“හොඳින් ලිවීමට නොව නිතරම අවංකව ලියන්න මහන්සි ගන්න”
තම ජීවිත අත්දැකීම් ඇසුරෙන් කෙටි, විරල, තීව්ර සේම අගතියෙන් තොර සාහිත්‍ය කෘති සම්පාදනය කළ, අසූ දෙහැවිරිදි, ප්‍රංශ ජාතික අනී එර්නෝ, 2022 වසරේ සාහිත්‍ය සඳහා වූ නෝබල් සම්මානයෙන් පිදුම් ලැබුවාය.
1940 වසරේ ප්‍රංශයේ නෝමන්දි පෙදෙසේ, වැඩකරන පංතියේ පවුලක ඉපදුන එර්නෝ සිය, පළමු කෘතිය වූ Les Armoires vides (Cleaned Out) ලියා පළ කළේ 1974 වසරේදී ය. එය ස්වයං චරිතාපදානාත්මක නවකතාවක් ලෙස හැඳින්වෙන අතර එම කෘතිය 1990 වසරේ ඉංග්‍රීසි භාෂාවට ද පරිවර්තනය වූයේය. ඉන් පසු ඇය සාහිත්‍ය කෘති විස්සකට අධික ප්‍රමාණයක් ලියා පළ කර ඇති අතර ඒවායින් කිහිපයක් මේ වන විට ඉංග්‍රීසි භාෂාවටද පරිවර්තනය වී ඇත.
ඇයගේ කෘති තුළ කතාව, හැඟීම්, චිත්තාවේගයන් කියා පෑමට ඇයගේ ජිවිත කතාවම ඇය යොදා ගැනීම සුවිශේෂි ලක්ෂණයක් ලෙස දැකිය හැකි වෙයි. වෙසෙසින් ඇයගේ කෘති තුළ වූ සංගතභාවය පිළිබඳව ඇය නිරතුරුව ප්‍රශංසාවට ලක්ව ඇත. ඇයගේ සෑම වදන් පෙළක්ම, සෑම කෘතියක්ම තුළින් ඇය උත්සාහ දරා ඇත්තේ යථාර්තය නිරූපණය කිරීමටත්, සත්‍යයට ලං වීමටත්, පැවැත්මේ යථාව පිළිබඳ කියා පෑමටත්ය. එර්නෝ විසින් ඇයගේ ලීවීම් විස්තර කරන්නේ ඒවා “ සාහිත්‍ය, සමාජ විද්‍යාව සහ ඉතිහාසය අතර පවතින කිසිවක්” ලෙසය.
‘නොවටිනා සාහිත්‍යය ලෙස සැලකෙන’ ගබ්සාව, වැඩකරන ජනතාව ගමන් කරන දුම්රිය සහ සුපිරි වෙළඳසැල් පිළිබඳව සේම “උසස්” යැයි සම්මත තේමා ලෙස සැළකෙන කාලය, මතකය සහ අමතකවීම් යන දෙවගම පිළිබඳ ලියමින් ඇය සාහිත්‍යයික පිළිවෙලට බාධා කළ ඇති අතරම ඇයට සමාජ ක්‍රමය සෙලවීමට ද අවශ්‍ය වි තිබුණි. ඇය ලිවීමේදී වඩාත් පැහැදිලි සහ වියලි ස්වරූපයක් අනුගමනය කරමින් වාක්‍යයක් තුළ තිබිය යුතු යැයි විශ්වාස කරන අලංකාර ස්වභාවය ප්‍රතික්‍ෂේප කළාය.
ඇයගේ ළමා කාලය ගෙවුනේ නෝමන්දි හී ඊව්තෝ නම් කුඩා ග්‍රාමයේ සිය දෙමව්පියන්ට අයත් කුඩා සිල්ලර කඩයක් ආශ්‍රිතවය. එම කාලය තුළ, ඉතා කුඩා කාලයේ සිට ඇය සෑම වර්ගයම ‘කතා බස් සහ භාෂාවන්’ අසාගෙන සිටින්නට අවස්ථාව ලද අතර එමඟින් ඇයට සමාජ ස්ථරයන්ගේ ධූරාවලිය මෙන්ම ඒ තුළ වු ආධිපත්‍යයේ සියුම් ස්වභාවයන් පිළිබඳ දැනුවත් භාවයක් ලබා ගැනිමට හැකි විය. අධ්‍යාපනය තුළින් සිදු වූ ඇයගේ ජීවන නැග්ම( එය ඇයව ප්‍රංශ භාෂාව පිළිබද ආචාර්වයරියක දක්වා රැගෙන ගියේය) සහ මධ්‍යම පාංතික ලෝකය වෙතට රැගෙන ගිය ඇයගේ විවාහය, ඇයව අයත් සමාජ පංතියෙන් පිටමං වීමට ඇයට ඉඩ සැලසුවේය. ඇයගේ ලිවීම් උපත ලැබුවේ ඒ පිළිබඳ වරදකාරී හැඟීම, ලැජ්ජාව, පසුතැවීම සහ දායාර්දගුණය ද මඟින් පෝෂණය වූ ආතතිය තුළිනි.
නෝබල් සාහිත්‍ය ත්‍යාගය සහ අනී එර්නෝ
අනී එර්නෝ මෙම වසරේ සාහිත්‍යය සඳහා නෝබල් සම්මානය දිනා ගන්නා ලද්දේ, 1901 වසරේ නෝබල් සම්මාන ප්‍රදානය ආරම්භ වූ දා සිට, එම සම්මානයෙන් පිදුම් ලද දාසය වැනි ප්‍රංශ ජාතික ලේඛකයා හෝ ලේඛිකාව ලෙසය. අවසන් වතාවට ප්‍රංශ ලේඛකයෙකු ලෙස මෙම සම්මානයෙන් පිදුම් ලැබුවේ මීට වසර අටකට පෙර පැත්‍රික් මෙදියානෝය. අනී එර්නෝ සාහිත්‍ය සඳහා වූ නෝබල් ත්‍යාගය ලද ප්‍රථම ප්‍රංශ ලේඛිකාව වන අතර එම සම්මානයෙන් මෙතෙක් පිදුම්ලද සාහිත්‍යවේදිනියන් අතරින් දාහත්වැන්නිය ද වන්නීය.
සෑම වසරකම ඔක්තෝබර් මාසය ආසන්න වන විට ලොව පුරා සාහිත්‍ය විචාරකයෝ, සාහිත්‍යවේදිහූ සහ සාහිත්‍ය ලෝලීහූ එම වසරේ සාහිත්‍ය සඳහා වු නෝබල් සම්මානයෙන් පිදුම් ලබන්නේ කවුරුන්දැයි අනුමාන කිරීම ආරම්භ කරති, ඒ පිළිබඳ කරුණු ගෙන හැර පාන දිර්ඝ ලිපි ද ලියැවෙයි. එහෙත් ඒ බොහෝ අවස්ථාවල නෝබල් සාහිත්‍ය කමිටුව එනම් ස්විඩන ඇකඩමිය, කිසිවෙකු විසින් අනුමාන නොකරන ලද සාහිත්‍යවේදියෙකු ඉතා ශූර ලෙස තෝරා ගැනීමට සමත් වෙයි. ඊට හොඳම උදාහරණයක් වන්නේ පසුගිය වසරේ නෝබල් සාහිත්‍ය සම්මානය ලැබූ ටැන්සානියාවේ සැන්සිබාර් හි උපත ලද බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන අබ්දුල් රසාක් ගර්නාය. ඔහු වැඩිමනත් ලෙස සාහිත්‍යකරණයේ යෙදුනේ මාධ්‍ය අවධානයෙන් දුරස්ව හිඳිමිනි. එසේම, විටෙක ස්විඩන ඇකඩමිය සාහිත්‍ය ලෝකය අවුලුවා තබමින් ඉතාමත් විවාදාත්මක තෝරා ගැනීම් සිදු කරයි. 2016 වසරේ, ප්‍රකට ගායකයෙකු සහ ගී පද රචකයෙකු වන ඇමරිකානු ජාතික බොබ් ඩිලන්ට එම සම්මානය ප්‍රදානය කිරීම ඒ පිළිබඳ හොඳම උදාහරණය ලෙස දැක්විය හැකිය. එය සාහිත්‍ය ලෝකය තුළ මහත් ආන්දෝලනයක් ඇති කළේය. එහෙත් මෙවර සිදුවූ විශ්මය ජනක සිදුවීම නම් බොහෝ සාහිත්‍ය විචාරකයන්ගේ අනුමානයන් තුළ අනී එර්නෝ ඇතුළත්ව සිටියා පමණක් නොව එම තෝරා ගැනීම පිළිබඳ ස්විඩන ඇකඩමිය සමඟ සාහිත්‍ය ලෝකය එකහෙළාම එකඟ වීමය.
ස්වඩින ඇකඩමියට අනුව ඇය එම සම්මානයෙන් පුදනු ලැබුවේ, “ පෞද්ගලික මතකයන්ගේ මූලයන්, විභේදනයන් සහ පොදු සංයතභාවයන් අනාවරණය කරමින් ඇය විසින් ප්‍රකට කරන ඇයගේ ධෛර්යයත්, අගතියෙන් තොර තීක්ෂණභාවයත් උදෙසා” ය.
නෝබල් සාහිත්‍ය සම්මානය පිළිබඳ තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව සම්ප්‍රදායක් ලෙස එම සම්මානය ලද පුද්ගලයා සමඟ ස්විඩන ඇකඩමියට සම්බන්ධ කිසිවෙක්, දුරකතන සංවාදයක් සිදු කරයි. අනී එර්නෝ හා කරන ලද එම සංවාදයේ තෝරා ගත් කොටසක් සැකෙවින් මෙසේය.
මම අහුවොත් කොහොමද ඔබට දැනෙන හැඟීම? මම හිතන්නෙ අද ඔබට වෙහෙසකර දවසක්..
ඔව් දවසෙන් බාගයක්, මොකද මම සම්මානය ගැන දැන ගනිද්දි එකට විතර ඇති. ඉතින් මාධ්‍ය සාකච්ඡාව හොඳින් කෙරුනා, මම හිතන්නෙ මට මේ සම්මානය ලැබීම පිළිබඳ හැඟීම ගැන මම පිලිතුරු දුන්නා, එය ඉතා විශාල වගකීමක්. ඒවගේම ඒක ගෞරවයක්. ඉතා පැහැදිලිව මේ ගෞරවය නිසා, මගේ ලිවීමේ කාර්යය සම්බන්ධයෙන් මට දැන් තියෙනවා වඩාත් වැඩි වගකීමක්.
ඉතින් ඔබට ඒ නිවේදනය ලැබෙද්දි වෙලාව එකයි?
අහන්න. මම උන්නේ මුළුතැන්ගෙයි, එතන රේඩියෝවක් තියෙනවා. මෙවර නෝබල් සම්මානය දිනුවේ කවුද කියලා දැනගන්න ඕනෙ වුන නිසා, මට අවශ්‍ය වුනා රේඩියෝවට සවන් දෙන්න. ඉතින් ඔන්න!
ඉතින් ඒ ඔබ!
ඔව් ඒ මම! ඒක පැහැදිලිවම හරිම පුදුමාකාරයි. අනික මම උන්නෙ තනිවම.. ඒක හරියට.. සංසංදනයක් කරනවානම්, ඔබ කාන්තාරයක තනිවෙලා ඉන්න මොහොතක ඔබට අහසින් ඇමතුමක් ලැබෙනවා වගේ දෙයක්. මට එහෙම හැඟීමකුයි දැනුනෙ.
හරිම ප්‍රීතිජනක කතාවක්, කොහොමහරි! ඔබට තියෙනවා ඔබ කළ සාහිත්‍ය නිර්මාණවල දිගු ලැයිස්තුවක්. ඔබ ගැන සොයන කෙනෙක් පටන් ගන්නෙ ඕනෙ කොතැනින්ද?
ඔබ දන්නවා මගේ කෘති එකකට එකක් සමාන නැහැ. තේමාවන් සහ අන්තර්ගතයේ පර්යාලෝකයේ සිට ලිවීමේ පර්යාලෝකය දක්වා ගොඩක් දේ වෙනස්. එසේ නිර්දේශ කිරීම ටිකක් අපහසුයි සහ තරුණ සහ වැඩිහිටි අයට වෙනස් නිර්දේශයන් සුදුසු වෙන්න පුළුවන්. ඒත් මේ හැම කෙනාම එක තැනකට ගේන කෘතියක් තමයි Les années(The years) කෘතිය.
හරි! ඔබ දැන් තරුණ අය ගැන සඳහන් කළා. ඔබ වෙත තිබෙනවද තරුණ ලේඛකයන්ට දෙන්න පණිවිඩයක්, විශේෂයෙන්ම තමන්ගේ මව් භාෂාවෙන් ලියන අයට?
මම හිතන්නෙ අප ලියන විටදී, වඩාත් වැදගත් දෙය තමයි අප ගොඩක් කියවිය යුතු වීම. සමහර විට තරුණ අය මෙහෙම කියනවා, “ අනේ නැහැ, මම කියවන්නේ නැහැ.. මම ලියනවා.”නැහැ! එය විය නොහැකියි. ඔබ ගොඩාක් කියවිය යුතුයි. මම එයාලට දෙන අනික් පණිවිඩය තමයි, හොඳින් ලියන්න මහන්සි ගන්නවාට වඩා, අවංකව ලියන්න උත්සාහ කරන්න. ඒ දෙක දෙකක්.
අනී එර්නෝ කෘති
ඇය ලීයු Une femme (A Woman’s Story, 1988) කෘතියේ, එර්නෝ ඇයගේ මව පිළිබඳ මෙසේ සඳහන් කරයි. “ දුප්පත්කමේ පිඩාවෙන් මිදෙන්න තියෙන ගෘහස්ථ කර්ම සේරම ඇය දැන සිටියා.” එහෙත් එර්නෝ එසේ නොවූවාය, ඇය තමන්ගේ ජිවිත ගමන විශ්වවිද්‍යාලයටත් ඉන්පසු සාහිත්‍යයික ජිවිතයකටත් මඟ පාදා ගත් දක්ෂි සිසුවියක වූවාය. “ශතවර්ෂ ගණනාවක් අම්මගෙන් දුවට ලැබුණු ඒ දැනුම මගේ පරම්පරාවෙන් නැවතුනා” ඇය ලියයි. “ මම ලේඛනාරක්ෂකවරියක් පමණයි”
ඉන්පසු ඒ ලේඛනාරක්ෂකවරිය, ඇයගේ ජීවිත කාලයේදී ගබ්සාවක්, ප්‍රේම සබඳතාවක්, දූෂණය වීමක් ද නැතිද යන්න පිළිබඳව ඇයට විශ්වාසයක් නැති දූෂණය වීමක්, ඇය අයත් පංතියෙන් පිටමං වීම නිසා ඇයට දැනුනු ලැජ්ජාවද ඇතුළත් වුණු, සාමාන්‍යයෙන් කිසිවෙකු අතින් නොලියැවෙන, විමසීමට ලක් නොවෙන ජීවන අත්දැකීම් අළලා, සිහින් කර්කෂ, පොත් පෙළක්ම ලියා තැබුවාය. එර්නෝ ගේ නවකතා සහ ස්වයං චරිතාපදානමය කෘති සිහින් පොත් වුවද ඒවා ජවලිත ගැඹුරකින් යුක්තය: ඒවා සිහින් කැපුමක් විසින් දනවන්නාක් වැනි කම්පිත වේදනාවක් ඇති කරයි. (‘එක වාක්‍යකින් මේ තරම් රිදෙන්නෙ කොහොමද?’ ඇයගේ පොත් කියවන අයෙකුට නිතරම එසේ සිතෙයි’)
ඇය නවකතාකාරියක හෝ සිය ජිවිතයේ මතක සටහන් ලියන්නික ලෙස හෝ හඳුන්වා දෙන්නේ නම් එය වැරදිය. සියලු අර්ථයන්ගෙන්ම ගත් විට, ඇය නවකතා සහ ස්වයංචරිතාපදානමය මතක සටහන් යන දෙවර්ගයම ලියා ඇති මුත්, ඇයගේ කෘති ශානර පිළිබඳ අපගේ අවබෝධය ලෙහා දමන්නේ, විධිමත් වියමනකට වඩා ලිහිල් වුනු නූල් සහ වාටි සහිත යමක් අපට ඉතිරිකරමිනි. ඇය, සරලව ලේඛිකාවක ලෙස හැඳින්විම සුදුසුය: පිළියම් ලැබෙන අවසානයක් වෙනුවෙන් හෝ කිසියම් සහනයක් අත්පත් කරගැනීම වෙනුවෙන් හෝ නොව, අපව තුවාල කරන දේ පිළිබඳව සුපරික්ෂාකාරි වද වීමක් සමඟ ඇයගේ සිත තුළ නලියන දේ වචනවලට පෙරළන්නියකි ඇය.
ඇයගේ නවකතාවලට පසුබිම් වන්නේ ඇයගේ ජිවිතයයි, ඇයගේ ස්වයංචරිතාපදානමය මතක සටහන් නවකතාමය ස්වරූපයක් ගනියි. ඇල්සයිමර් රෝගයෙන් පිඩා විඳ මිය ගිය එර්නෝ ගේ මව ගේ ජීවිතය පාදක කරගත් Une femme ( A Woman’s Story) කෘතිය සහමුලින්ම නවකතාවක සතුව ඇති බලයෙන් සහ ගුණයෙන් යුක්තය. විසිවන ශතවර්ෂයේ ජීවත් වූ ඇයගේ මවගේ ජිවිතයත් ඔවුන් අතර ගොඩනැඟෙන අම්මා- දුව සබඳතාවයේ ස්වභාවයත් එම කෘතිය තුළ නිරූපණය වෙයි. ඊව්තෝ හී පොත්වල සුවඳ විඳිමින් හැදී වැඩුනු කුඩා අනී නොසෑහෙන ලෙස ආදරය විඳි පමණටම අවඥාවෙන් බැහැර කිරීම ද විඳවනු ලැබුවාය. ඇයගේ මව ඇයට ‘සුරතලී’ ලෙස අමතන පහසු ලීලාවෙන්ම ඇයට ‘ මෘග කෙල්ල’ සහ ‘අවලමී’ ලෙස ඇමතීමට ද පසුබට නොවූවාය. ඇය තම දියණියට හොඳම දේ දීමට නිරන්තරෙයෙන් උත්සුක වූවද, එපමණකට ඇය තම දියණිය පිළිබඳ අවලාද නැඟුවාය “බලපිය, උඹට හැම දේම තියෙනවා.. ඒත් උඹ සතුටින් ඉන්නවද?”
ඇය ලියූ L’Événement (Happening, 2000) කෘතියේ, 1960 වසරේ ප්‍රංශයේ සිදුවුනු නීතිවිරෝධි ගබ්සා කිරීමක් පිළිබඳ විස්තර කරයි. එම කෘතියේ වැඩිමනත් ලෙස ඇය අවධානය යොමු කරන්නේ ඇයට ගබ්සා කිරීමක් සිදු කරන්නේ කවුරුන්ද යන්න සොයා ගැනීමටය. වරෙක ඇයට, ඇතුළු කිරීම සඳහා සියුම් සැතක් ලබා දෙන ගැහැණියක මුණ ගැසෙයි. එහි ප්‍රථිපලය වන්නේ ඇය මරණාසන්න වන තුරු අධික රුධිරය වහනයක් සිදු වීම සහ ඇයට රෝහල් ගතවීමට සිදු වීමය. රුධිර වහනය නතරකිරීමේ සැත්කම සඳහා ඇයව සිහි මුර්ජා තත්වයට පත් කරන විට ඇයගේ දෙපා කලම්පයකට ගැට ගැසීමට සූදානම් වීමේදී, ඔවුන් කුමක් කරන්නේදැයි ඇය වෛද්‍යවරයාගෙන් විමසා සිටියාය. ඇයට උත්තර ලෙස ලැබුනේ ඉතා ‘ලස්සන’ වාග් මාලාවක් සහිත පිළිතුරකි. පසුදින උදෑසන හෙදිය මැඬගත් ස්වරයකින් මෙසේ ඇසුවාය “ ඊයේ රෑ ඇයි ඔයා දොස්තරට කිව්වෙ නැත්තෙ ඔයත් එයා වගේ කෙනෙක් කියලා?” – එහි අරුත නම් ඔබ ටවුමේ පහළ පංතියේ නිකම්ම නිකම් කෙල්ලක නොව ඔහු මෙන් උගත් අයෙක් බව ඇයි ඔහුට කිව්වෙ නැත්තේ? යන්නය.
Mémoire de Fille(A Girl’s Story ,2016) කෘතිය තුළ හේමන්තයේ කඳවුරක උපදේශකවරියක ලෙස වැඩකරන විට ඇය නිවසින් පිටදී පළමුවරට මුහුණ දුන් වික්‍රමයක් පිළිබඳ විස්තර කියැවෙයි. ඇය එහිදී ‘එච්’ නම් පිරිමි ළමයෙකු සමඟ ලිංගික සබඳතාවක් ඇති කරගන්නා අතර එය දූෂණය වීමක් ද යන්න ඇයට පැහැදිලිව කිව නොහැකි තත්වයට පත්වෙයි. එම කෘතියේ කතුවරියට එය ලිවීම කොතරම් අභියෝගකාරී ද යන්න පිළිබදව ඇය අවංකම පිලිගන්නා ආකාරය නිසා එම කෘතිය කියවීමට පහසු නොවන නිර්මාණයක් බවට පත් වෙයි. “පින්තූරයේ සිටින දැරිය මම නොවෙයි, එසේම ඇය කල්පිත නිර්මාණයක් ද නොවෙයි. මා තරම් ඇය ගැන දන්නා වෙන කිසිවෙක් මෙලොවේ නැත.” එම නිසා ඇය ඇය නොවෙයි. “ පින්තූරයේ සිටින දැරිය ඇයගේ මතක මට පාකර එවූ පිටස්තර එකියකි” ඇය ලියයි. “ ඒ දැරිය මම නොවෙයි, එහෙත් සෑබවට ඇය මා තුළ ජිවත් වෙයි.”
“තමන්ගේ ජිවිතය පිළිබඳ ලියන කෙනෙකු සහ ප්‍රදර්ශනකාමියෙකු එකට තබා සන්සන්දනය කිරීම ‘අත්වැරැද්දකි” එර්නෝ මෙසේ සඳහන් කරන්නේ ඇය ලියූ Passion Sample ( A simple passion,1991) නම් කාතිය තුළය.
මක්නිසාදයත් ප්‍රදර්ශනකාමීයාට තමන්ව ප්‍රදර්ශනය කිරිමත්, ප්‍රදර්ශනය වීමත් එකම මොහොතේ සිදු වීමට අවශ්‍ය දෙයකි. එහෙත් ලේඛකයාට ලැජ්ජාසහගත දේවල් පවා තැතිගැන්මකින් තොරව විස්තර කිරීමට හැකි වන්නේ, එය ලියන මොහොත සහ පාඨකයා එය කියවන මොහොත කාලය විසින් වෙන්කර තබන නිසාය.
එර්නෝ ගේ කෘති තුළ ඇති සෑම වාක්‍යක්ම එක් තීව්ර අරමුණක්, යුහුසුලු බවක් දරා සිටියි: එනම් ඇය ලිවිය යුතුය.
ඇයගේ ලීවිමේ කාර්යය ස්වයං ගවේෂණයකට වඩා වැඩි දෙයකි. ලිවීම මට සේවය කරන්නේ “එක්තරා විදියක යුක්ති ධර්මයක් ලෙසිනි” ඇය Se perdre (Getting Lost , 2001) කෘතිය තුළ එසේ ලියයි. “ සන්තුෂ්ටිය සොයා යාම පිළිබඳ මගේ සැමියාට මම සමාව දෙමි, මන්දයත් ඔහු ලියන කෙනෙක් නොවන නිසාය. ඔබ ලියන්නේ නැතිනම් වෙන මොනවද ඔබට කරන්න ඉතිරි වෙලා තියෙන්නෙ? කනවා බොනවා, රමණය කරනවා” එසේත් නැතිනම් ඇය L’Événement (Happening,2000) කෘතියේ මෙසේ සඳහන් කර ඇත. “ මේ දේවල් මට සිදු වුන බව මම නැවත සිහිපත් කළ යුතුයි. බාගවිට මගේ ජීවිතයේ මගේ සිරුරේ, මගේ හැඟීම දැනීම් සංවේදනා සහ සිතුවිලි සියල්ලගේම අරමුණු ලිවීම වෙන්න ඇති. වෙනත් වචන වලින් කියතොත් පොදු ප්‍රඥාසම්පන්න කිසිවක් මිනිසුන්ගේ ජිවිත වලට සහ ඔළුගෙඩි තුළට කාන්දු කරන්න මගේ පැවැත්ම හේතුවක් වෙනවා ඇති.”
මේ සංශ්ලේෂිත පැවැත්මේ ගුණය යනු ඇය ආඛ්‍යානයත් සිතීමත් සංයෝජනය කරන ආකාරයයි, එය ඇයගේ කෘති නැවත නැවත කියවීමට පාඨකයාව පොළඹවයි. ඇයගේ ‘පොත් කවුළුවෙන්’ පිටත බැලීම යනු පොතත් ජීවිතයත් එකිනෙකට මුහුකරමින්, කිසිවෙක් අප දෙස ආපසු බලනු අප විසින් දැකීමයි. එය කිසිවක් ආපසු නොගන්නා, එහෙත් අප විසින් කිසිවක් අත්පත් කරගන්නා කියවීමේ ක්‍රියාවකි.
මූලාශ්‍ර- වොෂින්ටන් පෝසට්, ල මොන්ද්, නෝබල්ප්‍රයිස්ඕර්ග්, නිව්යෝර්ක්ටයිම්ස් වෙබ් අඩවි
නිද්දා පුවත්පතෙන් උපුටා ගන්නා ලද්දකි