර ඇති වුණු මිත්‍රශීලි සබඳතාව සාහිත්‍ය ලෝකයට දැවැන්ත මෙහෙවරක් සිදු වීමට ඉඩ සලසා දුන්නේය. ජේම්ස් ‍ජොයිස් ඔහුගේ කීර්තිමත් නිර්මාණය” යුලිසිස් (Ulysses) ලියා අවසන් කිරීමට වෙර වීරිය දරන විට, සිල්වියා ඔහුගේ එම නිර්මාණ කටයුතු පහසුවෙන් කරගෙන යාමට තම පොත් සාප්පුව තුළ ඉඩ ලබා දුන්නාය. එසේම එම නවකතාව තහනමට ලක් වීමේ තර්ජනයට මුහුණ පාමින් සිටියදී ඇය ඉතාමත් දැඩි අවදානමක් ගෙන එම කෘතිය ශේක්ෂ්පියර් සහ සමාගම යටතේ මුද්‍රණය කිරීමට ද ඉදිරිපත් වූවාය.

නමුත් එම ශතවර්ෂයේ වඩාත්ම කුප්‍රකට මෙන්ම බලපෑම් සහගත කෘතිය ප්‍රකාශයට පත් කිරීමේ සාර්ථකත්වය සේම අපකීර්තිය ද පැමිණුනේ එයට නියමිත ගෙවීමක්ද සමඟය. ඇය මහත් සේ ආදරය කළ පොත් සාප්පුවේ අනාගතය අවදානමකට ලක් වන්නට පටන් ගත්තේ යූලිසිස් කෘතියේ සාර්ථකත්වය විසින් අනෙක් පොත් ප්‍රකාශකයන්ව ජොයිස්ගෙන් ඈත් කොට තැබූ නිසාය. එසේම පැරිසියට ආක්‍රමණික හමුදා ඇතුළු වන විට සහ, රටින් බැහැරව ජිවත් වූ ඇයගේ ඇමරිකානු මිතුරන් නැවතත් ඇමරිකාව බලා යන විට ඇය මහත් ආදරයෙන් රැක ගත් මිත්‍ර සබඳකම් පරීක්ෂණයට ලක් වූයේය. ඇය වඩාත් වේදනාකාරී පෞද්ගලික සහ මූල්‍යම අර්බූදයන් තුල ගිලෙන විට සිල්වියා නම්, දිවිහිමියෙන් තමන් සිදු කළ යුතු කාර්යය භාරයන් න‍ොසැලී ඉටු කළ ගැහැණියට ශේක්ෂිපියර් සහ සමාගම නම් පොත් සාප්පුව තුළ වූ සැබෑ අර්ථය කුමක්දැයි තීරණය කිරීමට ද සිදු වනු ඇත.

ඉහතින් සඳහන් වූයේ ඇමරිකානු ජාතික ලේඛිකාවක වන කෙරී මාර් විසින් රචිත, සාහිත්‍ය ‍ලෝකයේ ඓතිහාසික සිදුවීම් අළලා ලියැවුණු සාහිත්‍ය කෘතියක් වුණු The Paris Bookseller නම් කෘතිය පිළිබඳ කෙරී මාර් ගේ පුද්ගලික වෙබ් අඩවියේ පළවුනු කෙටිසටහනකි. ඉහත සටහනේ දැක්වෙන පරිදි එම කෘතියට මූලිකවම පාදක වී ඇත්තේ, පළමු ලෝක යුද්ධය සමයේ, ඇමරිකා එක්සත්ජනපදයේ සිට පැමිණි සිල්වියා බීච් නම් තරුණිය විසින් ප්‍රංශයේ පැරිස් නුවර පවත්වා ගෙන ගිය ඉංග්‍රීසි භාෂා පොත් සාප්පුවක් සහ එම ස්ථානයේ ගැවුසුණු, එහි පොත් පරිශිලනය කළ ලේඛක ප්‍රජාව වටා ගෙතුණු සිදුවීම් මාලාවකි.

සිල්වියා බීච්

“සිල්වියාට තිබුණෙ ප්‍රභාවත්, තියුණු පෙනුමක් ඇති මුහුණක්. කුඩා සතෙකුගේ වැනි ප්‍රාණවත්, කුඩා කෙල්ලකගේ වැනි ප්‍රීතිමත් දුඹුරුවන් ඇස් දෙකක්.” හෙමින්ග්වේ ඔහුගේ මතක සටහන් වල සිල්වියා ගැන එසේ ලියා තැබුවේය. “ ඇය කරුණාවන්තය, ප්‍රීතිමත්ය, සිත්ගන්නා සුුළුය, ඇය විහිළු කරන්නටත් ඕප දූප කියවන්නටත් ප්‍රියතාවක් දැක්වූවාය. මින් පෙර ඇය තරම් වෙන කිසිවෙක් මට මෙතරම් ප්‍රියමනාප වී නැත.”

සිල්වියා බීච් චරිතය එකල ඇයගේ පොත් සාප්පුවේ ගැවසුනු බොහෝ ලේඛකයන්ගේ මතක සටහන් ලියැවුණු කෘති තුළ මිහිරි මතකයක් ලෙස සඳහන් වී ඇත. ඉන් විශේෂ තැනක් ගන්නේ අර්නස්ට් හෙමින්ග්වේ ගේ A Moveable Feast නම් මතක සටහන් ඇතුළත් කෘතියයි.

හෙමින්ග්වේ පළමුවරට ඇයගේ පොත් සාප්පුවට ගොඩ වැදුන විට ඇය ඔහු වෙත පළ කළ විශ්වාසය නිසා ඔහු තරමක් පුදුමයට පත් වූයේය. ඔහුට පොත් සාප්පුවේ බිල ගෙවාගත නොහැකි වූ නමුත්, ඇය ඔහුගේ දෑත් පොත් වලින් පුරවා නැවත පැමිණි විටෙක බිල ගෙවන්නැයි පවසා ඇත. ප්‍රංශයේ ඉංග්‍රීසි ‍පොත් විරල වූ කාලෙක හෙමින්ග්වේ මෙන්ම ඉංග්‍රීසියෙන් කියවන බොහොමක් ලේඛකයන් තමන් කැමති ඉංග්‍රිසි කෘති වල ඇසුර ලැබුවේ, සිල්වියාගේ පොත් සාප්පුවට ස්තූතිවන්ත වෙන්නටය. එය පොත් සාප්පුවක් හෝ පොත් ගුලක් පමණක් නොව එහි යන එන බොහෝ ලේඛකයන්ට තැපැල් කන්තෝරුවකි, අවශ්‍ය විට ණය ආධාර දෙන බැංකුවකි, පැරසියේ සබඳකම් සහ නවාතැන්පොළවල් සොයාදෙන ස්වේඡ්චා ආයතනයකි, නවාතැන් පහසුකම් ඇති හෝටලයකි. ඒ සියල්නටම වඩා ඔවුන්ට තම ලේඛණ කාර්යයේ නිද‍හසේ කළ හැකි සමකාලින ලේඛකයන් සහ කලාකරුවන් මුණ ගැසී ඔවුන් හා කතා බහ කළ හැකි නිදහස් තිප්පලකි. කෙරී මාර් තරුණ ලේඛිකාවගේ The Paris Bookseller නම් ඓතිහාසික නවකතාවට වස්තු බීජය වී ඇත්තේ එවන් අසිරිමත් කාර්යයක් කළ සිල්වියා බීච් නම් නිර්භිත ගැහැණියගේ ජීවිතය සහ ඇයගේ පොත් සාප්පුවයි.

කෙරී මාර් මින් පෙරThe Kennedy Debutante සහ The Girl in White Gloves; A Novel of Grace Kelly නම් නවකතා දෙකක් ලියා පළ කර ඇත. ඇය The Paris Bookseller කෘතිය ‍මේ වසරේ (2022) ජනවාරි මස නිකුත් කළ වහාම එම කෘතිය ඇමරිකා එකසත්ජනපදයේ වඩාත්ම හොඳින් විකිණෙන පොත් ලැයිස්තුවකට ද ඇතුළත් වී තිබුණි. පහතින් දැක්වෙන්නේ ඇය සමඟ කරන ලද සංවාද කිහිපයක දී ඇය දැක්වූ අදහස් සම්මුචයකි.

අතරමං වුණු පරපු‍රේ( Lost Generation )සාමාජකයෝ කවුද? ඔවුනට ඒ පොත් සාප්පුව වැදගත් වුනේ ඇයි?

Lost Generation කියන හැඳින්වීම ප්‍රසිද්ධියට පත් වුනේ අර්නස්ට් හෙමින්වේ ගේ නවකතාවක් වන The Sun Also Rises නම් කෘතිය තුළින්, ඒත් ඒ වදන මුලින්ම භාවිතා ‍කලේ ‍ගර්ට්රූට් ස්‍ටේන් විසින්. එතැන් පටන් පළමු ලෝක යුද්ධය ආරම්භ වීමෙන් පසු, ඇමරිකාවේ ඉඳන් යුරෝපයට, විශේෂයෙන් පැරිසියට පැමිණි ඇමරිකානුවන් හැඳින්වීමට මේ වදන යොදා ගත්තා.

ඉතින් තමන්ගේ රටෙන් බැහැර ජිවත්වෙන මේ අයට ශේක්ෂපියර් සහ සමාගම තම නිවෙසින් බැහැරව තියෙන තමන්ගේ තවත් නිවෙසක් බවට පත් වුණා. එම පොත් සාප්පුව තමන්ගේ මව් භාෂාවෙන් ලියැවුණු පොත් විතරක් නොවෙයි ඔවුනට සොයා දුන්නේ, එක වගේ සිතන, කියවන, සංචාරය කරන ඒ වගේම පළමු ලෝක යුද්ධය ඉතිරි කල අළු දූලි මතින්, ඔවුන්ගේම ප්‍රගතිශීලි ක්‍රමවලට ලෝකය නැවත ගොඩනඟන්න, එකිනෙකාගෙන් ඈත් නොවන්න අධිෂ්ඨාන කොට ගෙන සිටි ඔවුන්වද එකිනෙකාට සොයා දුන්නා.

සිල්වියා බීච් සහ ජේම්ස් ජොයිස් අතර තිබුනේ මොන වගේ සම්බන්ධයක් ද?

සිල්වියා සහ ජේම්ස් ජොයිස් අතර පැවතුනේ භාෂාවට, සාහිත්‍යයට සහ පැරිසියට තිබුනු ආදරය මත පදනම් වුණු ගැඹුරු මිත්‍රත්වයක්.ඔවුන් දෙදෙනා පොත් සාප්පුවේදි වගේම කෝපි සැල් වල දී වචන සම්බන්ධ විනෝද ක්‍රීඩාවල නිරත වුනා. ඔවුන් එකිනෙකා වෙත තදින් බැඳුනේ යුලිසිස් කෘතිය ප්‍රකාශනය තහනම් වීමට එරෙහිවයි. එහෙත් මුදල් සහ ව්‍යාපාරය ඔවුන්ගේ මිත්‍ර සබඳතාව මඳක් සසල කළ අතරම එය ඔවුන් අතර විවිධ මත හේද ඇති වීමටත් හේතුවක් වුවා. ඒත් සිල්වියා තම මුළු ජීවිත කාලයම පුරාම ජෝයිස් ගේ කෞෂළ්‍යය පිළිබඳ අගය කළා.

ඇඩ්‍රියන් මොනියෙර් කියන්නෙ කවුද?

ඇඩ්‍රියන් මොනියෙර් කියන්නෙ සිල්වියාගේ ජීවිතයේ හොඳම දශක දෙකක කාලයක් පුරා සිටි ආදරවන්තිය සහ ජීවිත කාලයක් පුරා සිටි හොඳම මිතුරිය. ඇය සතුව La Maison des Amis des Livres නමින් පැරිසියෙ ප්‍රංශ භාෂා පොත් සාප්පුවක් සහ බැහැර දෙන පුස්තකාලයක් තිබුනා, ඇය තමයි සිල්වියාට ශේක්ෂිපියර් සහ සමාගම පොත් සාප්පුව ආරම්භ කරන්න මූලිකවම ආභාෂය සැපයූවේ. ඇය ලේඛිකාවක්, ප්‍රකාශන ආයතනයක හිමිකාරියක්,පරිවර්තිකාවක් සහ අතිදක්ෂ සාහිත්‍ය සත්කාරිකාවක්, ඒ වගේම ඇය හොඳ රසවතියක්. ඇයගේ පොත් සාප්පුවද පැරිසියේ බොහිමීයානු බුද්ධිමතුන් ගැවසෙන වැදගත් තිප්පලක් වුනා.

කොහොමද ඇමරිකා එක්සත් ජනපදයේ නීතිය පැරිසියේ තිබුණු සිල්වියාගේ පොත් සාප්පුවට බලපෑවේ?

මම දන්නා තරමින් ඇමරිකවේ නීතිය පැරිසියේ ඉන්න සිල්වියාට බලපෑවේ නැහැ, ඒ නිසා තමයි ඇමරිකාවේ තහනම් වුණු ජේම්ස් ජොයිස් ගේ යුලිසිස් කෘතිය ඇයට ප්‍රංශයේ සිට ප්‍රකාශයට පත් කරන්න හැකි වුනේ. ඇමරිකාවේ ජීවත්වන පාඨකයන් ද ඒ පොත කියවීමට කැමැත්තෙන් සිටි නිසා සිල්වියාට සිදුවුනා හොරෙන් පොත ඇමරිකාවට ඇතුළු කරන ක්‍රම හොයා ගන්න.යු ලිසිස් කෘතිය ඇමරිකාවට හොර රහසේ ඇතුළු කිරීමට ගත් උත්සාහයන් නැවත සිහිපත් කරන විට, සිනා පහළවන තරමේ සිදුවීම් එහි ති‍බෙනවා. එවකට තරුණ ලේඛක සහ ජනමාධ්‍යවේදී අර්නස්ට් හෙමින්වේ සම්බන්ධ වී එම කෘතිය ඇමරිකාවට හ‍ොර රහසේ යැවූ ආකාරය ද එවැනි සිනා උපදවන කතාවක්.

ඔබ කොහොමද ජේම්ස් ජොයිස් සහ සිල්වියා බීච් අතර සිදුවන දෙබස් ප්‍රතිනිර්මාණය කලේ?

මට කරන්න සිදුවුනු පළමු දෙය තමයි හිලරි මැන්ටල් ගේ විස්මිත රූපකය සිහියට නඟා ගන්න එක, ඓතිහාසික නවකතාවක් කියන්නේ කාලයන්ගේ, ස්ථානයන්ගේ සහ මිනිසුන්ගේ ඡායාරූපී ආකෘතියක් නොවේ කියන කතාව. එය අතහැරුනු පින්සල් පහරවලින් කරන සිතුවමකට වඩාත්ම සමාන වෙනවා. ඒ නිසා The Paris Bookseller කෘතියේ එන ජේම්ස් ජොයිස් සහ සිල්වියා බීච් කියන්නේ මගේ අර්ථ නිරූපණයන් සහ මගේ චරිත, ඒවා සැබෑ චරිත නොවෙයි. ඒත් මම ඔවුන්ට උපරිම සාධාරණයක් ඉෂ්ඨ කරන්න උත්සාහ ලා ඔවුන්ගේ ජීවිත කතා, ලිපි සහ සිල්වියා සම්බන්ධයෙන් නම් ඇයගේ මතක සටහන් කියැවීමේන්. මම උත්සාහ කලා ඔවුන්ව ස්ථානගත කරන්න ඔවුන් සැබෑවටම අත්දැකපු ස්ථානවල සහ සිදුවීම් තුළ. මම නිතරම මගෙන්ම විමසන්නට වූනා, මේ සැබෑ ජීවිතයේ නිමේෂය තුළ සිල්වියාට කුමක් දැනේවිද? ඇය කුමක් කියනු ඇද්ද? ඇය කුමක් නොකියනු ඇද්ද? වගේ දේවල්.

ඓතිහාසික නවකතාවක් ලිවීම කුමන ආකාරයේ අත්දැකීමක්ද?

එය ඉතාමත් සිත්ගන්නා සුළුයි වගේම දුෂ්කරයි. ඒ වගේම මිහිපිට ජීවත්වූ සැබෑ ගැහැණියකගේ ජිවිතය පදනම් වූ චරිතාපදානමය ‍ඓතිහාසික කතාන්දරයක් විසින් ඇතිකරන ආතතිය සැබවින්ම ප්‍රතිඵල ගෙන දෙන්නක්.

අනික් පැත්තෙන් මට ලොකු උවමනාවක් තිබුනා සිල්වියා බීච් ගේ චරිතයට සාධාරණයක් ඉෂ්ඨ කරන්න මොකද ඇය ඉතාමත් පුදුම එළවන සුලු ජීවිතයක් ගත කල කාන්තාවක් නිසා. මම ඒ සම්බන්ධයෙන් ගොඩක් පර්යේෂණ කළා, මට සහතික වශයෙන්ම ඇයගේ හඬ මේ කෘතිය තුළ රැව් දෙන්න මට අවශ්‍යව තිබුණා, ඒ ‍වගේම ජේම්ස් ජොයිස් සහ අර්නස්ට් හෙමින්වේ වැනි අනෙක් චරිතත්. ඒ වගේම මේ කෘතිය පිළිබඳ අනෙක් පස යථාර්තයත් මගේ ඔළුව ඇතුලෙ වැඩ කළා, ඒ මේක නවකතාවක් කියන කාරණය. සිල්වියාගේ, ජොයිස් ගේ සහ හෙමින්වේ ගේ චරිත අර්ථ නිරූපණය කරන එක අවශ්‍ය දෙයක්. ඉතින් මට දැනුනා සැබෑවේ සහ අරුත් ගැන්වීම අතර ඇති ආතතිය මට තදින් අල්ලා ගන්න සිද්ධ‍ වෙනවා කියන එක. මා ප්‍රතිනිර්මාණය කල ජෙම්ස් ජොයිස් සහ සිල්වියා බීච් කියන චරිත මේ නවකතාවම වෙන කෙනෙක් ලීවොත් ඒවා එකිනෙකට ගොඩක් වෙනස් වෙන්න පුළුවන්.

ඔබ මේ කෘතියට ලීවීමට සූදානම් වීම සඳහා විශේෂයෙන් කියවූ පොත් මොනවාද?

සිල්වියා බීච් විසින්ම ලියන ලද මතක සටහන් ඇතුළත් Shakespeare and Company නම් කෘතිය. ඇය ඉතාමත් සිත්ගන්නා සුළු ලේඛිකාවක්. මම එය ප්‍රථමවරට කියවූයේ පාසල් කාලයේ, මට එය කියවද්දි සිතුනා ඇය මොනතරම් අපූරු ජීවිතයක් ගත කළ කාන්තාවක් ද කියන එක. මම නැවත කියවූ පොතක් තමයි හෙමින්වේ ගේ A Moveable Feast නම් කෘතිය. ඉන්පසු මම ගොඩක් උවමනාවෙන් කියවූ අනෙක් පොත ඇමන්ඩා වේල් ගේ Everybody Was So Young නම් කෘතිය, එහි කියැවෙනවා ඒ කාලේ පැරිසියේ ජීවත්වුනු කැපී පෙනුනු සාරා සහ ජෙරල්ඩ් මර්ෆි යුවළ ගැන.

ඔබ මේ කෘතිය සඳහා පැරිසිය පිළිබඳ මොනවද කියෙව්වේ?

මම පැරිසියට ගියා! මම “1921 ග්‍රීෂ්ම සෘතුවේ දී ජේම්ස් ජොයිස්, යුලිසිස් ලියන විට මෙහි නැවතී සිටියේය’ සඳහන් වුණු ගොඩනැඟිල්ලක තමයි නැවතුනේ. ඉතින් ජොයිස් එහි ජීවත් වූ සැටි වටපිටාට රසවින්ද සැටි මම සිතින් මවා ගත්තා. එතැනින් පොඩ්ඩක් එහා තිබුනේ හෙමින්වේ පැරසියේ මුලින්ම නවාතැන් ගෙන සිටි නිවස්නය. පොත සඳහා පර්යේෂණ කරන විට මම එවැනි අසිරිමත් අත්දැකීම් ලැබුවා.

ඔබගේ කෘතියෙන් පාඨකයන් කුමක් උකහා ගනු ඇද්දැයි ඔබ අපේක්ෂා කරන්නේද?

The Paris Bookseller කෘතිය සම්බන්ධයෙන් මට මූලික අපේක්ෂාවන් දෙකක් තියෙනවා. පළමු වැනි අපේක්ෂාව තමයි පාඨකයාට වැටහෙන්න ඕනෙ, විසිවැනි සිය‍වසේ සාහිත්‍ය ලෝකයේ වෙනසක් කරන්න සිල්වියාගේ අරුම පුදුම කලාකාමී මෙහෙවර, ඒ කියන්නේ ශේක්ෂිපියර් සහ සමාගම ‍හේතුභූත වුවාය කියන එක. වෙන කිසිවෙකුට ධෛර්යයක් නොමැති වූ මො‍හොතක ඇය යුලිසීස් මුද්‍රණය කිරීමට අත ගැසුවා. ඇය තමන්ගේ මතය සහ අරමුණ දැඩිව විශ්වාස කලා පමණක් නොව ඇය තුළම වූ බිය වගේම, ඇයට මෙන් දැක්මක් සහ එඩිතරබවක් නොමැති බලසම්පන්න නීතිඥයන්, විනිශ්චයකාරවරුන් සහ ප්‍රකාශකයන් නොතකා හරමින් ඇය ඒ අරමුණ නොබියව හඹා ගියා. ඇය අප සියල්ලන්ටම හොඳ ආදර්ශයක්.

ශේක්ෂිපියර් සහ සමාගම හරහා පාඨකයන්ට මට ඒත්තු ගන්වන්න අවශ්‍ය වූ අනෙක් කාරණය තමයි, අසල්වාසී කලාකරුවන් ලේඛකයන් මුණ ගැසෙන ස්ථානයක් ලෙස, සාහිත්‍යයික මතිමතාන්තර බිහිවෙන කේන්ද්‍රස්ථානයක් ලෙස, කියවීමේ ක්‍රියාව සඳහා අවශ්‍ය සහයෝගී ජාලයක් නිර්මාණය වෙන ස්ථානයක් ලෙස පොත් සාප්පු සහ පොත් ගුල් මොන තරම් වැදගත් ද කියන එක.මම අපේක්ෂා කරනවා, සාහිත්‍යයික සහ කලා අනුග්‍රාහකයන් අතට ඔවුන් සොයන ආකාරයේ පොතක් ඔවුන්ගේ අතට පත් කිරීමේ ආඩම්බරය අත්පත් කර ගන්නා සිල්වියා බීච් වැනි ශූර පොත් සාප්පු හිමිකාරියන් වැන්නවුන් සිටින ප්‍රාදේශීය පොත් සාප්පු සහ පොත් ගුල් සොයා යෑමට මේ කෘතිය විසින් පාඨකයාව පොළඹවයි කියලා. එවැනි ස්ථාන තමයි ඔවුන්ගේ ජිවිත සදහටම වෙනස් කරන්න ඉඩ ඇති ස්ථාන.

සුභාෂිණී චතුරිකා

අනිද්දා පුවත්පතේ දේදුන්න අතිරේකයේ පළ වුණු ලිපිය.

 

leave a reply