සීනි, කිරිපිටි වලින් ආරම්භවී සිතුවාටත් වඩා ඉක්මනටම ජනජීවිතේ අත්‍යාවශ්‍යම අංශවෙත අර්බුදය පැමිණ ඇත. ජනජීවිතය යථාවත් වී නැවතත් සුපුරුදු ජීවිතයට යා හැකි යැයි පාරම්බෑවත්, විදෙස් රටවලින් ලැබෙන ණය නිසා තාවකාලික විරාමයක් ලැබෙනවා මිසෙක තව තවත් අර්බුදය දරුණුවීම වැළැක්විය නොහැක.
එසේනම්, මේ අර්බුදයෙන් ගොඩයෑමක් ඇත්තෙම නැද්ද?
පිළිතුර “තිබේ” යන්නයි.
හැබැයි ඒ දියසෙන් කුමාරයෙක් ඇවිත් සියළු ණය ගෙවා දමා, ලංකාවේ නිෂ්පාදන හැකියාව එකවර 500% කින් ඉහළ දමා අවශ්‍ය විදෙස් මුදල් ලබා දීමෙන්ද?
ඉන්දියාව, චීනය හෝ වෙනත් රටක් පැමිණ සහනාධාරයක් ලබාදී ලාංකික ජනයාට සිය සුඛෝපභෝගි ( තරමට නොවන) ජීවිත ගතකීරීමට ඉඩකඩ ලබාදීමෙන්ද?
නොඑසේ නම්,
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත්ව දිව්‍ය බලයෙන් ණය ගෙවාදමා විදෙස් මුදල් ඉපයිය හැකි ක්‍රමවේදයක් හදුන්වා දීමෙන්ද?
ප්‍රශ්ණයට මුහුණ දීමට අවශ්‍ය ආර්ථික උපක්‍රම කියාදීමට කවුරුන් ආවද? ලාංකිකයින් ලෙස ගැටළුව මගහැර යාමට කිසිම අවස්ථාවක් නොලැබෙනු ඇත. කිසිදු ගණනය කිරීමක් නොමැති අති දැවැන්ත ණය මුදල් ලබාගෙන අර්බුදය තාවකාලිකව සමනය කරගැනීමට උත්සාහ කිරීමට තව තවත් මඩවලේ ගිලීගොස්, දැනටත් වඩා වැඩි විනාශයකට නුදුරේම අත්කරදෙනු ඇත. දුර්වල රාජ්‍යයන් භූ දේශපාලන පොරපිටිවල ගොදුරු බවට පහසුවෙන් පත්වී යුක්‍රේනයටත් වඩා අන්ත තත්ත්වයකට පත්වනු ඇත.
පිළිතුර සරලය.. අපි අර්බුදය පිළිගත යුතුය.
සරලවම අපට තරම් නොවන පාරිභෝජන රටාව නිසා දිගින් දිගටම ණය වී සිටින අපි, තව තවත් ණයට කා හැකිද? තරගකාරී ලෙස අධික පිරිවැය සහිත භාණ්ඩ සහ සේවා පාරිභෝජනය කිරීම කොතෙක් ප්‍රායෝගිකද?
ධනවාදී ආර්ථික විද්‍යාවේ න්‍යායයන් වලින් පෙන්වා දෙන දුෂ්කර සහ මානුෂීය නොවන ආර්ථික ප්‍රතිපත්තීන් (austerity measures) පැමිණීමට පෙර සාමුහික සමාජයීය සූදානම මත අර්බුදයේ මානසික බලපෑමට සමාජයක් ලෙස මුහුණදීමට හැකියාවක් ලැබෙනු ඇත.
ලංකාවේ මිනිසුන් අර්බුදයන් වලදී සාමුහිකත්වයෙන් මුහුණදීමට හැකියාව මනාලෙස පෙන්වා දී ඇත. සුනාමි ව්‍යයසනයේදී, ගංවතුර නියං වැනි ස්වභාවික විපත් වලදී ඒ සදහා ඕනෑවටත් වඩා උදාහරණය ඇත. එහෙත් මේ අර්බුදය ඒ සියළු අර්බුදයන්ට වඩා තියුණුය. සියළුම සමාජ ස්ථරයන් එක්ව, නිශ්චිත ක්‍රමවේදයකට අනුව සංවිධානය වී සාමුහික ලෙස අර්බුදයට මුහුණ දිය යුතුය.
එහෙත්.. ජනතා මුදල් අනිසි ලෙස භාවිතා කරනවා යැයි ජනතාවම චෝදනා කරන පාලක පිරිසක් සමගින් එවැනි සමාජයක් සංවිධානය කරගත හැකිද?
කිසිලෙසකින් නොහැක. දූෂිත පාලකයින් පිරිසකගෙන් බිහිවන්නේ දූෂිත නිලධාරී පැලැතියක්, අවස්ථාවාදී ජනතාවක්.
මුදල් විෂුද්ධිකරණයට චෝදනා ඇති මුදල් ඇමති කෙනෙක් සිටින රටක, එක් පවුලක් දූෂිත ආණ්ඩුවක් පවත්වාගෙන යන බවට ජනතාව අතර ප්‍රචලිත වූ විට, ඉන්ධන, ආහාර හෝ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග පිටින් එක්රැස් කරන ජනතාවක් ඇතිවීම පුදුමයක්ද?
අනෙක් අතට, මෙවැනි අර්බුදකාරී අවස්ථාවක බලයේ සිටින්නේ දූෂණ චෝදනා අවම රජයක් නම්, “ස්වේච්ඡා සේවය” භාවිතාවක් ලෙස පවතින දේශපාලන පක්ෂයක් නම්, ආර්ථික වටිනාකම් වලට වඩා මානුෂීය වටිනාකම්වලට අගයක් ලැබෙන දේශපාලන මතවාදයක් ඇති පිරිසක් යැයි ජනතාවට දැනේනම්, අවශ්‍ය ඕනෑම සාමුහික කැපකිරීමක් කිරීමට ජනතාව ඉදිරිපත්වීමට ඇති ඉඩකඩ කොපමණද?
තමන්ගේ නැදෑ හිතවතුන්ට ගරු ලෙස සළකන ආණ්ඩුවක් බලයේ සිටීනම්, මෙතෙක් කලක් බලාපොරොත්තු කඩව තිබූ රටකට බලාපොරොත්තුවක් දැල්විය හැකිව තිබේනම්, ජාතියට ජන්මයට නොව මනුස්සකමට ඉඩලැබෙන දේශපාලනයක් ඇත්නම් අමතර වාසි නොතකා රටවෙනුවෙන් මීට වඩා විදේශ විනිමයක් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් රටට එවනු ඇත.
දරාගත නොහැකි අර්බුදයන් මගින් තත්ත්වයන් වෙනස් කිරීමට හැකියාව ඇත. තමන්ගේ සුවපහසු තත්ත්වයන් තර්ජනයට ලක්වන විට වෙනස්වීමට ඕනෑම අයෙකුට ඉඩකඩක් ලැබෙනු ඇත. සුනාමියේදී මගහැරුණු එය, යුධ අවසානයේදී මගහැරුණු දේ ඊටත් වඩා දරුණු අර්බුදවයක් ලෙසින් නැවතත් අවස්ථාවක් ලබාදී ඇත.
සාමූහික වෙනසට සුභවාදීව මුහුණදෙමු!!