Breaking News

නැවත මහජන නැගිටීමකට අවශ්‍ය සංවිධානාත්මක මැදිහත්වීම කරනවා – වසන්ත මුදලිගේ

අරගලය අවසන්ව නොමැති බවත් නැවත මහජන නැගිටීමකට අවශ්‍ය සංවිධානාත්මක මැදිහත්වීම සිදුකරන බවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසයි. එසේම අරගලකරුවන් මර්දනය කිරීමට සහ අත් අඩංගුවට ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව අලුත් ම ක්‍රමයක් අනුගමනය කරන බවද ඔහු පැවසීය. ඒ, ඊයේ (01) පැවති සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කරන ලදී.

විශේෂයෙන් පොදු දේපොළ පනතෙන් සහ පුරා විද්‍යා පනත යටතේ මෙම අත් අඩංගුවට ගැනීම් සිදු කරන බව යි අන්තරේ කැඳවුම්කරු අවධාරණය කරන්නේ.

මීට අමතර ව ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමේ නියෝග ද නිකුත් කරන බව ඔහු සඳහන් කර යි.
තව ද පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගත් හදිසි නීති පනත යනු, කිසි සේත් ම මහජනයා කෙරෙහි පවතින ආදරයක් නිසා සම්මත කරගත් එකක් නො වන බව යි වසන්ත මුදලිගේ සඳහන් කළේ.
තෙල් පෝලිමේ දුක් විඳින අහිංසක අම්මාට තාත්තාට වත් වසර දෙක හමාරක් වැසී ගිය විශ්වවිද්‍යාලය අධ්‍යාපනයට වත් හදිසි නීතිය අවශ්‍ය නො වූ බව ඔහු අවධාරණය කරනවා.
මෙම හදිසි නීතිය සම්පූර්ණයෙන් ම පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිණිස හා ඔවුන්ට අවශ්‍ය දේ ඉටු කර ගැනීමට මෙන් ම ඔවුන්ට විරුද්ධ ව හඬ නඟන අය අත් අඩංගුවට ගැනීම සඳහා සම්මත කර ගත් එකක් බව ද වසන්ත මුදලිගේ පවසනවා.
මීට පෙර කිසිදු අවස්ථාවක දී කිසිදු ජනාධිපතිවරයෙක් ජනාධිපති මන්දිරයට පැමිණීම සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අවස්ථාව ලබා දී නැති බවත් එම අවස්ථාව උදා කර දුන්නේ, අරගලකරුවන් විසින් බවත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ප්‍රකාශ කරනවා.

සොහොනක් අසලින් යන පුද්ගලයකු කොතරම් තමා බිය නැති බව පැවසුවත් කෑ ගැසීම, ළතෝනි දීම කුණුහරප කීම මෙන් ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද පනත්වල පිහිටෙන් තමාට ඇති බිය ප්‍රකාශ කරන බව යි අන්තරේ කැඳවුම්කරු සඳහන් කරන්නේ.

මෙසේ සිදු කරන මර්දනයෙන් සිය අවසානය කඩිනමින් ලඟා කර ගැනීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ උත්සාහ කරන බව යි වසන්ත මුදලිගේ අවසාන වශයෙන් ප්‍රකාශ කළේ.

leave a reply