Breaking News

අර්බුදයට විසඳුමක් ලෙස රාජ්‍ය පාලනයට ජනතාවට සම්බන්ධ විය හැකි ව්‍යුහයක් අවශ්‍යයි – දුමින්ද නාගමුව

දැනට මතුව ඇති ගැටලු විසඳුම් ලබාදීමේදී මහජනතාවට රාජ්‍ය බලයට සම්බන්ධ වෙන්න පුළුවන් විකල්ප ව්‍යුහයක් අවශ්‍ය බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මේ බව පැවසීය.

දුමින්ද නාගමුව මෙම මාධ්‍ය හමුවේදී පලකළ අදහස්වල සංක්ෂිප්ත සටහනක් පහත දැක්වේ.

“මේ උද්ඝෝෂණ ව්‍යාපාරය තුළ දේශපාලන බල අධිකාරියට යම් සංඥාවක් නිකුත් කරලා තියෙනවා. ඒ සංඥාව තමයි මේ දේශපාලන අධිකාරිය සම්පූර්ණයෙන් බැහැර කිරීම. එය තමයි Gota Go Home ලෙස හෝ 225ම එපා කියලා හරි සටන් පාඨයක් ලෙස ඉස්සරහට ඇවිත් තියෙන්නෙ. මේක තේරුණා නිසා තමයි මේ කට්ටිය ඉල්ලා අස්වෙන්නේ. තව සමහරු විපක්ෂයට යන්නේ.

කිසිවක් සිදු නොවන දශක තිබේ. දශකයකදී සිදුවෙන දේවල් සිදුවෙන දවස් තිබේ කියලා ලෙනින් කිව්වා. අපි විවිධ විදිහට කිව්ව පණිවිඩය ජනතාව අද අත්දැකීමෙන් ඉගෙනගෙන තියෙනවා. ඒ පණිවිඩය තමයි මහජනතාවගේ බලය. මේ මහජන බලය වඩා සාධනීය තැනකට ගෙනියන්න තමයි අපි උනන්දු වෙන්නෙ. මහජන බලය අභ්‍යාස කිරීම ජයග්‍රහණයක් විදිහට දකිනවා. අනාගත ආයෝජනයක් විදිහට අපි දකිනවා.

දැන් ආණ්ඩුව අඩියක් පස්සට අරන් බලනවා තව දුරටත් යන්න පුලුවන්ද කියලා. අගමැති, ජනාධිපති ඉල්ලා අස්නොවී ඇමතිවරු විතරක්ඉල්ලා අස්වෙලා බලනවා මේක අඩුවෙයිද කියලා. විපක්ෂයේ දේශපාලන පක්ෂ බෝඩ් අල්ලන් ඉන්නවා ආණ්ඩුව ගෙදර පලයන් කියලා. නමුත් ඊයේ විපක්ෂය විසින් හදිසි නීතිය සම්බන්ධ ඡන්දයක් කැඳවීමට අවස්ථාව තිබියදීත් එය සිදුකළේ නැහැ. සමගි ජන බලවේගය ඒ පියවර ගත්තෙත් නැහැ. ජාතික ජන බලවේගය කටයුතු කළෙත් පියවරක් ගත්තෙත් නැහැ. එහෙම කැඳවුවා නම් ආණ්ඩුවට තියෙන මහජන අනුමැතිය තව අඩුවෙනවා. ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ තිබෙන බලය තව අඩුවෙනවා.

දැන් භාරකාර ආණ්ඩු කතාවක් ඇවිත් තියෙනවා. භාරකාර ආණ්ඩු හැදුවත් මැතිවරණයකින් ආණ්ඩු හැදුවත් මේ ආර්ථික අර්බුදයට විසඳුමක් නැහැ. ඊයේ පාර්ලිමේන්තුවේ කරපු කතා ඔක්කොම බැලුවට පස්සෙ පේන්න තියෙන්නෙ නැවත පර්ලිමේන්තුව ගැන තියෙන විශ්වසේ ගොඩනගා ගන්නෙ කොහොමද කියන එකයි. ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ මේ ආර්ථික ප්‍රතිපත්තිය. ඉතිහාසය පුරා අරගෙන අපු ආර්ථික ප්‍රතිපත්තියට කරගන්න වීම නිසා ඇතිවූ පීඩනය. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනතාවට වගකියන, ජන සහභාගිත්ව ආර්ථිකයක් ගොඩනගන්නේ නැත්තම් මේක විසඳෙන්නේ නැහැ. ඒවගේම දේශපාලන ක්‍රම මාරුවේදී මහජනතාවත් එක්ක බලය හුවමාරු කරගන්නා වැඩපිළිවෙලකට යා යුතුයි. එහෙම නැතුව මේ ප්‍රශ්නෙන් ගොඩයන්න බැහැ. ම අර්බුදයේදී මහජනතාවත් සම්බන්ධ කරගනිමින් මහජනතාවට එරෙහි තීරණ ගන්නේ නැතුව මේ අර්බුදයට මුහුණ දීමෙන් පමණයි මෙය විසදන්න පුළුවන්.

225ම එපා කියන සටන් පාඨයේ සීමාවක් තියෙනවා. නමුත් එක පිටුපස තියෙන පණිවිඩය තමයි උඹලට මේක තවදුරටත් කරගෙන යන්න බැහැ. අපිටත් බලයට සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රමයක් හැදෙන්න ඕනා කියන එකයි. මේ එපා කියන එකේ තේරුම තමයි එතනට විතරක් බලය සීමා කරන ව්‍යුහය වෙනස් වෙන්න ඕනා කියන එක.

මේ අර්බුදයට අපි පැහැදිලි යෝජනාවක් ඉදිරිපත් කරනවා. මහජනතාවගේ ව්‍යාපාරයට, මහජනතාවගේ සභාවලට යම් බලයක් ස්ථාපනය කළ යුතුයි. නගර මට්ටමෙන් ගම මට්ටමෙන් මහජන සභා ගොඩනගන්න ඕනා. ඒ ජන සභා එක්ක එකඟතාවයක් ගොඩනගාගන්න මහජන කවුන්සිලයක් ගොඩනගා ගන්න ඕනා. සමාජ විපලවයක් මේ රටට අවශ්‍යයි. ඒකට සමාජය මෝරලා නැහැ. මේ ක්‍රමය තිබෙද්දීම මහජනතාවගේ ප්‍රශ්නයත් විසදෙන්න අවශ්‍ය නම් මහජනතාවට ඍජුව රාජ්‍යට සම්බන්ධ වෙන්න පුළුවන් බල ව්‍යුහයක් අවශ්‍යයි.

අපි මහජනතාවටත් කියන්නෙ Gota Go Home කියන එකත් අවශ්‍යයි. නමුත් එයින් ඉදිරියට යාමේදී කොහොමද බලය තහවුරු කරගන්න, කොහොමද පොහොර ටික ගන්නෙ කොහොමද ජනතා අයිතීන් දිනා ගන්නෙ, කොහොමද විධායක ජනාධිපති ක්‍රමය දිනාගන්නේ කියන ප්‍රශ්නවලට අපිට බලයත් එක්ක මැදිහත්වෙන ව්‍යුහයක් අවශ්‍යයි. මේ පාලන ක්‍රමය පාලනය කිරීමේ විකල්ප ව්‍යුහයක් ගොඩනගා ගත යුතුයි.”

leave a reply