අද දිනයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූ සිදුවීමක් වූවේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා විසින් වංචා දූෂණ සම්බන්ධ තොරතුරු ඇතුළත් ෆයිල් කිහිපයක් ප්‍රසිද්ධියේ හෙළිදරව් කිරීමයි.
එහිදී රාජපක්ෂ පවුලේ සහ පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් රැසක් සම්බන්ධ දූෂණ සහ වංචා ගැන තොරතුරු සහිත ෆයිල් තිබෙන බව කියැවුණි. ඊට අමතරව විවිධ නිලධාරීන් විසින් සිදුකරන ලද වංචා පිළිබඳවද එම ෆයිල් තොගයේ තොරතුරු ඇති බව කියැවුණි. එසේම සභාවේ සිටි මාධ්‍යවේදීන්ට කැමති ෆයිල් එකක් රැගෙන එය ඉදිරිපත් කරන ලෙසද කැමති නමක් සඳහන් කරන ලෙස ද අනුර කුමාර විසින් පවසා සිටියා. එලෙස ලබාදුන් ෆයිල් ඔහු විසින් කියවනු ලැබිණි.
මේ බොහොමයක් වංචා දූෂණ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විවිධ සංවිධාන විසින් කාලයක් සිට හෙළිදරව් කරන ලද ඒවා වේ. එම වංචා දූෂණ හේතුවෙන් රටට සිදුවූ පාඩුව අතිවිශාල බවට කතා දෙකක් නැත.
එසේ තිබියදී වුවත් ලොකුම වංචනිකයන් දූෂිතයින් හොරුන් ගැන කියන්නට අනුර කුමාරට අමතක වූ බවයි. ඔවුන්ගේ ෆයිල් ඉදිරිපත් කරන්නට අනුර කුමාරට අමතකවූ බවයි.
එම හොරුන් වන්නේ අපේ රටේ සිටින ධන කුවේරයන් වේ. කොවිඩ් වසංගත සමයේදී පවා සමාගමක් මෙතෙක් වාර්තා කළ වාර්ෂික ශුද්ධ ලාභය ලැබීමට ඉෂාර නානායක්කාර සමත් වූවේ කෙසේද යන්න කීමට අනුර කුමාරට අමතක විය. ඊට පසු තවත් කුප්‍රකට ව්‍යාපාරිකයෙක් වූ ධම්මික පෙරේරා කාර්තුවකට ලැබූ වැඩිම ලාභය පසුගිය කාලයේ ලැබුවේ කෙසේද යන්න කීමට අමතක විය. ධම්මික පෙරේරාට අයත් සමාගමක් වංචා සහගතව කුණු කන්ටේනර් මෙරටට ගෙන්වීම ගැන කීමට අමතක විය. ඉෂාර නානායක්කාර සහ ධම්මික පෙරේරාට අයත් මූල්‍ය ආයතන විසින් ගිණි පොළියට ණය, ලීසිං ලබාදෙමින් දුප්පතුන් සූරා කෑම ගැන කීමට අනුර කුමාරට අමතක විය.
තවද වසංගත සමයේදී නිදහස් වෙළඳ කලාපවල සේවකයන් කොවිඩ්වලට බිලිදෙමින් ඔවුන්ට පඩි ලාභයක් ලබාදෙමින් අපනයන සමාගම් ඉපැයූ ධනය ගැන කීමට අනුර කුමාරට අමතක විය. මෙම ධන කුවේර සමාගම් රජයේ බදු සහන ලබමින් බදු ගෙවීම් පැහැර හරිමින් කරන ලද මගඩි ගැන කීමට අනුර කුමාරට අමතක විය.
මේ ආකාරයට ලොකුම හොරකම ගැන කීමට අනුර කුමාරට අමතක වීම අහම්බයක් ද?