Day: May 25, 2022

  • ඉන්දියාවේ කැලයකින් හමුවූ කැන්ගරුවෝ

    ඉන්දියාවේ කැලයකින් හමුවූ කැන්ගරුවෝ

    පසුගියදා ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ගම්මානයක වැසියන් කීප දෙනෙකු කැලෑබද පෙදෙසක දුව පනිමින් සිටින අමුතු සත්වයන් දෙදෙනෙකු දැක පුදුමයට පත් වුණා. තමන් දකින්නේ කුමක්දැයි සිතාගන්නට ඔවුන්ට බැරි වුණා. වන ආරක්ෂණ නිළධරීන් පැමිණ කැන්ගරුවන් බවත්, උන් වෙසෙන්නේ ඕස්ට්‍රේලියාවේ බවත් ගැමියන්ට පැහැදිලි කළ විට ඔවුන් තවත් විස්මයට පත් වූ බව සඳහන්.

    ඕස්ට්‍රේලියාවේ වෙසෙන කැන්ගරුවෝ ඉන්දියාවට ආවේ කොහොමද?

    එය ගැමියන්ට පමණක් නොවෙයි, පරිසර නිළධාරීන්ටද පැනයක් වුණා.

    කෙසේ වුවද ඔවුන්ගේ අනුමානය වුණේ පෞද්ගලික සත්තු වතු සඳහා කෙරෙන හොර සතුන් ජාවාරමක ප්‍රතිඵලයක් ලෙසින් මෙය සිදුවන්නට ඇති බවයි. එදින වන නිළධාරීන් වාහන පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් දියත් කර තිබුණ බව ආරංචි වූ ජාවාරම්කරුවන් විසින් මේ සතුන් උන් ප්‍රවාහනය කෙරමින් තිබූ වාහනවලින් එළියට දමන්නට ඇතැයි සැක කෙරෙනවා. සිදුවීම සම්බන්ධව කිසිවෙකු අත් අඩංගුවට ගෙන නැහැ.

    ඉන්දියානු දේශ සීමා ඔස්ස්සේ බංග්ලාදේශයට හා මියන්මාරයට අනවසර සතුන් රහසින් ගෙන යාම නිතර සිදුවන බව කියැවෙනවා. නැගෙනහිර ආසියාවේ සත්ව අභිජනන මධ්‍යස්ථානවලට ගෙන යන විදෙස් සතුන් පවා මේ ආකාරයට ඉන්දියාව ඔස්සේ ප්‍රවාහනය වන බව සඳහන්.

    මෙම කැන්ගරුවන් දෙදෙනෙක් එක තැනකින් ද, තවත් කැන්ගරුවෙක් ආසන්න වෙනත් ප්‍රදේශයකින්ද බේරා ගැනුණු අතර ඒ අසල තිබී තවත් කැන්ගරු මළ සිරුරක්ද හමුවී තිබෙනවා. සතුන් හමුවන මොහොත වන විට අධික තෙහෙට්ටුවෙන් හා මන්ද පෝෂණ තත්වයෙන් පසුවුණා. නැවත අල්ලාගෙන සත්ව සංරක්ෂණ් මධ්‍යස්ථානයක් වෙත ගෙන යනු ලැබූ උන්ගෙන් එකෙක් මිය ගියා.

    මෙම කැන්ගරුවන්ට කුමක් කළ යුතුද යන්න පිළිබඳව ඉන්දියාව තුළ විවිධ පාර්ශ්ව විවිධ අදහස් පළ කරමින් සිටිනවා.
    මූලාශ්‍රය – BBC සහ Aljazera

    Janappriya Gamage

  • මැයි 09 ප්‍රහාරයේ මහමොළකරුවන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා විරෝධතාවයක්

    මැයි 09 ප්‍රහාරයේ මහමොළකරුවන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා විරෝධතාවයක්

    පසුගිය 09 වැනිදා ගාලු මුවදොර ඉදිරිපිට හා අරලිය ගහ මන්දිරය ඉදිරිපිට මහජන විරෝධතාවලට පහරදීමට එරෙහිව යුක්තිය ඉල්ලා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

    එම පහරදීමේ සිද්ධීන්ට අදාළව අත්අඩංගුවට ගෙන සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත,මිලාන් ජයතිලක හා සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඇතුලු 06 දෙනෙක් අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වැනි දින දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

    මේ අතර නීතිපතිවරයා විසින් නියම කල පරිදි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ස්ථාන මාරුවක් නොදීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පොලිස්පතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරන ලදී.

    මේවනවිට මැයි 09 ගෝල්ෆේස් අරගලයට මහින්දගේ මැර කණ්ඩායම් එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව රට පුරා සිදුවූ සිදුවීම්වලට සැකපිට 2000ට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර මහින්දගේ මැර කාණ්ඩයමෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කිහිපදෙනෙක් පමණි. ඔවුන් අත්අඩංගුවට ගැනීම වෙනුවට ප්‍රශ්න කිරීම්වැනි බොරු රඟපෑම් කරමින් සිටියි.

  • ඇමරිකානු පාසලක සිදුවූ වෙඩි තැබීමෙන් පසු ආයුධ පාලන පනත නැවතත් කරළියට

    ඇමරිකානු පාසලක සිදුවූ වෙඩි තැබීමෙන් පසු ආයුධ පාලන පනත නැවතත් කරළියට

    ඇමෙරිකාවේ දකුණු ටෙක්සාස් ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක සිදුවූ වෙඩි තැබීමකින් කුඩා ළමුන් 19 දෙනෙකු සහ වැඩිහිටියන් දෙදෙනෙකු මියගොස් තිබේ.

    ආරක්ෂක අංශ තුවක්කුකරුව මරා දැමීමට පෙර, ඔහු උවල්ඩේ නගරයේ වයස අවුරුදු 07 – 10 අතර ළමුන් ඉගනුම ලබන රොබ් ප්‍රාථමික පාසලට කඩා වැදී ඉවක් බවක් නොමැතිව වෙඩි තැබූ බව නිලධාරීන් පවසයි.

    ඔහු එම ප්‍රදේශයේ උසස් පාසල් සිසුවෙකු වන්නට ඇතැයි ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

    එක්සත් ජනපදයේ රාජ්‍ය නොවන සංවිධානයක් වන Gun Violence Archive හි ගණන් බැලීම් අනුව මේ වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ මේ වන විට සමූහ වෙඩි තැබීම් 212ක් සිදුවී ඇත – එය සමූහ වෙඩි තැබීමක් ලෙස අර්ථ දක්වන්නේ පුද්ගලයන් හතර දෙනෙකු හෝ වැඩි ගණනකට වෙඩි වැදීම හෝ මියයාමේ සිදුවීමකි.

    මේ වසරේ පමණක් අමෙරිකාවේ පාසල්වල වෙඩි තැබීමේ සිද්ධි 27ක් දැනටමත් සිදුවී ඇති බව බීබීසී පුවත් සේවය පවසයි.

    ළමුන් සහ නව යොවුන් වියේ දරුවන්ගේ මරණයට ප්‍රධානතම හේතුව ලෙස මෝටර් රථ අනතුරු අභිබවා , තුවක්කු බවට පත්ව ඇති අතර දේශපාලකයින් මෙය ඇමරිකාවට අනන්‍ය වූ ගැටලුවක් ලෙස හඳුනාගෙන ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

    CBS ප්‍රවෘත්ති වලට අනුව, ප්‍රහාරකයා ප්‍රහාරය සිදු කරන විට වෙඩි නොවදින කබායක් පැළඳ සිට ඇත. මැයි 14 වන දින නිව් යෝර්ක් හි බෆලෝ හි සිල්ලර වෙළඳසැලකට පහර දුන් බවට සැක කරන තවත් 18 හැවිරිදි තරුණයෙක් වෙඩි නොවඳින කබායක් පැළඳ අර්ධ ස්වයංක්‍රීය රයිෆලයක් ද රැගෙන සිටියේය – තුවක්කු මෙන්ම වෙඩි නොවදින කබා යන මේ දෙකම එක්සත් ජනපදයේ වාණිජමය වශයෙන් නිදහසේ ලබා ගත හැකිය.

    මෙම වෙඩි තැබීමත් සමඟ ආයුධ පාලන නීති සම්බන්ධ කතා බහක් නැවතත් ඇමරිකාව තුළ මතුව තිබේ. නමුත් මෙය සෑම වෙඩි තැබීමකින් පසුවම සිදුවෙන්නක් බවට පත්ව තිබේ. නමුත් මෙතෙක් කාලයක් ඒ වෙනුවෙන් ගත් පියවරක් නැත.

    උපහාසයට කරුණ නම් වෙඩි තැබීම් සඳහා බලපාන හේතු වැලක්වීමට පියවර ගැනීම වෙනුවට ඇමරිකානු පාසල් තුළ වෙඩික්කරුවෙකු මෙල්ල කිරීමේ අභ්‍යාස ප්‍රාථමිකයේ සිට උසස් පාසල දක්වා පාසල් විෂය මාලාවේ පොදු කොටසක් ලෙස ඇතුල් කොට තිබීමයි.

    රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) විසින් පසුගිය මාසයේ නිකුත් කරන ලද දත්ත වලට අනුව, 2020 දී අමෙරිකාවේ ළමුන් සහ නව යොවුන් වියේ දරුවන්ගේ මරණයට ප්‍රධානතම හේතුව මෝටර් රථ අනතුරු අභිබවා තුවක්කු බවට පත්ව තිබීම විශේෂත්වයකි.

    සඳුදා, FBI වාර්තාව දැක්වුණේ 2020 දී කොරෝනා වෛරසය ආරම්භ වූ දා සිට “වෙඩික්කරුවන්ගේ” ප්‍රහාර දෙගුණ වී ඇති බවයි.

    පහත දැක්වෙන්නේ ආසන්න වසර 10 තුළ සිදුවූ විශාල ප්‍රමාණයේ වෙඩි තැබීම් සහ එම සිදුවීම්වලින් මියගිය ගණනයි.

  • ලෝක බැංකුව ණය දෙන්න බෑ කියයි

    ලෝක බැංකුව ණය දෙන්න බෑ කියයි

    මේ අතරතුරේ ලෝක බැංකුව නිවේදනය කළේ, ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබාදීමට සැලසුම් නොකරන බව යි.

    නව ණය බැඳීමක් ලෙස ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ආධාර කිරීමට සැලසුම් කරන බවට පළවූ මෑතකාලීන මාධ්‍ය වාර්තා සාවද්‍යයැ යි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුව කර ඇත.

    උග්‍ර මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාව ණය වැඩසටහනක් සඳහා මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග සාකච්ඡා කරමින් සිටියි.

    එහි පළමු වටයේ තාක්ෂණික අංශයේ සාකච්ඡා මැයි 24 වැනිදා අවසන් විය.

    අදාළ සාකච්ඡා සාර්ථකකොට ණය ප්‍රතිව්‍යුහත කිරීම සහ IMF සමග ගිවිසුම්ගතවීම දක්වා ගතවන ඉදිරි මාස 3-4ක කාලය අභියෝගාත්මක බවත්, ඒ සදහා හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් මහබැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේ ය.

    මැයි 24 දා පාර්ලිමේන්තුවේ පැවැති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී ඔහු මේ බව පැවසීය.

    තමා ශ්‍රී ලංකාවේ ජනතාව ගැන සැලකිලිමත් වන අතර, ආර්ථික ස්ථාවරත්වය ද, පුළුල්ව පදනම් වූ වර්ධනය ද ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා සුදුසු ප්‍රතිපත්ති පිළිබඳව උපදෙස් දීමට IMF සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමග සම්බන්ධීකරණයෙන් කටයුතු සිදුකරමින් සිටින බව ලෝක බැංකුව පවසයි.

    අත්‍යවශ්‍ය ඖෂධ මිළට ගැනීම, දුප්පත් සහ අවදානමට ලක්විය හැකි ගෘහ ඒකක සඳහා තාවකාලිකව මුදල් ලබාදීම, අවදානමට ලක්විය හැකි පවුල්වල දරුවන්ට පාසලේ දී ආහාර ලබාදීම, සහ ගොවීන් සහ කුඩා ව්‍යාපාර සඳහා ආධාර කිරීමට රජයට උපකාර කිරීම සඳහා පෙර අනුමත කරන ලද ව්‍යාපෘතිවල සම්පත් දැනට නැවත සකස් කරමින් සිටින බව ද ලෝක බැංකුව නිවේදනය කර තිබේ.

    ලෝක බැංකුව , ජාත්‍යන්තර මූල්‍ය ආයතනය වැනි ආයතනය ණය ලබාදීමේදී විවිධ කොන්දේසි ඉදිරිපත් කිරීම සුපුරුදු පරිදි සිදුවෙන්නක් වන අතර මෙහි ඇති බරපතලම තත්ත්වය වන්නේ එම කොන්දේසි බහුතර ජනතාවකට හිතකර නොවීමයි. ලෝක බැංකුව එක් ආකාරයකින් මේ පවසා සිටින්නේ තමන්ගේ කොන්දේසිවලට එකඟ වන්නේ නම් පමණක් නය ගැන සිතිය හැකි බවයි.