Breaking News

අරගලය ඉදිරියට. නවතින්නේ කොතනද?

සමන්සිරි හේරත්

ආණ්ඩුව විසින් නිර්මාණය කරනු ලැබූ ජන පීඩනය ජනතාව පාරට ඇද දමන්න සමත් වුණා. දේශපාලනයට එරෙහිව පෙළගැසුණු ජනතාව අතර තිබුණු බොහෝ ජනමත මේ ආණ්ඩුව විසින් සුනුවිසුනු කරන්නටත් කටයුතු කළා. උදාහරණයක් ලෙස  “බහුතරයක් ජනතාව හිතාගෙන හිටියේ මැතිවරණ කාලෙක ඡන්දය ප්‍රකාශ කර පැත්තකට වී සිටීම තමයි ඉතාමත් නුවණක්කාර වැඩේ කියලයි”. එය සනාථ කිරීමට ඔවුන් උපහැරණ පවා ඉදිරිපත් කළා.

අප ජීවිත කාලය පුරා මහපාරේ අරගල වරට දායකත්වය සැපයූවා. අධ්‍යාපනය, සෞඛ්‍යය, පරිසරය, ඇතුළු පීඩාවට පත් වන ජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවයන් සපුරා ගැනීමට අවශ්‍ය කරන රාජ්‍ය මැදිහත්වීම ලබා ගැනීම වෙනුවෙන්. එවැනි අරගල බොහෝ විට ජනතාව දැක්කේ තමන්ට කරන හිරිහැරයක් ලෙසයි. එනිසාම ඔවුන් අරගල කරුවන්ට තමන්ගේ විරෝධය දක්වනු ලැබුවා. එපමණක්ද අරගලයට එරෙහි ජනතා විරෝධය සමාජගත  කරන්න එදත් අදත් පවතින ආණ්ඩු තමන්ට ගැති මාධ්‍ය යොදාගෙන ප්‍රචාරණය ලබා දුන්නා.

දැන් ඒ දේවල් වෙනස් වෙලා තියෙනවා.  ඉහළ ධනපති පන්තිය හැර අනෙකුත් සියලුම පන්තීන් භේදයකින් තොරව  අද දවසේ පීඩාවට පත් වෙනවා.. 

ඉන්ධන හිග වෙනවා. කිරිපිටි නැති වෙනවා. ගෑස් පෝලිම් වල ඉන්න සිද්ධ වෙනවා. පොහොර ටික වංචනික ලෙස අත්හිටුවා දමනවා. . එදිනෙදා වේල හොයන් කාපු ජනතාවට   “අපි හම්බ කර ගත්තොත් අපි කනවා” යන සටන් පාඨය තමන්ගේ ආරක්ෂාවට තබා ගෙන ඉන්නට බැරි තැනට මේ ආණ්ඩුව පත් කළා. ඒ හරහා අපි අදේශපාලනිකයි කියලා කියපු ජනතාවට දේශපාලනික වෙන්නට, පාරට බහින්නට, මේ ආණ්ඩුව මහත් රුකුලක් පිටු බලයක් ලබා දෙනවා. පළමුවෙන්ම ගෝඨාභය ඇතුළු මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට අපි ස්තුතිවන්ත විය යුතුයි. “ජනතාවට දේශපාලනය යනු කුමක්ද යන්න සරලව කියා දුන්නාට”.

අද ජනතාව තමන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා අරගල කරන්න පටන් අරන් තියෙනවා. දවසක්, දෙකක්, සතියක්, නෑ බොහෝ කලක් දැන් ගත වෙලා ජනතාව විවිධ මට්ටමින් අරගල බිමට පිවිසිලා. “දැන් රටම එකාවන්ව අරගල බිමේ”.

අරගල බිමට අලුත් සටන් පාඨ
අරගල බිමට අලුත් බලාපොරොත්තු

මේ අරගල කරන මිනිස්සුන් මාරුවෙන් මාරුවට ආණ්ඩු මාරු කරගෙන පාලක පන්තිය හැත්තෑ වසරකට වැඩි කාලයක් තමන්ව සූරාගෙන කෑවා යි කියන එක ඒත්තු ගැන්වී ලා. එනිසා තමයි ඔවුන් පාරට බැහැලා කියන්නේ. “අපේ සල්ලි අපිට දීලා තොපි පලයව් හිරගෙදර කියලා  කියන්න තරම් දේශපාලනික වෙලා තියෙන්නෙ”.

ඒක හරි ෂෝක් වැඩක්. 

දැන් ජනතාව දේශපාලනිකව උත්තේජනයක් ලබාගෙන. ගෝඨාභය ගෙදර යමන් කියලා කියන්න තරම් ශක්තියක් තියෙනවා. හොරාකාපු උන්ගේ නම් එලිපිට පාරට බැහැලා කියන්න තරම් ඔවුන්ට දහිරියක් ලැබිලා තියෙනවා.

ඇත්තටම ඒක හරි ෂෝක්

ඒත් ආදරණීය ජනතාවනි  අපිට නොපෙනෙන අපි දැනගත යුතු අපි හමුවේ ප්‍රශ්නයක් තියෙනවා.

ජන පීඩිත පාලකයන් පලවා හැර ජනහිතකාමී ආණ්ඩුවක් පාලනයක් හදාගන්න තැනට ඔබ යන්න ආරම්භ කරපු ගමන ඔබත් නොදැනිම වෘතයක් බවට පත්වෙලා තිබෙනවා. දේශපාලනයෙන් තොර යැයි කියමින් අරගලයට පිවිසි බොහෝ පිරිසක් දැන් ඒ වෘත්තය තුළට ඇතුළු වෙමින් ඉන්නවා.  ඔබට හිතන්න වෙනවා  නැවතත් පරණ සුපුරුදු දේශපාලන සෙල්ලම වෙනුවෙන් ද මේ ඔබ පාරට බැහැල සිටින්නේ කියලා. තියෙන ඔලුව වෙනුවට වෙන ඔළුවක් අරගෙන ඇවිත් පරණ සුපුරුදු මාරුකිරීමේ දේශපාලනයටද ඔබ දැන් නැවත අවතීර්ණ වෙලා තිබෙන්නේ. කල්පනා කර බලන්න අරගලයට පිවිසි බොහෝදෙනෙක් ක්‍රමානුකූලව  දේශපාලන වෘතය ඇතුලට ඇතුල් වී අවසානයි. මේ අරගලය  දේශපාලනයෙන් තොරව කළ යුතුයි කියන මතය නිර්මාණය කරන්නෙ  ඔබ එලවන්න කැසකවන මේ තක්කඩි දේශපාලනය මයි. ඒ නිසා දැන් ඔබ ඔවුන්ගේ ඒ තක්කඩි ක්‍රියාවට නතු වෙලා තිබෙන බව අපට පෙනෙන්න තිබෙනවා.

ඔබ මේ අරගලය දේශපාලනික විඥානයකින් තොරව කළොත් යලි යලිත් දකින යළි යළිත් වෙනස්කරන යළි යළිත් පීඩාවට පත්වෙන  පැරණි දේශපාලන සෙල්ලමේ ගොදුරක් බවට පත් වෙන්නට තිබෙන ඉඩකඩ වැඩියි. එපමණක්ද නොව බොහෝ මෑතක ඒකට ඔබ හසුවෙනවා.

හඬනගා කියන සටන් පාඨයේ සිට ගෑස්, විදුලිය,  වතුර, කෑම ටික නැතිවීමේ අන්තර්ගත දේශපාලනය ඔබ තේරුම් ගත යුතුයි. එසේ නොවුනොත් පාර්ලිමේන්තුව තුළ ඔලු ගෙඩි කීපයක් එහාට මෙහාට මාරු කර, ගෝඨා ගෙදර යනවා වෙනුවට ඔය ගෙදරම ඉන්න තැනට ඉදිරියේදී වැඩ සැලසෙනවා. වෙහෙස මහන්සි වෙලා ගොඩනැඟූ මේ ජන අරගලය ඔබ විසින්ම විනාශ කරන දවස ඔබට නොදැනිම ඔබ ළඟට එනවා.

ආතල් එකට සෙල්ෆි ගහන්න පාරට බහින්න එපා. 
රමුණක් ඇතිව 
ජයග්‍රහණයක් ගැන සිහිනයක් ඇතිව 
ඔබ පාරට  බහින්න.

ජන අරගල ජයගන්නා  ජනතා සහභාගිත්වය සහිත ඉදිරි දේශපාලනයක් වෙනුවෙන් අධිෂ්ඨානයක් ඇතිව ඔබ මේ අරගලය ඉදිරියට ගෙන යන්නට දායකත්වය දෙන්න.

leave a reply