Breaking News

රනිල් පාස්කු ප්‍රහාරයේ වගඋත්තරකාරභවින් ඉවත් කරන්න එපා – ශ්‍රේෂඨාධිකරණයට පෙත්සම්

පාස්කු ඉරුදින ප්‍රහාර නොවැළැක්වීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ එම පෙත්සම්වල වගඋත්තරකාර භාවයෙන් ඉවත්කරනවාද නැද්ද යන්න පිළිබද නියෝගය ප්‍රකාශයට පත් කිරීම සත්පුද්ගල විනිසුරු මඩුල්ල ඊයේ (02) පසුවට කල් තැබීය.

මේ නඩව කැඳවූ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කරමින් කොළඹ අගරදගුරු හිමියන් ඊයේ (02) ප්‍රකාශ කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම නඩු කටයුතුවලින් අනිවාර්යයෙන් ම නිදහස් කළ නො හැකි බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ට අදාළ නඩු විභාගයෙන් තමා නිදහස් කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ඉල්ලීම, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කළ යුතු බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි ප්‍රකාශ කරනවා.

කොළඹ අගරදගුරු වෙනුවෙන් මෙම පෙත්සම, ජනාධිපති නීතිඥ ෂම්මිල් පෙරේරා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කළා.

මේ අතර ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක 8 වැනි වගඋත්තරකරු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කර තිබුණා.

2019 අප්‍රේල් 21 වන දින, පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් සිටි බවත්, ඔහුගේ නිහඬ ක්‍රියා කලාපය හේතුවෙන් අදාළ ප්‍රහාරයේ වින්දිතයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංගණය වී ඇති බවත්, අගතියට පත් පාර්ශ්වය නියෝජනය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ කොළඹ අගරදගුරු හිමිපාණන් විසින් ජනාධිපතිවරයාව අදාළ පෙත්සමේ 57 වැනි වගඋත්තරකරු ලෙස නම් කර තිබෙනවා.

කොළඹ අගරදගුරු සිය පෙත්සමේ වැඩි දුරටත් සඳහන් කරන්නේ, 126 ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති අධිකරණ බලය, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ප්‍රථම වරට හඳුන්වා දුන් බවත් ඉන් අනතුරුව 20 වැනි සංශෝධනය යටතේ ද එවැනි අධිකරණ බලය ව්‍යවස්ථාදායකය විසින් ආරක්ෂා කර ඇති බවයි.

අදාළ පෙත්සම මගින් අගරදගුරු වැඩිදුරටත් සඳහන් කරන්නේ, ජනාධිපතිවරයාගේ ක්‍රියාවන් සහ අතපසුවීම් විමර්ශනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 (1) වගන්තිය මගින් බලය පැවරී ඇති බවයි.

එසේ ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම ක්‍රියාදාමයෙන් නිදහස් කිරීම ඒ අනුව මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 7 සහ 8 වගන්තිවලට සෘජුව ම පටහැනි බව කොළඹ අගරදගුරු හිමි මෙහි දී වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ අනුව රනිල් වික්‍රමසිංහ වගඋත්තරකාර භාවයෙන් ඉවත්කරනවාද නැද්ද යන්න පිළිබද නියෝගය ප්‍රකාශයට පත් කිරීම සත්පුද්ගල විනිසුරු මඩුල්ල ඊයේ(02) පසුවට කල් තැබීය.

 

 

leave a reply