Breaking News

ණය ප්‍රතිව්‍යුහගතකරණය නිසා ජනතාවගේ විශ්‍රාම අරමුදල්වල අගය සියයට 50න් පහළට – විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය

කම්කරු අයිතිවාසිකම් කප්පාදු කිරීම, විශ්‍රාම වැටුප් කප්පාදුව හා පෞද්ගලීකරණය යන ආණ්ඩුවේ මෑතකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සිය දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ ආණ්ඩුව වැඩ කරන ජනතාව වඩාත් අසරණ කරන ක්‍රියාමාර්ග ගනිමින් සිටින්නේ ඔවුන්ගේ පීඩාව හා දුක්ඛ දෝමනස්සයන් පිළිබඳ අසංවේදී ආකාරයෙන බවයි. ජනතාව සමඟ කිසිදු සාකච්ඡාවකින් තොරව ගනු ලබන, ඔවුන් අසීරුවෙන් දිනාගත් ප්‍රජාතාන්ත්‍රීය අයිතිවාසිකම්වලට එරෙහි මෙම ප්‍රහාරය තමන් දැඩි ලෙස හෙලා දකින බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සිය නිවේදනයෙන් දක්වා තිබෙනවා. රටේ පුරවැසියන් ක්‍රමානුකූලව නිශ්ශබ්ද කොට තැබීමේ උපාය මාර්ගයක් තුළින් මෙය දියත් වී තිබෙන ආකාරය ද තමන්ගේ සැලකිල්ලට යොමුව ඇති බව එම සංවිධානය පවසයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ආචාර්ය අතුලසිරි සමරකෝන්ගේ අත්සනින් නිකුත්කර තිබෙන එම නිවේදනය මෙසේයි.
“ආණ්ඩුව රටේ වැඩ කරන ජනතාවගේ විශ්‍රාම අරමුදල් පැහැදිලිව අනතුරට පත් කරන ආකාරයේ දේශීය ණය ප්‍රතිව්‍යහුගතකරණ වැඩපිලිවෙලක් සම්මත කොට ඇත. පසුගිය කාලයේ ආණ්ඩු විසින් ගත් ණයවල බර වැඩ කරන ජනතාවගේ මත පැටවීමක් මේ තුළින් සිදු කොට තිබේ. භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කොට තිබෙන ධනවත් පුද්ගලයන්ට හා මූල්‍ය ආයතනවලට අත නොතැබීමට ආණ්ඩුව ප්‍රවේශම් වී ඇත. මීට පටහැණිව, සේවක අර්ථ සාධක අරමුදල, සේවකයන්ගේ භාර අරමුදල හා වෙනත් විශ්‍රාම අරමුදල් වලින් තමාට තවදුරටත් වැඩ කරගෙන යා නොහැකි වයසට එලැඹුණු විට යම් සමාජ ආරක්ෂණයක් අපේක්ෂා කළ සියලුම පවුල්වලට මේ වනවිට අඳුරු අනාගතයකට මුහුණ දෙන්නට සිදුවී තිබේ. පසුගිය වසරේ පැවැති අධික උද්ධමනය හා රුපියල අවප්‍රමාණය වීම නිසා මෙම විශ්‍රාම අරමුදල්වල වටිනාකම සියයට හතලිහකට අධික අගයකින් අවප්‍රමාණය වී ඇත. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ තීරණයත් සමඟ ඉදිරි වසර දහසයක කාලය තුළ වැඩ කරන ජනයාගේ විශ්‍රාම අරමුදල්වල අගය සියයට පනහකට අධික අගයකින් පහත වැටෙනු ඇත.
කාන්තාවන් ආරක්ෂා කරන මුවාවෙන් ආණ්ඩුව ඉදිරිපත්‍ ‍කොට තිබෙන යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණ කාන්තාවන් තවත් අනාරක්ෂිත තත්වයට ඇද දමන්නකි. ප්‍රසූතිකාධාර ලබා දීමේ අවශ්‍යතාවය මග හැර යාමට හා රාත්‍රී කාලයේ අවම සේව්‍ය වගකීමක් යටතේ කාන්තාවන් සේවයේ යෙදවීමට අවසරය ලබාදීමට යෝජිත කම්කරු ප්‍රතිසංස්කරණ ක්‍රියා කරයි. අත්තනෝමතික ලෙස සේවයෙන් පහ කිරීම පහසු කරමින්, වන්දි ගෙවීමට අදාළ ප්‍රතිපාදන අභිමතය අනුව වෙනස් කිරීමට ඉඩ ලබා දෙමින්, වෘත්තීය සමිතිවලට බැඳීමට හා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට කම්කරුවන්ට තිබෙන අයිතිය සීමා කරමින් යෝජිත කම්කරු නීති කම්කරුවන්ගේ ආරක්ෂාව සඳහා වූ නීති සංශෝධනයට ලක්කරයි. කෙටියෙන් කිවහොත්, යෝජිත නීති වෘත්තීය සමිතිවලට එරෙහි ප්‍රහාරයක් ලෙස, සේවකයන් කෙරෙහි වූ සේව්‍යයන්ගේ ව්‍යවස්ථාපිත බැඳීම් දුර්වල කරන්නක් ලෙස හා රැකියා අනාරක්ෂිතතාවය හා සූරාකෑම වෙත කම්කරුවන් ඇද දමන්නක් ලෙස හඳුනාගත හැක.

මීට අමතරව, උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමේ වගකීම සහිතව පත්කරන ලද පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව පසුගිය සතියේ සිය යෝජනා එලි දැක්වීය. අරමුදල් කප්පාදුව, ආණ්ඩුවේ බල කිරීම නිසා දරාගත නොහැකි පිරිසක් විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමට සිදුවීම, බුද්ධි ගලනය ආදී ප්‍රශ්න නිසා දැනටමත් මහත් බලවත් අර්බුදයකට මුහුණ දී සිටින විශ්ව විද්‍යාල පද්ධතියට අදාළ ප්‍රශ්න කිසිවකට මෙම වාර්තාව පිළියම් ඉදිරිපත් නොකරයි.
ඒ වෙනුවට, රාජ්‍ය අධ්‍යාපනය තවදුරටත් දුර්වල කිරීමට මෙන්ම පෞද්ගලික අධ්‍යාපන ආයතන වෙත සහනාධාර ලබාදීම හරහා පොදුජනයාට අධ්‍යාපනයට දරන්නට වන වියදම තවත් වැඩි කිරීමට හේතු වන ප්‍රතිසංස්කරණ මාලාවක් එය ඉදිරිපත් කරයි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට එරෙහි ප්‍රහාරයක් මෙම ලියැවිල්ල තුළින් ඉදිරිපත් කෙරෙන බවත්, තම ‘ප්‍රතිසංස්කරණ’ වලට එරෙහි පිරිස්වලට එරෙහිව එලෙස ප්‍රහාර එල්ල කිරීමේ ඉතිහාසයක් ආණ්ඩුව සතුව වන බවත් අප මෙහි දී සිහිපත් කරමු. උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරී‍මේ මෙම උත්සාහය අනෙක් බොහෝ ප‍ොදු සේවා පෞද්ගලීකරණය කිරීමට දැරෙන උත්සාහය සමඟ සමපාත වන අතර, නිදහසින් පසුව, දශක ගණනාවක් පුරාවට රජය හා පුරවැසියන් අතර ගොඩනැගුණු සමාජ සම්මුතිය බිඳ දැමීම කෙරෙහි එය බලපායි”.

leave a reply